තහනම් උත්තේජක තීරණවලට ක්‍රීඩක කමිටුවක් පත්කිරීමට යයි | දිනමිණ

තහනම් උත්තේජක තීරණවලට ක්‍රීඩක කමිටුවක් පත්කිරීමට යයි

ප්‍රින්ස් ගුණසේකර

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ඉදිරි කටයුතුවලට දායක කරගැනීම උදෙසා ක්‍රීඩක කමිටුවක් පත්කර ගැනීමට යයි. තහනම් උත්තේජක කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී හා නීති සැකසීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශ්වය නියෝජනය කිරීමේ අවස්ථා මේ ක්‍රීඩක කමිටුවට හිමි වේ.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී පැවැසූවේ ක්‍රීඩක කමිටුවේ සාමාජික සාමාජිකාවන්ට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ කමිටු රැස්වීම්වලට සහභාගීවීමේ දොරටු විවරවන බවයි. මේ තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශ්වයට වඩාත් සාධාරණ ක්‍රමවේද සැකසෙන බව සිල්වා මහතා ‘දිනමිණ’ට පැවැසීය.

“තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති - රීති කලින් කලට අලුත් වෙනවා. ඒවා යාවත්කාලීන කරද්දී ක්‍රීඩක හඩට අප සවන්දිය යුතුයි. ඔවුන්ගේ අදහස් අනුව ජාතික ප්‍රතිපත්ති සැකසීම වැදගත් කටයුත්තක් මෙන්ම වඩාත් ප්‍රායෝගික වෙනවා. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබාදීම මේ මලල ක්‍රීඩා කමිටුවේ අරමුණයි. මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන්ට අවස්ථාව තිබෙනවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට. එවිට වෛද්‍ය මණ්ඩලයට ඒ ගැන අවබෝධයක් ඇතිව අවශ්‍ය නීති සැකසීම සිදු කළ හැකියි” ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය. ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ක්‍රීඩක කමිටුවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ත් 15ත් අතර පිරිසක් ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතය. ජාතික තලයේ හා ජාත්‍යන්තර තලයේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ කමිටුවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

නව අදහස දක්වන්න