නියඟය ජයගත්තු පදවියේ ගොවි පුත්තු | දිනමිණ

නියඟය ජයගත්තු පදවියේ ගොවි පුත්තු

අනුරාධපුර දිස්ත්‍රික්කය මේ වන විට නියඟයට නතු මාස ගණනාවක් ඉක්ම වී ගොස් ඇත. ග්‍රාමීය වැව් 3200ක් මුළුමනින්ම වියළී ගොසිනි. අතරින් පතර ලද වැස්ස නිසා ඇතැම් වැව්වල බීමට ප්‍රමාණවත් සුළු ජල ප්‍රමාණයක් රැඳී ඇත. මධ්‍ය පරිමාණ වැව් 83ක වගා කටයුතු ඇනහිට තිබේ. ප්‍රධාන ජලාශ 13 යටතේ පිට පිට කන්න 03ක් වගා කිරීම ජල හිඟය නිසා වැළකී ගොස් ඇත. තම කුඹුරු තම දෑස් ඉදිරිපිට පුරන් වී යන ආකාරය දෙස බලමින් රජරට ගොවි ජනතාව සංවේගයට පත්ව සිටිති. පදවිය ජලාශය අනුරාධපුරයේ සිටි කි.මී. 100ක් පමණ දුරින් පිහිටා ඇත. පදවිය ව්‍යාපාරය අක්කර 13800කින් සමන්විතය. ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දෙදිසාවටම පදවිය අයත් වේ. පදවිය ගොවි ව්‍යාපාරය තුළ ගොවිතැනින් යැපෙන පවුල් සංඛ්‍යාව 6500කි. 1950 දී පදවිය ව්‍යාපාරය ආරම්භ විය. අහස් දියෙන් පමණක් මෙම ජලාශය පෝෂණය වන අතර, කිසිදු විකල්ප ජල සැපයුමක් එයට නොමැත. මෙම ගොවි ව්‍යාපාරයේ ගොවි ජනතාවට අනුරාධපුරයට බලපවත්නා දැඩි නියඟය නිසා පසුගිය කන්න කීපයේම වගාව අහිමි විය.

කන්න 03ක් වගා කිරීමට නොහැකිව පීඩාවිඳි පදවිය ගොවි ජනතාව අහස් දියෙන් කුඹුරු වගාවට යොමුකර ජලාශයට ලැබෙන වර්ෂා ජලය අත්‍යාවශ්‍ය අවස්ථාවේදී පමණක් ප්‍රයෝජනයට ගැනීම සඳහා හුරුකරවීමේ විශේෂ වැඩපිළිවෙළක් ව්‍යාපාර ජල කළමනාකරණ කමිටුව මඟින් ඉතා සුළුවෙන් දියත් කරන ලදි. කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සේවා අංශවල නිලධාරින් ද ගොවි සංවිධාන නියෝජිතයින් ද ප්‍රාදේශීය ලේකම් සහ නේවාසික ව්‍යාපාර කළමනාකරු මෙම මෙහෙයුම් කමිටුවට ඇතුළත් කණ්ඩායම්ය. 2017/2018 මහා කන්නයේ ජල පාලනය ජල මුර නිකුත් කිරීම සහ වගාබිම් ප්‍රමාණය පිළිබඳව තම අභිමතය පරිදි ස්වාධීනව තීරණය ගැනීමේ බලය අනුරාධපුර දිසාපතිවරයා විසින් නේවාසික ව්‍යාපාර කළමනාකරණ කමිටුවට මේ වන විට පවරා දී තිබුණි. මෙම සියලු දෙනා සාමුහිකව එකට එක් වී එකමුතුව අධිෂ්ඨාන පූර්වකව තමන්ට සුවිශේෂි වූ ජල පාලන රටාවක් තුළින් අතිසාර්ථක ප්‍රතිඵල ලබාගෙන සිටිති.

