රේඛාව මම තවමත් නරඹනවා... | දිනමිණ

රේඛාව මම තවමත් නරඹනවා...

ලෙස්ටර් උපන්දා සමරමින් අගමැති රනිල් කියයි

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් විශ්වාසභංග යෝජනාවකට පාර්ලිමේන්තුවේදී මුහුණ දී එම විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය ක‍ෙළ් අප්‍රේල් 4 වෙනිදා රාත්‍රියේය. පසුදා එනම් අප්‍රේල් 5 වෙනදා ඒ සතුටද සමඟ එතුමන් සහභාගි වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ 99 වෙනි ජන්ම දිනය සමරමින් තිරගත කිරීම ඇරඹූ සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්ණාවී’ චිත්‍රපටයේ මංගල දර්ශනයටයි.

කොළඹ ‘රීගල්’ සිනමාහලේ පැවති එම අවස්ථාවට වෛද්‍ය උපදෙස් මත ආචාර්ය ලෙස්ටර් සහභාගි නොවුණත් අගමැතිතුමා උපන් දින කේක්ගෙඩිය කපා ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට දීර්ඝායු පැතූ අතර අතීත තොරතුරු කීපයක්ද සිය කතාවේදී අනාවරණය කළේය.

1956 අවුරුද්දේ මේ ‘රීගල්’ සිනමා හලේ උඩ තට්ටුවේ (බැල්කනියේ) සිට මට ලෙස්ටර්ගේ ‘රේඛාව’ චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණා. ඒත් ප්‍රමාද වී ගිය නිසා ශාලාවේ ඉදිරිපස අසුන්වල වාඩිවෙලා ‘රේඛාව’ නරඹන්නයි සිදුවුණේ. ඊට පස්සෙ අම්මයි තාත්තයි සහෝදරයායි එක්ක චිත්‍රපටය බලන්න ආවා. ලෙස්ටර් කියන්නෙ කවුද කියලා ඒ කාලෙ මම දන්නේ නෑ. අපි චිත්‍රපටය බලන්න ගියේ මගේ නැන්දා වන අයිරාංගනී සේරසිංහ ඒ චිත්‍රපටයේ රඟපෑ නිසයි...” අගමැතිතුමා පැවැසීය.

එමෙන්ම සම්ප්‍රදායික කලාව වෙනුවට නව නිර්මාණ බිහිකිරීම සඳහා ලෙස්ටර්ට සරත් විජේසිංහ, එච්. ඩබ්ලිව්. ජයවර්ධන, ජෝර්ජ් කීට් වැනි අයද උදව් කළ බව කී අගමැතිතුමා තම නීති ගුරුවරයාද වූ රාජනීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතාගේ සහෝදරයා වන ජේ. ආර්. ජයවර්ධන මාමණ්ඩියට අයත් බියගම මානෙල්වත්ත හා ‘රේඛාව’ ගැන කතාවක්ද කීය.

“.... රේඛාව චිත්‍රපටයේ කොටසක් රූපගත කළේ මානෙල්වත්ත අසල කැලණි ගංඟාවෙයි. එදා සුනිල් ශාන්තගේ සංගීතයට සිසිර සේනාරත්න ‘ඕළු නෙළුම් නෙරිය රඟාලා’ ගීතය ගායනා කළා. ‘රේඛාව’ මම තාමත් DVD මගින් ගෙදරදී නරඹනවා.

ඉන්පසුව ලෙස්ටර් හැදූ ‘‍සංදේශය’ චිත්‍රපටය නරඹන්නට ලැබුණු අතර ආකෘති දෙකකට අරිසෙන් අහුබුදු සූරීන් රචනා කළ ‘පුරුතුගීසිකාරයා’ (එච්. ආර්. ජෝතිපාල සහ සිඩ්නි ආටිගල ඇතුළු පිරිස ගැයූ) සහ ලතා වල්පොල ඇතුළු පිරිස ගැයූ ‘රැජින මමයි’ ගීත එහි ඇතුළත් වූ බව මෙනෙහි කළේය.

“.... තුන්වෙනුව මම ලෙස්ටර්ගේ ‘ගම් පෙරළිය’ චිත්‍රපටය නැරඹුවා. මා නරඹා ඇති හොඳම චිත්‍රපටයක් ලෙස ‘ගම්පෙරළිය’ හඳුන්වන්න මම කැමතියි. වර්ණ චිත්‍රපටයක් නොවූ එහි ගීත තිබුණෙත් නෑ. කිසිම සංගීත භාණ්ඩයක් වාදනය නොකර අපූරුවට අපේ දරු නැළවිලි ගීත යොදලා තිබුණා. හැටේ දශකයේ මා දුටු හොඳම චිත්‍රපට දෙක ලෙස නම් කරන්නේ රුසියානු විප්ලවයෙන් ඇති වූ පරිවර්තනය ගැන කියවුණ ‘ඩොක්ටර් ශිවාගෝ’ සහ ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’යි. ඒ වගේම දෙලොවක් අතර නිධානය හා ‘ගොළු හදවත’ වැනි චිත්‍රපටත් මගේ මතකයේ අදටත් රැඳී පවතින ලෙස්ටර්ගේ චිත්‍රපටයි.

ප්‍රෙඩ්රික් ඔබේසේකර සතුව තිබූ රාජගිරියේ ඔබේසේකර වලව්වේ එකල ‘නිධානය’ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවූ බවත්, ඒ අසල ජීවත් වූ සිය මිතුරකු හමුවන්නට නිතර එහි ගියවිට රූපගත කිරීම්ද දැකගන්නට හැකි වූ බවත් අගමැතිතුමා පැවැසීය.

“... ලෙස්ටර් වගේම ඔහුගේ සොහොයුරු චිත්‍ර ශිල්පී අයිවන් පීරිස්ව මා මුලින්ම දැනගත්තේ මගේ මව්පියන්ගේ මිතුරන් හැටියටයි. පසුව ලෙස්ටර් ඇසුරු කිරීමටත්, ඔහුගේ නිර්මාණ රසවිඳීමටත් මට අවස්ථා ලැබුණා.

ලෙස්ටර් මෙන්ම සුමිත්‍රා පීරිස් ආශ්‍රය කිරීමට ලැබීම ගැන මම සතුටු වනවා...” යනුවෙන් පැවසූ රනිල් වික්‍රමසිංහ අගමැතිතුම‍ා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ සිනමා විප්ලවය නිසා ලාංකේය සංස්කෘතිය ආලෝකවත් වූ බවද අප කවුරුත් ඒ ගැන එතුමාට ණයගැති බවද අවධාරණය කළේය.

ආනන්ද පද්මසිරි

නව අදහස දක්වන්න