වැලිගම ඝාතනය ඇල්ලූ 'ජෙසික්'ගේ ඉව | දිනමිණ

වැලිගම ඝාතනය ඇල්ලූ 'ජෙසික්'ගේ ඉව

මෙරට සිදුවන අපරාධ බොහෝමයක් විසඳීම සඳහා මුල් පොට පාදා දෙන්නේ පොලිස් නිල සුනඛයන් විසිනි.

එහෙත්.....

එම අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් බොහෝවිට නිල සුනඛයා සිදු කළ කාර්යභාරය හෙළි කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නැති, විද්‍යාත්මක සාක්ෂියක් පවා සොයා ගත නොහැකි අවස්ථාවලදී අපරාධකරු ස්පර්ශ කළ යමක් ඉවෙන් නොඑසේ නම් අපරාධකරුගේ පයට පෑගුණු තණ කොළයෙන් පවා නිල සුනඛයා අපරාධකරු සොයා දුන් අවස්ථා බොහෝය.

සමහර අපරාධ විසඳීමට මුල් වන්නේ සී.සී.ටී.වී කැමරා දර්ශනය. එහෙත්.... බොහෝවිට පොලිසිය එම සෝදිසියට පිවිසෙන්නේ නිල සුනඛයා ගේ ඉව අනුවය. සමහර අවස්ථා වලදී එම අපරාධය කළ පුද්ගලයන් කවුරුන්දැයි

හෙළි වී ඇතත් නිල සුනඛයාගේ සහාය ගන්නේ ඒ බව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහාය.

වැලිගම පොලිස් වසමේ මුදුගමුව හන්දිය ප්‍රදේශයේ පසුගිය දාසය වැනිදා සිදු වූ ගැටුම ද එවැන්නකි. එනම්... එම ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් ගැන පොලිසියට සියලු තොරතුරු ලැබී තිබිණි. එහෙත් පොලිසිය මාතර අපරාධ නිල සුනඛයා කැඳවූයේ මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයන් නිවැරදි ලෙසම තහවුරු කර ගැනීම සඳහාය.

මෙම ගැටුම ඇතිවන්නේ එදින රාත්‍රි කාලයේදීය. ඒ මුදුගමුව හන්දිය ප්‍රදේශයේ මහපාෙර්ය. කඩු පොලු රැගත් දෙපිරිසක් මෙලෙස ගැටුමට එක්ව සිටි අතර දෙපාර්ශවයේම පිරිස් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
මෙම ගැටුමේදී ගමගේ තුෂාර නයනජිත් යන අය මිය යන අතර තවත් කිහිපදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

ගැටුම පිළිබඳ පරීක්ෂණ ඇරැඹූ වැලිගම පොලිසිය මාතර අපරාධ නිල සුනඛ ජෙසික් කැඳවීමට තීරණය කළේය.

ලද දැනුම් දීමකට අනුව කොස්තාපල් 37065 මහේෂ් අපරාධ නිල සුනඛ ජෙසික් ද රැගෙන මුදුගමුව ප්‍රදේශයට යන්නේ ඊට පසුදින උදේ වරුවේය.
එම ප්‍රදේශයේ මීටර් හතලික පනහක පමණ මාර්ගය දෙපස පෙර දින රාත්‍රියේ සිදු වූ ගැටුමේ සුන්බුන් දකින්නට ලැබිණි.

වෙළෙඳසලක් අසල කඩු කිහිපයකි. මාර්ගයේ හෙල්මට් මෙන්ම විසිරි ගිය පාවහන් බොහෝය. මුදුගමුව හන්දියෙන් තල්ගස්වල මාර්ගයට හැරෙන ස්ථානයේ රුධිර දහරාවක් ගලා ගිය සලකුණු දක්නට ලැබිණි. එම ස්ථානයේ යකඩ පොල්ලක් සහ අත් පොරොවක් වැටී තිබෙනු දක්නට ලැබිණි.

