මට පුළු­වන් දේ මම කළා | දිනමිණ

මට පුළු­වන් දේ මම කළා

මොහො­මඩ්  සුනෙ­ර්දීන්

කෙනකුගේ නෙතසිත සොරාගත හැකි රූපය අමිල ආභරණයකි. පළමු දැක්මෙන් ම තවකකුගේ ප්‍රතිරූපය පිළිබඳ හැඟීමක් දෙන්නේ ද රූපයයි. මොහොමඩ් සුනෙර්දීන් සැබවින් ම ප්‍රසන්න, කඩවසම් තරුණයෙකි. වරක් දැක්මෙන් පමණක් තෘප්තිමත් නොවන බොහෝ දෙනාගේ නෙතඟ බැල්ම නිරන්තරයෙන් සොරා ගන්නට ඔහු සැබෑ දක්ෂයෙකි. 2018 හිරු අවුරුදු කුමරා ලෙසින් අභිසෙස් ලබන්නේ ද ඔහු ය. කිරුළු පැලඳි සතුට රැගෙන, හිරු අවුරුදු කුමරු සමඟ අපි සොඳුරු පිළිසඳරකට එක්වූයෙමු

l හිරු අවුරුදු කුමරා වුණා කියලා දැන ගත්තහම, ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

මේ තරගයට අයැදුම් කරද්දි, මම අවුරුදු කුමාරයා වෙයි කියලා හිතුවෙ නෑ. මට මේ ලැබුණු ස්ථානය, නිකං හීනයක් වගේ. අන්තිම දොළහට තේරෙද්දිත්, මගෙ නමත් එක්ක අවුරුදු කුමාරයා වෙයි කියලා, මට කිසි ම විශ්වාසයක් තිබුණෙ නෑ. පස්සෙ අන්තිම පස්දෙනා අතරටත් තේරුණා. ඒත් කිසි ම විදිහකින් විශ්වාසයක් ඇති වුණේ නෑ. අවසානයේ හිරු අවුරුදු කුමාරයා කව්ද කියලා අවසන් විනිශ්චය දෙද්දි, මගේ නොම්මරය කියැවෙනවා. ඒ වෙද්දිත් මට කිසිම අදහසක් ඇතිවුණේ නෑ. මං ඔහේ බිම බලාගෙන හිටියා. ඊට පස්සෙ මම මගෙ අත හරවලා බලනකොට මගේ නම්බර් එක පහ. මම තමයි අවුරුදු කුමාරයා කියලා ඒ මොහොතේ හිතාගන්නවත් බැරි වුණා.

 

l නමත් එක්ක අවුරුදු කුමාරයා වෙයි කියලා විශ්වාස කළේ නෑ කිව්වේ ඇයි?

මගෙ නම මොහොමඩ්. අද රටේ පවතින වාතාවරණය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ තත්ත්වෙත් එක්ක අවුරුදු කුමරයා මොහොමඩ් කියන දේ, වෙන්න පුළුවන් දෙයක් කියලා මට කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ. ඒක මහා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලත් මම දැනන් හිටියා. අන්තිම දොළහට තේරුණ එක ගැන සතුටු වුණා . ඒකෙන් සෑහීමකට පත්වෙනවා කියලා මම හිතුවා.

 

l මේ ජයග්‍රහණයෙන් පස්සේ ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

ජයග්‍රහණය කළාට පස්සෙ මට මුහුණ දෙන්න වෙලා තියෙන දේ විවිධයි. සමහර මිනිස්සු හොඳයි කියනවා. තව සමහර මිනිස්සු බනිනවා. මම වැරැද්දක් කළා කියලා සමහරු කියනවා. සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ මුස්ලිම් කෙනෙක් අවුරුදු කුමාරයා වෙන්නෙ කොහොමද කියන කාරණාව සමහරු එළියට ඇදලා ගන්නවා. ඒකට මට උත්තරයක් නෑ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම ඉපදෙද්දි දන්නෙ නෑ මම මුස්ලිම් කියලා. මේ නමත් මම තියා ගත්ත එකක් නෙවෙයි. මේ ශ්‍රී ලංකාවේ, මේ පොළොවෙ මම ඉපැදුණා නම්, මේ පොළොවෙ මට ජීවත් වෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ. මේ පොළොවෙ මට මැරෙන්න පුළුවන් වෙන්නත් ඕනෙ. මිනිස්සු මේ ගැන මොන විදිහට හිතයිද කියන එක මම දන්නෙ නෑ. මට කියන්න පුළුවන් මම වැරැද්දක් කළේ නෑ කියන එක විතරයි.