පසුගියදා අනුරාධපුර දිසාපති ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පදවිය ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එන්.වසන්ත මහතා පදවිය ගොවීන් විසින් අත්හදාබලන ලද ජල පාලන ක්‍රමෝපාය පිළිබඳ ඉතා ධනාත්මක සහ අනුවේදනීය විස්තරයක් ඉදිරිපත් කළේය. පදවියේ ගොවීන් විසින් කෘෂිකාර්මික විප්ලවයක් කර ඇති බවත්, මෙම ජල පාලන ක්‍රමවේදය මුළු රටටම හඳුන්වාදිය යුතු සුවිශේෂි ජලපාලන රටාක් බව අනුරාධපුර දිසාපතිවරයා එම කමිටු රැස්වීමේදී අවධාරණය කළේය.

පදවිය නේවාසික ව්‍යාපාර කළමනාකාර වසන්ත මහතා “පදවිය ව්‍යාපාරයේ ගොවි සංවිධාන 20ක් තිබෙනවා. සාමාජිකයින් සංඛ්‍යාව 6500ක් පමණ වෙනවා. අපේ සුවිශේෂි වගා වැඩපිළිවෙළ යටතේ තෝරාගත් අක්කර 1000ක ප්‍රමාණයක් අක්කර 50 බැගින් බිත්තර වී නිෂ්පාදනය සඳහා ගොවි සංවිධාන වෙත පවරාදුන්නා. ගිවිසුම වූයේ අක්කරයකින් වී බුසල් 20 බැගින් අඳයක් ලෙස ගොවි සංවිධානයට ආපසු ලබාදීමයි. අක්කර 1000 සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50% ක දායකත්වය යටතේ ලියාපදිංචි කළ බීජ වී ලබාදුන්නා. උග්‍ර ජල අර්බුදයක් හමුවේ වුව ද දිරිමත්ව කටයුතු කළ ගොවීන්ගෙන් අවසානයේදී වී බුසල් 22000 ක් ආපසු ලැබුණු අතර, සෑම ගොවියකු අතරම වී බුසල් 05 බැගින් රජයට කිසිදු බරක් නොදී නොමිලේ බෙදා දුන්නා. වටිනාකම රුපියල් ලක්ෂ 300ක් වෙනවා. මෙම බිත්තර වී ගොවිපළේ නිෂ්පාදනය වී බුසල් 120000ක් වූ අතර පදවිය සඳහා අවශ්‍ය වූයේ වී බුසල් 45000ක් පමණයි. ඉතිරි වී තොග සෙසු ප්‍රදේශවලට සැපයීමට පියවර ගත්තා. මෙම සමස්ත වී ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 1800ක් පමණ වෙනවා.”

ඊට පසු ආරම්භ වූයේ 2017/2018 මාස් කන්නයයි. පදවියේ වැවේ ජලය අඩියට සි‍ඳෙමින් තිබුණා. කාලගුණ අනාවැකිවලට ඉදිරි මාස 04ක කාලය තුළ ප්‍රමාණවත් වැස්සක් නොලැබෙන බවට පදවියේ ගොවි ජනතාව දැනුවත් වී සිටියහ. කරුණු මෙසේ තිබියදී වගා රැස්වීමට පෙර පවත්වනු ලබන විශේෂ ව්‍යාපාර කමිටු රැස්වීමේදී අභියෝගයක් ලෙස අහස් වැස්සෙන් වගා කටයුතු ආරම්භ කිරීමටත්, ඉන් පසුව වැවේ නිකුත් කළ හැකි ජල ප්‍රමාණය අනුව වගා කටයුතු සැලසුම් කිරීමටත් තීරණය කෙරුණු බව ද වසන්ත මහතා සඳහන් කළේය. ඒ වන විට අක්කර අඩි 86000 කින් වැවේ ඉතිරිව තිබුණේ අක්කර අඩි 5000ක පමණ ජල ධාරිතාවක් පමණි. එයින් වගාකළ හැකි බිම් ප්‍රමාණය අක්කර 1000කි. සුළු වැස්සෙන් ජල මුර දෙකක් නිකුත් කිරීමට හැකි ජල ප්‍රමාණයක් වැවට ලැබී තිබුණා. වර්ෂාව නතර වූ නිසා වපුරා ගැනීමට හා ඉස්නම් තෙමීමට ජල මුරයක් නිකුත් කිරීමට ව්‍යාපාර කමිටුව අවදානම් තීරණයක් ගත්තා. ජල මුරයක් ලබාදීමේ තීරණයට ගොවීන් බොහෝදෙනෙක් දොස් කිවුවා.

