පරිසරය හා මිනිස්සු | දිනමිණ

පරිසරය හා මිනිස්සු

අද වනවිට ලෝකය පුරා පරිසරය සුරැකීම පිළිබඳ කතා කරන්නේ දැඩි බියකිනි. එසේ වන්නේ මිනිසුන් විසින් පරිසරයට කරන ලද බරපතළ හානියේ පල අද වනවිට අප භුක්ති විඳිමින් සිටින නිසා ය. කාර්මිකකරණයේ නාමයෙන් විනාශ කළ ගස්වැල් නැවත සිටුවීම ගැන කතා කරන අතර ම, තාක්ෂණය හා වාණිජකරණය හමුවේ නීති-රීති යට යමින්, මිනිසා ගේ කුරිරු තණ්හාව මතු වෙමින් පවතී. බොහෝ දියුණූ රටවල් පරිසර හානියට වැට බැඳීමට පටන් ගෙන ඇති මුත්, ශ්‍රී ලංකාව ගමන් කරන්නේ අව පැත්තට වීම කනගාටුදායක තත්ත්වයකි. මේ බව වඩාත් අවබෝධ වන්නේ විදේශීය රටක ජීවත් වන විට ය.

අප කුඩා අවදියේ දී වැඩිහිටියන් කඩපොළට රැගෙන යන්නේ පන් මල්ලකි. නැතහොත් වේවැල් කූඩයකි. එකළ අද මෙන් ප්ලාස්ටික් ෂොපින් බෑග් තිබුණේ නැත. කඩේ මුදලාලි හාල්, සීනි, පිටි වැනි දෑ දැමුවේ කඩදාසි ගොටුවල ය. ඉවත දමන සිමෙන්ති මලුවලින් කඩදාසි බෑග් සාදන ලදී. පාසල් පොත්වලට කවර දමා ගත්තේ දින දර්ශනයක කොළයකින් හෝ සත දහක් දී ලබාගත් දුඹුරු පැහැති කොළයකිනි. ගසක් කැපූවේ නම්, ඒ අසල පැළයක් සිටවීම සිදු විය. හේතුවක් නැතිව ගසක අත්තක් කැපූවේ නම්, පුංචි අපට වැඩිහිටියන්ගෙන් ලැබෙන්නේ දෝස්මුරයකි. එහෙත්, අද රුපියල් සතවලට ඇති ආදරය පරිසරයට නැති මිනිස්සු පිරිසක් අපේ රටේ බෝ වී සිටිති.

ජපානයේ සුපිරි වෙළෙඳසැල් හි ප්ලාස්ටික් බෑග් තිබුණ ද, පරිසර හිතකාමී අයෙක් ගෙදරින් මල්ලක් කඩේට රැගෙන විත් බඩු ටික දමා ගන්නේ නම්, එම තැනැත්තා කරන සේවයට ඇගැයීමක් වශයෙන් කඩෙන් ලබාදෙන කාඩ්පතක ඇති කොටුවක සලකුණක් යොදයි. එම කොටු සියල්ල පිරුණු පසු යම් කිසි ත්‍යාගයක් ලබා දීම සිදු වේ. චීනයේ බොහෝ කඩ සාප්පුවල ප්ලාස්ටික් මලූ නැත. අවශ්‍ය නම් ඒ සඳහා මුදලක් ගෙවිය යුතුයි. යම් කිසි විදිහකින් බිලියන එකහමාරක් වූ චීනුන්ගෙන් බිලියන භාගයක් වත් දිනකට එක් ප්ලාස්ටික් මල්ලක් පාවිච්චි කෙළේ නම්, වසර කීපයකින් පරිසරයට එකතු වන අප ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද?

අතීතයේ දී කාර්මික විප්ලවය වෙනුවෙන් යුරෝපයේ වනාන්තර එළි පෙහෙළි කෙරිණි. අද ඒ පාපයට වන්දි ගෙවන රටවල් බොහෝ ය. සමහර යූරෝපා රටවල ප්ලාස්ටික් භාවිතය අවම කරන උපක්‍රම රාශියක් භාවිත කරයි. ප්ලාස්ටික් සහ වීදුරු බෝතල්වලින් බද්දක් අය කිරීම එක් ක්‍රමයකි. මේ මුදල ආපසු ලබා ගන්නට නම්, ඒ ප්ලාස්ටික් බෝතල් කඩවලට ආපසු බාර දිය යුතු ය. මේ නිසා, අවට පරිසරය පිරිසුදු කිරීමේ ප්‍රශ්නයක් පැන නොනගින අතර, ප්ලාස්ටික් භාවිතය නිවැරැදි ලෙස සිදු වේ. එක් බෝතලයකින් රුපියල් තිහක් පමණ අය කරන නිසා, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල පාර දිගේ බෝතලයක් දකින්නවත් නැති තරම් ය. ප්ලාස්ටික් මල්ලක් භාවිත කරන්නේ නම් මුදලක් ගෙවිය යුතු ය.

ජර්මනියේ දී මට පරිසරය සම්බන්ධ සිදුවීමක් අත් විඳින්නට සිදු විය.

