හමුදාපති - මැලේසියානු හමුදාපති හමුවේ | දිනමිණ

හමුදාපති - මැලේසියානු හමුදාපති හමුවේ

මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ අවසන් සැසියේ දී මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානිජෙනරාල් ඩාටෝ ශ්‍රී සුල්කිපල් බින්හජ්කසීම් (General Dato’ Sri Zulkiple bin HjKassim) හමුවිය.

යුද්ධ හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙනප්‍රධාන අංගයක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගි වන ලෙස ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමා මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ආරාධනා කරනු ලැබීය.

මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය තුරන්කිරීමට දැක් වූ කාර්යභාරය මහත්සේ පැසසුමට ලක් කළ අතර,එමඟින් මැලේසියානු යුද්ධ හමුදාවට ද එම අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව පැවසූහ.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

එහිදි ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘දියකාවා’ වැනි යුද අභ්‍යාසය සඳහා ඉදිරියේ දී භට පිරිස් සහභාගි කරවන ලෙස ද මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ඉල්ලීමක් කළහ.

එමෙන්ම දෙරටේ යුද්ධ හමුදාවන්ට අනාගතයේ දී වැදගත්වන අනෙකුත් පුහුණු වැඩසටහන් පිළිබඳව ද එම සුහඳ හමුවේ දී සාකච්ඡාවට බඳුන්විය.

මෙම හමුව අවසානයේ දෙපිරිස අතර හොඳ හිත සහ සුහඳත්වය වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.


නව අදහස දක්වන්න