අප හමුවේ තිබූ විශාල අභියෝගය වගාවට අවශ්‍ය ජලය දින 95ක් වැනි කාලයක් තුළ ජල මුර 05ක් මඟින් සම්පූර්ණ කිරීමයි. මේ තීරණාත්මක අවස්ථාවේදී මුර ජල ක්‍රමය භාවිතා කිරීම, ගොයම් ශාකයට ජලය අවශ්‍ය වන අවස්ථාව හොඳින් තේරුම් ගෙන ජලය සැපයීම, ඇළවේලි නැවත නැවත ශුද්ධ කිරීම, ගොවීන්ට පවත්නා බැරෑරුම් තත්ත්වය තේරුම්කර දී ගැටුම් කළමනාකරණය සඳහා පියවර ගැනීම සහ ජල මුර අතර පරතරය වැඩි කිරීම සඳහා අප විසින් ඒකමතිකව තීරණයක් ගනු ලැබුවා. වසන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉහත කී පදනම යටතේ කටයුතු කරමින් ජල මුර 05 ක්‍රමානුකූලව ලබාදෙන ලදි. ගොයම් ගස් මැලවී වියළී යන තත්ත්වයකට පත්වෙමින් තිබුණි. මැලවුණු ගොයම් ගස් දැක ගොවි ජනතාව ඉතා සංවේදීව ආවේගශීලීව කටයුතු කළ අතර, ඔවුන් දැඩි වෙහෙසක් දරා සන්සුන් කිරීමට සිදු වූ බව ද නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා පැහැදිලි කළේය. ඒ අවස්ථාවේ ප්‍රාතිහාර්යයකින් මෙන් වැසි වටයක් ලැබීමත් සමඟ පදවිය වැව යටතේ මේ මහා නියං සමය තුළ මුළු වගා වපසරිය වූ අක්කර 13500 ම වගාකොට රටටම ආදර්ශයක් දීමට පදවියේ ගොවි ජනතාවට හැකිවීම විශාල අභිමානයක්, සතුටක් සහ ආඩම්බරයකි.

අනුරාධපුර දිසාපතිවරයා - “මෙය කෘෂි විප්ලවයක් මෙන්ම කෘෂි වික්‍රමයක්. පදවියේ ගොවි ජනතාව නියඟය ජයගත හැකි බව සහ නව ක්‍රමවේද යොදාගැනීමෙන් ජය අත්වන බව සමස්ත ගොවි ප්‍රජාවට ම අවබෝධ කරදී තිබෙනවා. 'පදවි ජල පාලන රටාව' මුළු රටටම පාඩමක් උගන්වා තිබෙනවා. වැසි ලැබී වැව් වාන් මට්ටමට පැමිණිය ද වැව් ජලය ගැන නොසිතා වැසි ජලයෙන් උපරිම අයුරින් වගා කිරීමටත්, අක්කරයකට යොදාගන්නා ජල පරිමාව පදවියේ ගොවීන් කළාක් මෙන් අවම මට්ටමින් උපයෝගී කරගැනීමත් දැඩි සැලකිල්ලට ගත යුතු කරුණක්.“

 

සටහන සහ ඡායාරූප
නිමල් විජේසිංහ
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ 

නව අදහස දක්වන්න