මම හැමදාම අලුත් වන නළුවෙක් | දිනමිණ

මම හැමදාම අලුත් වන නළුවෙක්

මිලින්ද මඩුගල්ල

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි වෘත්තාන්තයක් වන “දෙවෙනි ඉනිම”ට අලුතින් ම එකතු වුණු “මේනක”ගේ චරිතයට පණදෙන්නේ මිලින්ද මඩුගල්ලයි. “දෙවෙනි ඉනිම”ට අලුත් චරිතයක් වුණු මිලින්ද ක්ෂේත්‍රයට නම් අලුත් චරිතයක් නෙවෙයි. සිය රංග ප්‍රතිභාව සමඟින් දුර ගමනකට මංපෙත් විවර කරමින් සිටි ඔහු, හිටි හැටියේ පුරා වසරක් පුරාවට නිහඬ පිළිවෙත රැකී ය. මොහොතකට නතර වුණු, නිහඬ වුණු ඔහුගේ පුනරාගමනය, “දෙවැනි ඉනිම” හරහා සිදු වූ මොහොතක, ඔහුගේ ජීවිතයේ දෙවෙනි ඉනිම ගැන ඔහු හා කතාබහකට මුලපුරන්නටයි මේ සූදානම.

l කාලයක් පේන්න හිටියෙ නැහැ නේද?

ඔව්. ඇත්තට ම මට මුහුණ දෙන්න වුණු ලොකු ඇක්සිඩන්ට් එකක් හින්දා අවුරුද්දකට වැඩි කාලයක් කලාවෙන් වගේ ම කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්න වුණා. මම, සූර්යා දයාරුවන්, සචින්ත පුලස්ති රූපවාහිනි අවුරුදු උත්සවය ඉවර වෙලා ගෙදර යද්දි තමයි ඒ ඇක්සිඩන්ට් එක වුණේ. ඒකෙන් මම තමයි ගොඩක් දරුණු විදිහට තුවාල වුණේ. සතියක් අයි.සී.යූ. එකේ හිටියා. ඔළුවට මැහුම් 45ක් දාලා තියෙන්නෙ. ඇක්සිඩන්ට් එක හින්දා කතා කරගන්න, ඇවිදගන්න බැරුව කාලයක් පැරලයිස් වෙලා හිටියා. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ දවස් දෙකක් යනකම් මගේ ජීවිතේ තිබිලා තියෙන්නෙ අවිනිශ්චිත තැනක. බින්දුවේ ඉඳන් මං ආයෙත් ඇවිල්ලා ඉන්නෙ. ඒ නිසා අවුරුද්දකට වැඩි කාලයක් ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න වුණා. චාමර ජනරාජ් පීරිස්ගෙ “ත්‍රිමාණ” කියන ටිවි සීරිස් එකෙයි ආදර අවනඩුවෙයි තමයි මම අන්තිමට රඟපාලා තිබුණෙ. ඇක්සිඩන්ට් එක වෙනකොට “සිඳු” ටෙලි නාට්‍යයේ “ඉන්ස්පෙක්ටර් රසාංග” කියන මගේ චරිතෙ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. ෂූට් කරන්න තිබුණ ෆිල්ම්ස් දෙකක් ම නැවතුණා ඇක්සිඩන්ට් එක නිසා. ඒ වගේ ම තව නිර්මාණ දෙකක් පිට ගියා. ඉදිරියෙදි මං ප්‍රධාන චරිතය කරපු මිචෙල් ෆොන්සේකාගේ “මං ආදරෙයි” කියන ෆිල්ම් රිලීස් වෙනවා. තවත් වැඩ කිහිපයක් ම භාරගෙන තියෙනවා. ඒ වගේ ම මේ දවස්වල ITN නාලිකාවේ විකාශය වෙන ප්‍රදීප් ධර්මදාසගේ “දෙයියන්ගෙ රටේ” කියන ටෙලිනාට්‍යයෙත් දෙරණ නාලිකාවේ විකාශය වෙන “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍යයෙත් මම රංගනයෙන් දායක වෙනවා.

l මෙගා ටෙලිනාට්‍යවලට අකමැතිද?