 

l අවුරුදු කුමාරයා තරගෙකට සහභාගි වෙන්න හිතුවෙ ඇයි?

කෙටියෙන් කිව්වොත් මම පොඩි කාලෙ නුවර හැදුනෙ. බෞද්ධ දහම් පාසල් ගියේ. විවාද කණ්ඩායමේ හිටියා. දහම් පාසලේ බොහෝ වැඩවලට දායක වුණා. ගමේ යාළුවොත් එක්ක හිටියා. මට අදටත් මගේ යාළුවෙක් කියලා මුස්ලිම් යාළුවෙක් නැති තරම්. අදටත් මාත් එක්ක ලක්ෂ ගාණක් සිංහල යාළුවො ඉන්නවා. ඒ පසුබිමත් එක්ක, මනුෂ්‍යයෙක් විදිහට මම හැමදාම ජීවිතේ මුහුණ දුන්නු ප්‍රශ්නයක් තිබුණා. මම කවුද කියන එක මට දෙපාරක් කියන්න බෑ. මගෙ නම මොහොමඩ්. මිනිස්සු එතකොට අහනවා ඔයා මුස්ලිම්ද? මම එතකොට කියනවා නෑ මම මුස්ලිම් නෙමෙයි. එහෙනම් ඔයා කවුද ? ඒ වෙලොවට මං ක්‍රිස්තියානි කියලා කියනවා. මම ආගම අදහන්න යන්නෙ පල්ලියට. මම අදහන්නෙ දෙවියන් වහන්සෙ කියලා ඒ අයට කියනවා. එදා ඉඳන් අද වෙනකංම ඔය ප්‍රශ්නවලට මට හැමදාම උත්තර දෙන්න සිදු වුණා. අද ශ්‍රී ලංකාවට ම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මගේ ජාතිය මොකක්ද කියන එකයි. මම හිතන්නෙ මම ඉපදිච්ච විදිහ මගෙ වැරැද්දක් නෙමෙයි. ඒක මට තීරණය කරන්න බෑ. මට මේ නම ලැබිච්ච එක මගෙ වැරැද්දක් නෙමෙයි. ඒක මට වෙනස් කරන්න බැහැ.

මිනිස්සු මේ විදිහට මේ ජයග්‍රහණය දකියි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. මගේ මේ ජයග්‍රහණය මේ තරම් විවේචනයට භාජනය වේවි කියලත් මම හිතුවෙ නෑ. මේ දේ සමහරුන්ට මේ තරම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවෙත් නෑ. මට කරන්න පුළුවන් දේ මම කළා. මම හිතන්නෙ තරගෙට ඉදිරිපත් වුණු අනිත් ඉතුරු 11 දෙනාට වඩා මගෙ මොකක් ම හරි විශේෂත්වයක් නිසා මට ඒ ජයග්‍රහණය ලැබුණා. විනිශ්චය මණ්ඩලය තීරණය කළා මට තමයි ඒ ජයග්‍රහණය ලැබෙන්න ඕනෙ කියලා. හිරු ආයතනයට තිබුණා ඕනෙ නම් රටේ තියෙන මේ වාතාවරණයත් එක්ක මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වන නිසා ම මම පළවැනියා කියන විනිශ්චය වෙනස් කරන්න. ඒත්,එයාලා එහෙම කළේ නෑ. මම මේ නාලිකාවට හදවතින් ම ස්තූතිවන්ත වෙනවා වගේ ම හදවතින් ම ආදරේ කරනවා .

 

l පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කතා කළොත්?

