නඩු ප්‍රශ්න සහ නීතිඥවරු | දිනමිණ

නඩු ප්‍රශ්න සහ නීතිඥවරු

යූ. ආර්. ද සිල්වා
නීතිඥ සංගමයේ සභාපති

වත්මන් ශ්‍රී ලංකාවේ නීතිය ඇති නැති හැකියාව අනුව වෙනස් වන්නේ යැයි බොහෝ දෙනකුගේ තර්කය වී තිබේ. මෙරට අධිකරණ ක්‍රියාවලිය දේශපාලකයන් ඇතුළු ප්‍රභූන්ට එක් ආකාරයකටත්, සිවිල් ජනතාවට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන්නේ යැයි චෝදනා එල්ලවෙයි. ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කාරණා අතීතයෙන් ගෙන හැර දක්වන බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ, රටක නීතියේ අධිපති බලය එක්තරා පැලැන්තියක් හෝ කණ්ඩායමක් විසින් රඳවාගෙන මහජනතාව පීඩාවට ලක් කරන බවයි.

නීති ක්ෂේත්‍රය තුළ යම් යම් අවස්ථාවලදී එවැනි දේ ඇති වුවත්, නීතිය තුළ එවැන්නක් සිදුවීම කිසිසේත් සාධාරණ නැත. නීති ක්ෂේත්‍රය තුළ පමණක් නොව ඕනෑම වෘත්තියක සිය වෘත්තියට නිගාදෙන අයුරින් කටයුතු කරන වෘත්තීයවේදීන් සිටීම පොදු ලක්ෂණයකි. එක් පුද්ගලයකු හෝ දෙදෙනකු සිදුකරන එවැනි අයහපත් ක්‍රියා නිසා, සමස්ත ක්‍රියාවලියටම එල්ලවන්නේ අයහපත්, නරක ප්‍රතිචාරයකි. කෙසේ වුව එවැනි ක්‍රියා සම්බන්ධයෙන් සමස්ත නීතිඥ වෘත්තියටම හෝ වෘත්තීයවේදීන්ට පහර දෙන්නේ නම් එය සාධාරණීකරණය කළ නොහැකිය.

යුක්තිය පසිඳලීමේ දී දේශපාලනඥයන්ට හෝ වෙනත් ප්‍රභූවරයකුට සිවිල් ජනතාවගෙන් වෙන් කර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැත. එහෙත් එවැනි අවස්ථා ඇති කරන පිරිස් ඕනෑම ක්ෂේත්‍රයක සිටිය හැකිය. ඊට මාධ්‍ය තුළින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මහජනතාව තුළ වැරැදි අවබෝධයක් ඇති කිරීමට හේතුවී තිබේ. මාධ්‍ය එවැනි සිදුවීම් නිතර නිතර වාර්තා කිරීමේදී නිරායාසයෙන් මහජනතාව නීතියේ දෙයාකාරයක් ඇති බවට විශ්වාස කිරීමට පෙලඹෙති.

නීතිඥ වෘත්තියේ හා අධිකරණ ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් කොතරම් දුරට නීතියේ ආධිපත්‍ය, යුක්තිසහගත ලෙස ආරක්ෂා කිරීමට කැපවෙන්නේ ද යන්න මහජනතාවට අවබෝධයක් නොමැති නමුත්, මේ රටේ සියලු පුරවැසියන්ගේ සහයෝගය හා කැපවීම මෙන්ම, දේශපාලනඥයන්ගේ කැපවීම මත මෙරට යුක්තිය පසිඳලීම සාර්ථක කර ගැනීමට හැකියාව ඇත. යම් සිද්ධියකදී මහජනතාව ඍජුව තීරණය කරන්නේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා බන්ධනාගාරගත කළ යුතු බවකි. එහෙත් ඊට වඩා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතුය. යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේ දී පොලිසිය සටහන් කරගන්නා පාපොච්ඡාරණ සටහන මාධ්‍යට ලබාදීම පූර්ණ වරදකි.