මම මෙගා ටෙලිනාට්‍යවලට වැඩිපුර දායක නොවෙන්නෙ මගෙ කාලය කළමනාකරණය කරගන්න අමාරු නිසා. මම කියන්නෙ නෑ මෙගා නාට්‍ය හරි නෑ කියලා. මෙගා නාට්‍ය වගේ ම කොටස් 30-40 නාට්‍යයත් තියෙනවානේ වැඩකට නැති. ඉතිං මෙගා ටෙලි නාට්‍ය හොඳ නෑ කියන නිගමනයකට එන්න බෑ. අනික මිනිස්සුන්ගේ රසඥතාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්නෙ. ඒ නිසා නිර්මාණත් විවිධ වෙන්න ඕනෙ.

l වැඩි කැමැත්තක් දක්වන්නෙ සිනමාවටද ?

මම වැඩිපුර කැමති වේදිකාවට. ධර්මසිරි බණ්ඩාරනායක සර්ගෙන් වගේ ම බන්දුල විතානගේ සර්ගෙන් තමයි මම වේදිකාව සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. වේදිකා නාට්‍යයක රඟපාන එකේ තියෙන ෆීලින් එක වෙන කොහෙන්වත් ගන්න බෑ. හැකියාව තියෙනවා නම් චිත්‍රපටියක් ඇතුළෙත් ලොකු දෙයක් කරන්න පුළුවන්. තාම ඉගෙනගනිමින් යන ගමනක්නෙ මේක. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය කොයි තැනකදි වුණත් බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස් වගේ අයගෙ රංගනය කොයිම වෙලාවකවත් අවතක්සේරු කරන්න බෑනෙ. වේදිකාවෙන් ලැබුණු පන්නරය නිසා ඒ අයට කෝක දුන්නත් සාර්ථකව කරන්න පුළුවවන්. මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම, අමරසිරි කලංසූර්ය වගේ තැනකට යන්න කල් යනවා. හිමිහිට ඉගෙන ගනිමින්, සමාජ අත්දැකීම් එක්ක යන ගමනක් ඒක. බලමු අපි ඉතිං එහෙම ඉගෙනගෙන හොඳ මට්ටමේ දෙයක් කරන්න පුළුවන්ද කියලා.

l ඔබේ පටන්ගැන්ම කොතැනද?

මම අම්පාර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ ඉඳන් ම කලාවට නැඹුරු වුණු චරිතයක්. පස්සෙ කොළඹ නාලන්දෙට ආවමත් ඒ නැඹුරුව නැති වුණේ නෑ. උදව්වක් වගේ ම අවස්ථාවක් ලැබුණෙ බන්දුල විතානගේ කියන ශ්‍රේෂ්ඨ චරිතය ආශ්‍රය කරන්න ගත්තයින් පස්සෙ. නාලක විතානගේ මගේ පාසල් මිත්‍රයා හින්දා ඔහු සමඟත් පොඩි ඇසුරක් තිබුණා. මුලින් ම මම කළේ ටෙලි නාට්‍යයක පොඩි චරිතයක්. පස්සෙ “අනිත්‍යා” චිත්‍රපටයේ චරිතයක් කළා. ඒ මගේ පළවෙනි චිත්‍රපටය. ඊට පස්සෙ තමයි මම “රූපාන්තරණ” චිත්‍රපටයෙ රඟපෑවෙ. ෂෝට් ෆිල්ම් නම් ගණනාවක් ම කරලා තියෙනවා.

l “රූපාන්තරණ” චිත්‍රපටයෙදි ඔබේ පාසල් මිතුරන් වන අමිල කරුණානායක සහ නාලක විතානගේ සමඟ කටයුතු කිරීමට ලැබීම මොන විදිහෙ අත්දැකීමක්ද?

