ඔබෙත් හිසකෙස් අකලට පැහෙනවාද? | දිනමිණ

ඔබෙත් හිසකෙස් අකලට පැහෙනවාද?

හිසකෙස් සුදු ෙවන්නේ, හිසකෙස්වල මෙලනින් වර්ණකය නිපදවන සෛල, එම වර්ණක නිපදවීමට අසමත් වීම නිසා ය. වයස්ගත වීමත් සමඟ මේ ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයක් වුණාට, අකලට හිසකෙස් පැසෙන්න ගන්න එකට හේතු කීපයක්ම බලපානවා. දැනටමත් වැඩී ඇති හිස කෙස් සුදු වෙන්නෙ නෑ. අලුතින් වැඩෙන හිසකෙස් වලට වර්ණක අඩුවෙන් සැපයීම හෝ වර්ණක නිපදවීම සිදු නොවීමෙන් තමයි හිසකෙස් සුදු වෙනවා. මේ සඳහා ජානමය බලපෑමකුත් තියෙනවා.අවුරුදු පහළොව දාසය වගේ වයස්වල තරුණ තරුණියන්ගේ පවා අකලට ඉදුණු හිසකෙස් තියෙනවා ඔබ දැකලා ඇති. බොහෝ විට මේ තත්ත්වයට හේතුව ජානමය බලපෑමක්. මීට අමතරව තවත් හේතු කීපයක් ම බලපානවා.

• ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන රෝගී තත්ත්ව නිසා, සෛලවලට වන බලපෑම මත වර්ණක නිපදවන සෛල දුර්වල වීමෙනුත්, අකලට හිසකෙස් පැසීම සිද්ධ වෙනවා. ඒත් මෙය, ඉතා ම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන්.

• තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන රෝගී තත්ත්ව නිසාත්, දෙවැනි ගණයේ දියවැඩියා තත්ත්ව නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

• දුම්පානය අකලට හිසකෙස් පැසෙන්න හේතුවක් කියලා නිකමටවත් හිතුවෙ නෑ නේද? ජානමය තත්ත්වය තරම් ම ලොකු බලපෑමක් නොකළත්, අකලට හිසකෙස් පැසීම සහ ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබීමට දුම්පානය හේතුවක් වෙනවා.

• පැහැදිලිවම ඔප්පු කර නැතත්, දීර්ඝ කාලීන මානසික පීඩන තත්ත්ව හිසකෙස් අකලට පැසීමට බලපාන බවට මතයක් තියෙනවා.

• විටමින් බී 12, විටමින් ඊ සහ සින්ක් ඌණතාවත් මීට හේතුවක් . හිසකෙස් වර්ණක නිපදවීමට අවශ්‍ය සෛලවල පැවැත්මට පෝෂණ කොටස් නොලැබීම, හිසකෙස් අකලට පැසීමට බලපානවා.

• දීර්ඝ කාලීන පීනස නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

ප්‍රතිකාර

ජානමය තත්ත්ව මත ඇති වන අකලට හිසකෙස් පැසීමට නම්, මේ වනතුරු ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. ඒත්, හිසකෙස්වල වර්ණයට අදාළ වන ජානය ගැන කළ පරීක්ෂණවල යම් සාර්ථක බවක් ලබා ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ නිසා, අනාගතයේදී ජානමය තත්ත්ව නිසා ඇති වන හිසකෙස් සුදු වීමට ප්‍රතිකාරයක් ගැන අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මේ වගේ අයට කරන්න පුළුවන් පහසුම සහ සුදුසුම දේ තමයි, හෙයා කලර් කරන එක. පාසල් වියේ පසුවන කෙනෙක් නම් වර්ණ ගැන්වීම කළු පාටින් කර ගන්න පුළුවන්.

තයිරොයිඩ් නිසා හෝ දියවැඩියා තත්ත්ව නිසා ඇති වන අකලට හිසකෙස් පැසීම, එම රෝග තත්ත්වවලට ප්‍රතිකාර කිරීමත් එක්ක බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්.

මීට අමතරව මන්දපෝෂණය, එහෙමත් නැත්නම් හිසකෙස්වලට නිසි පෝෂණයක් නොමැතිකම නිසා ඇති වන අකලට හිසකෙස් පැසීමට කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් තියෙනවා. එක රැයකින් හිසකෙස් සුදු වෙන්නෙ නෑ වගේම, මේ ප්‍රතිකාරවලින් එක රැයකින් කොණ්ඩය යථා තත්ත්වටය පත්වෙයි කියලත් හිතන්න එපා. මේ නිවෙසේදී කරන්න පුළුවන් ප්‍රතිකාරවලට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා, ඉවසීම වැදගත්.

1. නෙල්ලි වියළා කුඩු කර, පොල් තෙල් සමඟ මිශ්‍ර කර, රත්කර හිසෙහි ආලේප කරන්න.

2. කරපිංචා කොළ කොටා, ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න. මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි.

3. තලාගත් ඉඟුරු ස්වල්පයක් මී පැණි මේස හැන්දක මිශ්‍ර කර , උදෑසන ආහාරයට ගන්න.

4. සති දෙකකට වරක් පිරිසුදු එළඟි තෙල් හිස ගල්වා සම්භාහනය කරන්න.

5. කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල්වලට දමා, රත් කර, හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න.

6. පේර කොළ පොඩි කර, එම යුෂ හිස් ගල්වා, පැයක් පමණ තබා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි.

7. කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර, හිස ගල්වා තබා සෝදා හරින්න.

මේ ප්‍රතිකාර මොන තරම් ස්වභාවික වුණත්, ඇතැම්විට ආසාදන තත්ත්ව ඇති වන්න පුළුවන්. ඔබේ අකලට හිසකෙස් පැසීම මොන හේතුවක් නිසා සිදුවෙන්නේ ද කියන එක වෛද්‍යවරයෙක් හමුවට ගිහින්ම දැන ගන්න එක වඩාත් සුදුසුයි. කිසි ම ප්‍රතිකාර ක්‍රමයක් හිතුමතේ කරන්න එපා.

අන්තර්ජාලය සහ පොත පත ඇසුරිනි

යශෝදා

 

නව අදහස දක්වන්න