එසේම එකී සටහන හරහා ඔහු හෝ ඇය පූර්ණ වරදකරුවකු ලෙස මහජනතාව ඉදිරියේ වාර්තා කිරීම අනවශ්‍ය මතයක් නිර්මාණය කිරීමකි. පාපොච්ඡාරණයක් යනු කිසි විටකත් සාක්ෂි සටහනක් නොවන්නේ ය. ඉන් පෙන්නුම් කරනුයේ යම් පුද්ගලයකු‍ හෝ යම් සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයට ලක් වන්නේ නම්, ඔහු හෝ ඇය පූර්ණ වරදකරුවකු ලෙස නිගමනය කිරීමේ හැකියාවක් මාධ්‍යට හෝ නීති සහයකයන්ට නොමැති බවයි.

ගාස්තු ගැන චෝදනාව

නීතිඥ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ද මෙරට නීතිඥ වෘත්තියේ නියැලෙන පිරිසට මහජන අප්‍රසාදය එල්ලවී තිබේ. තම පැවැත්ම උදෙසා නඩු දිනෙන් දින කල්දැමීමට කටයුතු කරන්නේ යැයි ද නීතිඥවරුන්ට එරෙහිව මහජන මැසිවිල්ලක් ඇත. එහෙත්, බොහොමයක් මහාධිකරණ නඩු සඳහා නීතිඥවරු අයකරනුයේ එක් වර ගාස්තුවකි. එකී ගාස්තුව ලබාගත් පසු නඩුව කල් යැවීමේ වුවමනාවක් නීතිඥවරයාට ඇති නොවනු ඇත. නීතිඥ ගාස්තු ඉහළ ‍ගොස් ඇතැයි මහජන මැසිවිල්ලට හේතු වනුයේ, එකවර ගාස්තුවක් අයකරගත් පසු දිනෙන් දින කල් යන නඩු වෙනුවෙන්, ගාස්තු අය කිරීමය. නීතිඥවරයාට ගාස්තු අය නොකර සිටිය නොහැකි වී තිබෙනුයේ ඔවුනගේ ආදායම් මාර්ගය එය බැවිනි.

නීතිඥවරුන්ට සිය ජීවනෝපාය මාර්ගය මඟහැර දිනෙන් දින කල් යන නඩු සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැත. නමුත්, හිතාමතා නඩු කල් දැමීමට කටයුතු කරන නීතිඥවරුන් ද සිටිය හැකිය. එවැනි නීතිඥවරුන් නිසා සමස්ත නීති ක්ෂේත්‍රයම පිළිකුලට ලක්ව ඇත. නීතිඥ සංගමයට පැමිණිලි කළහොත් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය සංගමය සතුය. අතීතයේ දී නීතිඥ සංගමය එවැනි නීතිඥවරුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගෙන තිබේ.

මෙරට නීති පද්ධතිය බොහෝවිට නඩු කල්යාමට බලපා තිබේ. මහාධිකරණවල විශේෂ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීම සිදුකිරීම කාලයක් පුරා කළ එකකි. එහෙත් වත්මන් තත්ත්වය දෙස බැලීමේදී, එහි වෙනසක් සිදුවිය යුතුය යන මතය කරළියට පැමිණ තිබේ. එවැනි කාල වකවානුවකදී විශේෂ මහාධිකරණ පිහිටුවීම යන සංකල්පය අධිකරණ සංවිධාන පනතට ඇතුළත් කොට තිබුණි. ඒ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගී වූ නීතිඥ සංගමය ඊට පූර්ණ සහය පළ කර තිබේ. එවැනි මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්ච සභා පිහිටුවීමෙන් මෙරට නඩු කල් යාම වළක්වා ගත හැකිය. ඒ නිසා ඊට පූර්ණ සහය ලබා දී පනත සම්මත කරගත යුතුව තිබුණි.

එහෙත් නීතිඥ සංගමයේ සහයත් තිබියදීත් අධිකරණ ඇමැති පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, ඇයට ලැබෙන බලය අනුව ඕනෑම අවස්ථාවක ත්‍රිපුද්ගල විනිශ්ච සභා පිහිටුවිය හැකි ලෙස පනත සංශෝධනය කර තිබේ. ඊට විරුද්ධව නීතිඥ සංගමය අධිකරණයට පෙත්සම් ගොනුකර විරෝධතා පළකිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස නීතිඥ සංගමයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. ඒ අනුව අධිකරණ ඇමැතිට හිමි බලයෙන් ත්‍රිපුද්ගල විනිශ්චය සභා ස්ථාපිත කිරීමේ හැකියාව අහිමි කොට තිබේ. මේ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ, රටේ නීතිය සියලු පුරවැසියන්ට සමව තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගන්නා බවයි.