මගේ උපන් ගම නුවර. මුලින් ගමේ පාසලට ගියා. පස්සෙ උ.පෙළ සඳහා මහනුවර කිංස්වුඩ් කොලීජියට ගියා. පවුලෙ එක ම දරුවා මම. මගෙ අම්මා නැතිවෙලා. තාත්තාත් නැතිවෙලා. මගෙ තාත්තා මුස්ලිම්. අම්මා සිංහල. මම පොඩි කාලෙ බෞද්ධ දහම් පාසල් ගියෙ. ඊට පස්සෙ මම ක්‍රිස්තියානි ආගම තෝර ගත්තා. ඕන මනුෂ්‍යයකුට පුළුවන් තමන් කැමැති ආගමක් අදහන්න. මම ක්‍රිස්තියානි විදිහට බෞතිස්ම වුණ කෙනෙක්. මගේ ජීවිතේ මම ක්‍රිස්තියානි මනුෂ්‍යයෙක් විදිහට මැරෙනකල් ජීවත් වෙනවයි කියන එක මම තීරණය කළා. මම මොහොමඩ් වෙච්ච පලියට, මුස්ලිම් අය ඉස්ලාම් ම වෙන්න ඕනෙයි කියලා නීතියක් මේ ලෝකෙ තියෙනවයි කියලා මම හිතන්නෙ නෑ.

 

l මේ අවුරුදු කුමරා තරගෙ ගැන මොකද හිතන්නෙ?

මේ තරගෙ ඇතුළෙදි ආයතනය අප වෙනුවෙන් බොහෝ දේ කළා. කොල්ලො කෙල්ලො 24 දෙනෙක් එක ම වේදිකාවකට නග්ගලා, ඒ විසිහතර දෙනාට එක ම විදිහකට හිතන්න පුරුදු කළා. ඒ විසිහතර දෙනා අතර ලොකු සහෝදරකමක් තිබුණා. තරගයක් තිබුණා. තරගය හැමෝගෙ ම හිතේ තිබුණෙ. තමුන් පරාද වෙන්න හිතාගෙන කවුරුත් තරගෙකට එන්නෙ නෑනෙ . ඒ අතර එතන හිටපු හැමෝම හරි ම සහයෝගෙයන් වැඩකළා. කිසි ම විදිහකින් මා ප්‍රතික්ෂේප වුණේ නෑ. තරගෙ හොඳයි. බොහෝ දේ ඉගෙන ගත්තා. බොහෝ දේ ජීවිතේට ළංකර ගත්තා. බොහෝ දෙනා අඳුනා ගත්තා. හිරු

සියලු දෙනා ම කරපු කැප කිරීමේ හොඳ ම ප්‍රතිඵලය විදිහට, මේ අවුරුද්දෙ ලංකාවෙ තිබුණු හොඳ ම “අවුරුදු කුමරා කුමරිය” වැඩසටහන කරන්න පුළුවන් වුණා.

 

l ඔබ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සමරනවද?

ඔව්. මට අවුරුදු තියෙනවා. මට නත්තල් තියෙනවා. මට රාමසාන් තියෙනවා. මම ක්‍රිස්තියානි නිසා අවුරුද්ද මම ප්‍රතික්ෂේප කරනවා කියන මත ෙය් ඉන්න කෙනෙක් නෙමෙයි. මම එක ආගමකට බැඳිච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි මම ශ්‍රී ලාංකේයයෙක්. ඒ නිසා , මේ ලංකාවේ තියෙන ඕන දෙයක් මට භුක්ති විඳින්න පුළුවන්. මගේ බේදයක් නෑ. මං මගේ යාළුවොත් එක්ක අවුරුද්ද සමරනවා. නත්තලට මාත් එක්ක පල්ලි යන්න එන යාළුවොත් ඉන්නවා.

 

l එල්ල වෙන විරෝධතා, විවේචන ගැන පසුතැවීමක් තියෙනවද?

මිනිස්සුන්ට මගේ හොඳ දකින්නත් පුළුවන්. නරක දකින්නත් පුළුවන්. සමහරුන්ට මේ දේ ගැළපෙන්නෙ නෑ කියලා හිතෙන්නත් පුළුවන්. මේ සමාජෙ මං වගේ ම තව මනුෂ්‍යයෙක් මේ ශ්‍රී ලංකාවේ ඉන්න හොඳ ම නළුවා වෙනවා කියලා, හොඳ ම නර්ථන ශිල්පියා වෙනවයි කියලා හිතන්න. ඒ කෙනාට මේ සමාජයේ ඉස්සරහා හිටගන්න අයිතියක් නැද්ද? ඒ මනුෂ්‍යයට තමුන්ගෙ ජීවිතේ ගැන හීන නැද්ද? ඒ මනුෂ්‍යයට තමන්ගෙ තියෙන හැකියාවෙන් ඉදිරියට යන්න අවස්ථාවක් නැද්ද? මං අහන්නෙ ඒකයි. මේ දවස්වල මිනිස්සු කියන දේවල් එක්ක මගේ පැත්තට කතා කරන අයට මම ස්තූති කරනවා. ෆේස්බුක් එකේ, වෙඩ් අඩවිවල මං වෙනුවෙන් සටන් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝට ම බොහොම ස්තූතියි. බොහොම පිං. නරක කියන මිනිස්සුත් ඒ අතර ඉන්නවා. මම ඒ ගැන මහා ලොකුවට හිතන්නෙ නෑ. ඒත් ඇයි මිනිස්සු මෙහෙම හිතන්නෙ ? මං මොන වැරැද්දක් කළාට ද? එයාලට මා විවේචනය කරන්න අයිතිය තියෙනවා වගේ ම,ඇයි මට බනින්නෙ? මොකක්ද මගේ වරද? කියන එක දැන ගන්න මම ආසයි .