දිනක් මම රාජකාරි වාහනය ගරාජයෙන් එළියට ගෙන හෝදමින් සිටියෙමි. මා එයට හෝස් බටයෙන් වතුර අල්ලා, සබන් දියර අතුරන්නට පටන් ගත්තා පමණි. නිවෙසේ අයිතිකරු දුවගෙන විත් යමක් තේරුම් කරන්නට උත්සාහ කෙළේ ය.

”කාරය හෝදන වතුර සිමෙන්තිය දිගේ පමණක් ගලා යන්නට ඉඩ හරින්න.” ඒ ඔහු ගේ අවවාදය යි.

”ඇයි අපි වරදක් කරනවාද?” මම විචාලෙමි.

”ඔව්. රසායන ද්‍රව්‍ය සහිත වතුර පසට එක් කිරීම තහනම්.”

”ඒ වුණාට මේ සබන් වතුර නේ.” මම ඔහුට කියා සිටියෙමි.

”කාර් හෝදන සබන්වලත් රසායනික ද්‍රව්‍ය තියෙන්නේ. ඒවා කාණුව දිගේ යන්න අරින්න. අතරමඟ දී ඒවා සුද්ද වෙන ක්‍රමයක් තියෙනවා. පසට එක් කරන්න එපා.” එසේ අවවාද කර, ඔහු පිටත් ව ගියේ ය. මට දැන ගන්නට හැකි වුණේ ජර්මනියේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති යන්ත්‍රාගාර හරහා සියලූ අපවිත්‍ර ජලය පරිසරයට මුදා හැරීම සිදුවන්නේ පිරිසුදු කිරීමෙන් පසුව බව ය.

ශ්‍රී ලංකාවේ ගංගාවලට එකතුවන සබන් ප්‍රමාණය මම කල්පනා කෙළෙමි. අද මහනුවර වැව දැඩි ලෙස දූෂණය වී තිබේ. බේරේ වැව ගැන කතාකර පලක් නැත. මා ජීවත්වන මහනුවර මාවිල්මඩ ප්‍රදේශය මගේ සිහියට නැගිනි. ඒ ප්‍රදේශය අවට වාහන පිත්තාරු කරන අනවසර ස්ථාන විස්සකට අධික ප්‍රමාණයක් තිබේ. ඒවායින් පිටවන අපද්‍රව්‍ය කෙළින් ම යන්නේ මහවැලි ගංගාවට ය. එහෙත්, එම වැරැද්ද දුටුව ද, ඒ ගැන පියවරක් ගන්නට බුරුතු පිටින් පැටව් ගසා සිටින පරිසර නිලධාරීන් හෝ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ඉස්පාසුවක් නැත.

කාර්මික යුරෝපා රටක ආයතනයක් මඟින් රාසයනික අපද්‍රව්‍ය පිරවූ බැරල් නැවක් යුද සමයේ දී ලෙබනනයේ වළදමා තිබුණු බව මෑතක දී වාර්තා විය. දුප්පත් අප්‍රිකානු රටවල දූෂිත දේශපාලනඥයන් ගේ උපකාරයෙන් වළ දමන රසායනික අපද්‍රව්‍ය ප්‍රමාණය නිමක් නැත. ඒවා පරිසරයට නිරාවරණය වීම නිසා, රෝගාබාධවලට ගොදුරුවන ජනතාව විශාල සංඛ්‍යාවකි. පළමු කුවේට්-ඉරාක යුද්ධයේ දී බලවත් රටවල් භාවිත කළ යුරේනියම් සහිත බර අවි උණ්ඩවල කොටස්, ඉරාකයේ තවමත් තිබේ. ඒ නිසා, දරුවන් බොහෝ පිරිසක් විවිධ ආබාධ නිසා දුක් විඳිති.

අපට නැවතත් අපේ මුතුන් මිත්තන් ගිය මඟ යන්නට නොහැකි වන්නේ මන්දැ යි නිතර මගේ කල්පනාවට නැගේ. ඒ සඳහා දැඩි කැපවීමක් සහිත නායකත්වයක් සහ ජනතාව තුළ විනයක් තිබිය යුතු බව නම් පැහැදිලි ය. ප්ලාස්ටික් බෑග් පාවිච්චිය නතර කිරීමෙන් විදේශ විනිමය ඉතිරි වෙයි. දේශීය පන් මල්ලට නැවත පණ දීමෙන්, රටේ රැකියා ප්‍රශ්න අවම කිරීමට තල්ලූවක් ලැබේ. අනෙක එහි යම් කිසි සුන්දරත්වයක් ද දැකිය හැකි ය. එහෙත්, කලාවට වේලාවක් නැති, අවේලාවට බොහෝ කරන ජාතියක් වශයෙන් අපි වෙනස් වන දිනයක් මෑතක දී නම් දැකිය නොහැකි ය. එය, රටේ ම අභාග්‍යයකි.

රංජිත් ගුණරත්න


නව අදහස දක්වන්න

Or log in with...