අධිකරණ ඇමැති ගෙන එන්නට උත්සාහ කළ පනත තුළ යම් සිද්ධියක් සම්බන්ධයෙන්, යම් පුද්ගලයකුට නඩු පැවරීමේ බලය අල්ලස් කොමසාරිස්ට හා නීතිපතිට ලබා ගැනීමේ උත්සාහයක් ද තිබුණි. එවැනි උත්සාහයක අවසන් ප්‍රතිඵලය පවතින රජය තවදුරටත් අප්‍රසාදයට පාත්‍ර වීමයි. ගෙන එන්නට උත්සාහ කළ පනතට පෙර පැවැති පනත තුළ ද, එවැනි විනිශ්ච සභා පිහිටුවීමේ බලය තිබුණි. යම් නඩුවක්; නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අග්‍රවිනිශ්චකාරතුමාගේ අධ්‍යයනයට යටත්ව, සියලු කටයුතු සොයා බලා ත්‍රිපුද්ගල විනිශ්චය සභාවකට යා යුතු ද, නොයා යුතු ද යන්න තීරණය කිරීම සාධාරණය. එවැනි කාර්යයක් සිදු කරනුයේ, විශේෂ ගණයේ අපරාධ නඩු සඳහාය. ඒ සඳහා විශේෂිත වූ නිර්නායකද ඇතුළත් ය. නමුත්, මෑතක ගෙන එන්නට උත්සාහ කළ පනත තුළ එවැනි කාර්යයක් අන්තර්ගත වී නොමැත. ඊට එරෙහිව නීතිඥ සංගමය විරෝධතා පෙත්සම් ගොනු කළේ ඒ නිසා ය.

නඩු කල්යන හේතු

නඩු කල් යාම සම්බන්ධයෙන් ගොඩනැඟුණ මතය වෙනුවෙන්, පනත තුළ ඇතුළත් වූ කරුණු කාරණාවලදී නඩු සඳහා දින ලබා ගැනීම අහිමි කිරීමේ උත්සාහයක් ද ගෙන තිබුණි. පනතට අනුව දිනපතා නඩු ඇසිය යුතුය යන්න නිර්දේශ විය. එහෙත් එය ප්‍රායෝගික නොවන තැන ඊට එරෙහි විරෝධතා පළ කිරීමට නීතිඥ සංගමයට සිදුවිය. නඩු සඳහා දින ලබා ගනුයේ, සුවිශේෂී හේතු මත විය හැකි නිසා ඊට පනත තුළ ඉඩක් තිබිය යුතුය. දිනයක් ලබාදිය හැකිද, නොහැකි ද යන්න විනිශ්චය සභාවට තීරණය කළ හැකිය.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් නව පනතට විරෝධතා දැක්වූ නීතිඥ සංගමය මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් තිබිය යුතු බව තරයේ අවධාරණය කරයි. නීතිඥ සංගමයේ එකී ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් පනත සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකොට තිබේ. කෙසේ වෙතත් මෙවැනි සංශෝධන ජනතා සුබ සිද්ධිය තකා මිස වෙනත් අරමුණක් අරඹයා ඉටු නොවිය යුතුය යන්න නීතිඥ සංගමයේ මතයයි.

ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයාට බාරදුන් පසු, ඔවුන්ගේ තීරණය වූයේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකට නොයා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව පනත සංශෝධනය කළ යුතු බවයි. වත්මන් රජය මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව හා නීතිය වෙනුවෙන් ගත් වැදගත් මෙන්ම නීතියේ ප්‍රගමනයට ගත් වඩාත් සාධාරණ තීරණයක් ලෙස එය දැකිය හැකි ය. පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත වූ පසු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා නොහැකිය. එහෙත් නව ව්‍යවස්ථාවක් ගෙනඑන්නේ නම් ඒ තුළ ඊට ඉඩක් තිබිය යුතු බව අවධාරණයකොට තිබේ. ඒ නිසාම මෙරට නීති වෙනස් විය යුතුය. වත්මන් රජය දැනටමත් නීති වෙනස් කරමින් සිටී.