ජෙසික්ට ඉව ඇල්ලීම සඳහා ලබා දීමට සුදුසුම දෙය යකඩ පොල්ල සහ අත්පොරොව බව මහේෂ්ට වැටහිණි. ඒ... මිය ගිය පුද්ගලයාට පහර දීමට යොදාගෙන ඇත්තේ මේ අවි දෙක බව පැහැදිලි වූ නිසාය.

අත්පොරොව සහ යකඩ පොල්ල හොඳින් ඉව කළ ජෙසික් මුලින්ම කළේ ගැටුමේ සුන්බුන් ඉතිරිව තිබූ වටපිටාව ඉව කිරීමය. අනතුරුව තල්ගස්වල මාර්ගය ඔස්සේ මීටර් අටසියක් පමණ ඉදිරියට ගිය ජෙසික් මාර්ගය දකුණු පස පිහිටි ගනේවත්ත මුදුගමුව ලිපිනයට අයත් වන්නට ඇතුලු විය.

එහි එක ආසන්නයේ පිහිටි නිවාස තුනකි. ඒවායේ පදිංචිව සිටින්නේ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකි. එහි පළමු නිවෙස ගඩොලින් ඉදිකර තිබූ නිවෙසේ ඉදිරිපස දොරෙන් ඇතුලු වූ ජෙසික් පිටුපස දොරින් පිට විය. එය සාරංග යන අයගේ නිවෙසයි.

පිටුපස දොරින් පිට වූ ජෙසික් ඊළඟට ගියේ ලෑලි ගසා සාදා තිබු රංගනගේ නිවෙසටය. එහි පිටුපස දොරින් ඇතුලුව මුලුතැන්ගෙය ඉව කරන ජෙසික් ඊළඟට අනෙක් නිවෙසට ගොස් ඉව අල්ලා අනතුරුව සාරංගගේ නිවෙස පිහිටි ස්ථානයේ මිදුලේ නතර විය.

මෙම නිවෙස්වල ඒ මොහොතේ සිටියේ කාන්තාවන් සහ දරුවන් පමණි. ඉන් එක් කාන්තාවක හඬා වැටෙමින් කියා සිටියේ තම සැමියා ද බරපතල ලෙස තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.
ජෙසික් එතැනින් සිය රාජකාරිය අවසන් කළේය.

ඉන් අනතුරුව වැලිගම පොලිසියේ පරීක්ෂණ කණ්ඩායම සිද්ධිය වූ මාර්ගය අවට සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා සෝදිසි කිරීම ආරම්භ කළ අතර මෙම ගැටුම ඉතා පැහැදිලිව එම කැමරාවල රූගතව තිබිණි.
ජෙසික් ගිය නිවෙස් වල පදිංචි තිදෙනාගෙන් දෙදෙනෙක් කඩු පොලු රැගෙන ගැටුමට සහභාගි වන අයුරු එම කැමරා දර්ශනවල පැහැදිලිව පෙනෙනන්ට තිබිණි.

මේ සහෝදරයන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් පොලිසියට නඩු භාණ්ඩ ලෙස කඩු පොලු ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි විය.

මෙය මාතර ජෙසික් විසින් සිදු කළ ඉතා ලෙහෙසි පහසුම මෙහෙයුමකි. මීට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම ජෙසික් විසින් විසඳා තිබිණි. ඊට අමතරව ඉතා සැලසුම් සහගත ලෙස සිදු කළ සොරකම් පවා ජෙසික් ගේ ඉවෙන් විසඳා ගැනීමට පොලිසියට හැකි විය.

(තක්ෂිලා ජයසේකර)

අදහස් 1ක් ඇත

waligama incidebt who had done, but power of jesi, founded evidants, but all of this jesi's social"s expieriansers, so dogs are ever intelijan and best full of ethicaly, than human"s powers!bravo jesi!

නව අදහස දක්වන්න