නාලක මාවත් අමිලවත් තෝරගත්තෙ යාළුවො විදිහට නෙවෙයි. මුලින් නාලක “අනිත්‍යා” ෆිල්ම් එකේ පොඩි චරිතයක් මට දීලා බලනවා. ඒක බැලුවම එයාට දැනෙන්න ඇති මම යම්තම් අල්ලගෙන යයි කියලා. අමිල නම් ඒ වෙනකොට ලංකාවෙ හිටිය සුපර් මොඩ්ල් කෙනෙක්. බලලා කරලා, චරිතවලට ගැලපෙන විදිහට තෝරලා තමයි නාලක “රූපාන්තරණ” ෆිල්ම් එකේ නළුවගෙයි දුෂ්ටයාගෙයි චරිත අමිලටයි මටයි දුන්නෙ. අනිවාර්යයෙන් ම කියන්න ඕනෙ, යාළුකමට ගත්තා නම් නාලකට අපිට වඩා ගොඩක් ළඟ යාළුවො හිටියා.

l පවුලේ ආදරණීයයන් ගැන කතා කළොත්?

මමයි, මගේ අම්මයි, බිරිඳයි, මාස පහක චූටි දුවයි හරි සතුටින් ජීවත් වෙනවා. ඒ හැමෝමත් එක්ක ජීවිතේ සම්පූර්ණයි.

l ඔබ දුෂ්ට චරිත වැඩිපුර කරනවද?

රඟපානකොට සුදු චරිතද කළු චරිතද කියලා තෝරගන්න මට ලොකු වුවමනාවක් නෑ. මම හැම වෙලේ ම බලන්නේ මම කරන චරිතයෙන් මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියලා විතරයි. අපි කරන වැඩේ ගැන අපි වගකියන්න ඕනෙ. ගොඩක් මිනිස්සු ඉන්නවා තමන් හරිද වැරදිද කියලා නොදැන අතරමං වුණු. සමහර විට අපි කරන කළු චරිතයක් දැකලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මගේ චරිතෙ නේද කියලා. ඒ මනුස්සයා සමාජයට කරන හානිය තේරුම් අරගෙන හැදෙන්නත් පුළුවන්. සියදෙනෙක් බලලා දෙන්නෙක් හරි හැදුණොත් මම සාර්ථකයි. අද වෙනකම් ම මම කරපු හැම චරිතයක් ම තේරුමක් ඇතුව කරපු ඒවා. ඔය කළු චරිත ඇතුළෙ තමයි සුදු මිනිහා ඉන්නෙත්. මට ඒ ගැන මේ සමාජයෙන් ම අත්දැකීම් තියෙනවා. කළු චරිත රඟපාන එකත් ලේසි නෑ. හරියට අභ්‍යාස කරන්න ඕනෙ, ඒ වගේ චරිතයක් හරි විදිහට කරන්න.

l රංගනය ඔබේ වෘත්තියද?

නෑ කියන්නත් බෑ. මම විනෝදෙට නෙවෙයි රඟපාන්නෙ. විනෝදෙට රඟපාන්න බෑ. විහිළුවට ගන්න බෑ මේක. හරි වගකීමෙන් කරන්න ඕනෙ රස්සාවක්. එක පැත්තකින් රංගන කටයුතුවල නිරතවෙන ගමන් ම මම අවුරුදු 12 ක් තිස්සෙ මූල්‍ය ආයතනයක විධායක නිලධාරියෙක් විදිහටත් සේවය කරනවා. ආයතනයේ ගොඩක් දෙනා මට උදව් කරනවා, හැමදේකදි ම. මේ වෙනකල් මං ආව ගමනට උදව්කරපු හැමෝට ම ස්තූති කරන්න ඕනෙ. මගෙ ජීවිතේ විශේෂ බලාපොරොත්තු නෑ. ජීවත් වෙනකල් හොඳ මිනිහෙක් විදිහට ඉඳන් මගේ කලාව ඇතුළෙ රටට ආදර්ශයක් දෙන හොඳ වැඩ ටිකක් කරගෙන, කාටවත් කරදරයක් නොවී ඉන්නයි ඕනෙ. ඒ වගේ ම හොඳ මිනිහෙක් විදිහට හිනාවෙලා මැරෙන්න පුළුවන් විදිහෙ ජීවිතයක් ගතකරන්නයි මට ඕනෙ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න