එය මෙරට පුරවැසියන් ලබන ජයග්‍රහණයකි. තවදුරටත් මේ රටේ නීති කෙටුම්පත්, අණ පනත් වෙනස්කම්වලට ලක්කළ යුතුව තිබේ. ඒ සඳහා අධිකරණ සහයකයින්ගේ සහය ලැබිය යුතුය. උදාහරණයක් ලෙස පෝර්ට්සිටිය සම්බන්ධයෙන් වෙනම නීති පද්ධතියක් සැකසිය යුතුය. රටවල් දෙකක නීතිය ගලපාගැනීම හා ගිවිසුම්වල තත්ත්වයන් පිළිබඳව නව නීති පද්ධතියට ඇතුළත් කළ යුතුය. දැනටමත් එවැනි යෝජනා ඉදිරිපත්වී තිබේ.

අධිකරණයට තාක්ෂණය

මෙරට අධිකරණ පද්ධතිය තවදුරටත් පුළුල් විය යුතු බවට පසුගිය කාලයේ විශාල කථිකාවක් ඇති වී තිබුණි. මේ සියලු අධිකරණ පද්ධතීන් සංශෝධනය වීම තුළින් නඩු ප්‍රමාදය බොහෝ දුරට අවම කරගත හැකි බවට ද මතයක් පවතී. ඒ නිසාම වත්මන් රජය මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110ක් දක්වා වැඩිකර තිබේ. එය රජයක් ලෙස ගත් වැදගත්ම තීරණයකි. ඒ තුළින් නඩු විශාල ප්‍රමාණයක් විභාග කඩිනම් කිරීමේ හැකියාව ද උදා කරගත හැකිය. දිනපතා නඩු විභාග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රායෝගික ගැටලු රැසක් තිබේ. ඒ සඳහා අධිකරණ ක්‍රියාවලිය නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාව පවතී. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකොට මෙරට නීති ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඉදිරි වසර කිහිපයේ සිදුකර ගැනීමට හැකි ප්‍රවේශයක් වෙත යොමු විය යුතුය. එය මෙරට පුරවැසියන්ගේ සමාජ යහපත වෙනුවෙන් ගන්නා වූ අතිශය වැදගත් ව්‍යායාමයකි.

ගැටලු අවම කිරීමට

මේ රටේ නීතිඥ ප්‍රජාව දැනුමෙන් සන්නද්ධ වුවත්, ඔවුන්ගේ කාර්යයන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් නොමැති වීම ගැටලු සහගත ය. අපරාධ නඩු සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී ඒවා අවම කර ගැනීමට නඩු විභාගයට පෙර සූදානමක් ඇති කරගත යුතුය. එවිට සාක්ෂිකරුවන් නොමැති වීම, නඩු භාණ්ඩ නොමැතිවීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ අවධානයකට ලක් කළ හැකිය. නඩු විභාගයට පෙර පොලිසිය විසින් සියලු සාක්ෂිකරුවන් හා නඩු භාණ්ඩ පෙර සූදානමකට ලක් කළ යුතුය. එවැනි සංශෝධන රැසක් අනාගතයේදී සිදුකිරීමට වත්මන් රජය උනන්දුවන අතර, අගමැතිවරයා විසින් මෙරට නීති පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රවේශයන් පූර්ණ අවධානයකට ලක්කොට තිබේ.

අගමැතිවරයාට ඇති වුවමනාව අනුව යම් යම් පුද්ගලයන් ඉලක්ක කරගත නොහැකි සර්වසාධාරණ නීති පද්ධතියක් පිහිටුවිය හැකිය. ඒ නිසා අනාගතයේ දී මෙරට නීති පද්ධතිය පුරවැසියාට යහපත්, රටක ඉදිරිගමනට ඉතා වැදගත් එකක් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

 

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න