කවදා හරි කොතන හරි මාධ්‍යයකදි ඔය බනින මිනිස්සු මගේ මූණ ඉස්සරහට ඇවිල්ලා මේ ගැන අහන දවසට දෙන්න උත්තර මගෙ ළඟ ඕන තරම් තියෙනවා. මගේ හිතේ හැබැයි පොඩි දුකක් තියෙනවා . සමහර මිනිස්සු මේ දකින කෝණය වෙනස් කරන්න ඕනෙයි කියන තැන මම ඉන්නවා. මිනිස්සු මේ දකින විදිහ වෙනස් විය යුතුයි කියන දේත් මගෙ හිතේ තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන බේද, ආගම්, කුලමල ඔය ඔක්කොම අතෑරලා සතුටින් මේ සමාජයේ හිටගන්න පුළුවන් දවසක් එනවද? තමන්ට තමන් ආදරේ කරනවා වගේ ම අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්න පුළුවන් දවසක් මේ මිනිස්සුන්ට එනවද? මේ මිනිස්සු හැමෝම එක වගේ හිතන්න ගන්න දවසක් එනවද? මේ රට දියුණු වෙන්නෙ අන්න එදාටයි. එදාට ඕනැම මනුෂ්‍යයෙකුට සතුටින් පාරෙ බැහැලා යන්න පුළුවන් වෙයි. ඒ වගේ දවසක් එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට උදවු කරපු හැම කෙනකුට ම ස්තූති කරනවා. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝට ම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට බැණපු, මට හොඳ කියපු හැම කෙනෙක්ට ම මම ආදරෙයි.

 

l ඔබේ වෘත්තිය විදිහට තෝරා ගත්තේ මොන අංශයකින්ද?

කාලයක් මම ව්‍යාපාරික කටයුතු කළා. දැන් නම් මම ඒ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා, නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. රංගනය පැත්තට යන්නත් මේ දවස්වල ඉගෙන ගන්නවා. පසුගිය කාලෙ තරගෙ වැඩත් එක්ක මාස දෙකක් විතර මම කාර්යබහුල වෙලා හිටියා. පූර්ණ කාලීනව රංගනයට දායක වීමේ හැකියාවක් මට තියෙනවා. ඉස්සරහට ඒ වගේ දේවලින් ඉදිරියට එයි. මේ දවස්වල නම් පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. හැමෝම අඳුර ගන්නවා. දකින දකින තැන මිනිස්සු ඇවිත් කතා කරනවා. සුබ පතනවා. ඉස්සරහට දිගට ම කලා ක්ෂේත්‍රයේ මම ඉන්නවා. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් ඉඳියිද කියන්න මම දන්නෙ නෑ. ඒත්, මට ලැබෙන, මට දැනෙන, මට හොඳයි කියලා හිතෙන ඕනෙ ම නිර්මාණයකට මම දායක වෙනවා.

 

l ඔබේ අනාගත බලොපොරොත්තු මොනවද?

පළමුවැනි ම බලාපොරොත්තුව තමයි මං මම ගැන තෘප්තිමත් මිනිහෙක් විදිහට මැරෙන්න ඕනෙ. ඉදිරියට ලැබෙන, මට හොඳයි කියලා හිතෙන නිර්මාණවලදි සාර්ථකව දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.

මට හැම දෙයක්ම එක්ක සතුටින් ජීවත් වෙන්නයි ඕනෙ.

 

කාංචනා සිරි­ව­ර්ධන

 

නව අදහස දක්වන්න