පොදුරද සමුළුවේ ආර්ථික සවිය | දිනමිණ

පොදුරද සමුළුවේ ආර්ථික සවිය

 “ක්‍රිස්තුවර්ෂ 1796 පෙබරවාරි මස 16 වන දින කොළඹ නගරය සහ සෙසු මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය යටතට පත්විය.” - ජෝන් ඩොයිලිගේ දිනපොත

මෙසේ ලංක‍ාවේ භූමි ප්‍රදේශයක් නතුකරගත් බ්‍රිතාන්‍යය 1815 පෙබරවාරි 18 වන දින මැදමහනුවර තෙල්දෙනියට නුදුරු බෝමුරේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගැනීමත් සමඟ කන්දඋඩරට රාජධානිය ද සිය අණසකට යටත් කරගත්තේය. 1815 මාර්තු 02 වනදා මහනුවර මඟුල් මඩුවේදී අස්සන් කළ සිංහල - ඉංග්‍රීසි ගිවිසුම මගින් ඉංග්‍රීසිහු මුළු මහත් දිවයිනම බ්‍රිතාන්‍යය කිරීටයට යටත් කර ගත්හ. මේ තත්ත්වය 1948 පෙබරවාරි මස 04 වනදා ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නාතුරුම පැවතිණ.

බ්‍රිතාන්‍ය යටතේ තිබූ යටත් විජිත පොදුරාජ්‍ය මණ්ඩලය නම් රාජ්‍ය සංවිධානයක් මගින් නැවත එකට එක්වූහ. මේ සියලු යටත්විජිත එකට එක්කළ බැම්මක් වූයේ ඉංග්‍රීසි භාෂාවයි. එසේම ඉංග්‍රීසි සාහිත්‍යයද, සංස්කෘතියද වාණිජ සබඳතා ද මේ බැම්ම සවිමත් කෙළේය. ස්වකීය යටත්විජිත අතර අන්‍යෝන්‍ය වෙළෙඳාමට ඉඩ පහසුකම් සලසා දුන් මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද මුළුමනින් ලෝක ධනවාදයට ගැටගැසුවේය.

වෙළෙඳ ගණුදෙනු

1815 ගිවිසුමේ 12 වන වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු දියුණු කිරීමට ඉඩකඩ සලසාගත් ඉංග්‍රීසිහු විවිධ අණපනත්, ආර්ථික ප්‍රතිසංස්කරණ වාණිජ මණ්ඩල, කොමිසන් සභා ඔස්සේ රටේ ආර්ථිකයේ ගමන් මඟ නව දිශාන්තයක් කරා යොමු කළහ. ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ද ඉවහල් විය.

1796 දී බ්‍රිතාන්‍යය කොළඹ ඇතුළු මුහුදුබඩ පළාත් අල්ලාගත්තේ ඕලන්දක්කාරයන්ය. ඊට පෙර එම ප්‍රදේශ පෘතුගීසින්ගේ අණසකට යටත්විය. මේ බටහිර ජාතීන් මෙන්ම මරක්කල වෙළෙන්දෝ ද ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳාමේ නිරත වූහ. මේ වෙළෙඳාම වඩාත් සංවිධානාත්මක තත්ත්වයට ගෙන ආවේ බ්‍රිතාන්‍යයන් යටතේ ලන්ඩන් වෙළෙඳපොළ මගිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය වූ තේ වෙළෙඳාම මුල් බැස ගත්තේ ද ලන්ඩන් වෙළෙඳපොළ ඔස්සේය.

පසුගිය සතියේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ සමුළුව පැවැත්වුණේ ලන්ඩනයේ බකිංහැම් මාළිගා පරිශ්‍රයේදීය. ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව වූ දෙ‍වන එළිසබෙත් මහ රැජනගේ ප්‍රධානත්වයෙනි. මින් ඉදිරියට පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ඔටුන්න හිමි චාල්ස් කුමරුට හිමි වන බවට ප්‍රකාශ පළවේ.

1837 සිට රජ පවුලේ වාසස්ථානය වූ බකිංහැම් මාළිගය 1703 දී ඉදිකරන ලද්දේ බකිංහැම් සාමිවරයා විසිනි. 1761 දී 3 වන ජෝර්ජ් මහ රජතුමා විසින් මේ මාළිගාව හිමිකරගන්නා ලදුව, මේ වනවිට වර්ග අඩි 8,30,000 ක භූමි ප්‍රදේශයක් වසාගත් මාළිගා සංකීර්ණයක් බවට වැඩිදියුණු කර ඇත.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රටවල් 53ක රාජ්‍ය නායකයෝ සහභාගි වූහ. මේ රටවල් අතරින් රාජ්‍ය 31 ක් භූමි ප්‍රමාණය අතින් ඉතා කුඩා දූපත් රාජ්‍යයෝය. දැවැන්තම රාජ්‍යය ඉන්දියාවයි. සමුළුව පැවැත්වෙන අතරතුර දකුණු අප්‍රිකා රාජ්‍ය නායකයා සිය රටේ ඇතිවූ නොසන්සුන්තාවය සමහන් කිරීමට සිය රට බලාගියේය.

ඔහු පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 100ක මූල්‍ය ආධාරයක් බලාපොරොත්තුවෙනි. දකුණු අප්‍රිකාවේ ආර්ථිකය නංවාලීම සඳහා මෙතරම් ආධාරයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටියේය.

පොදුරාජ්‍ය මණ්ඩලය 1931 දී පිහිටුවන අවස්ථාවේ කොමන්වෙල්ත් යන නම අනුමත කරගත්තේ ද සාමූහිකව ආර්ථික දියුණුව ලබාගනිමු යන තේමා පාඨය ඔස්සේය. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය යන නම ආරම්භක අවස්ථාවේදී භාවිතා කරන ලද නමුත් දෙවන ලෝක මහා යුද්ධය අවසානයේ එහි තිබූ බ්‍රිතාන්‍යය යන කොටස ඉවත්කරන ලදී. මේ සංවිධානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ බළල් අතකැයි යන ජාත්‍යන්තර ඝෝෂාව නිසා මේ තීරණය ගත් බවට ද මතයක් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, මිනිස් අයිතිවාසිකම් සහ වෙළෙඳාම යන කටයුතු මත ‍පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෝ එකට එක්ව සිටිති. එම නිසා සාමාජික රටවල් අතර කෙරෙන ද්විපාර්ශවික වෙළෙඳ ගනුදෙනුවලදී යම් යම් සහනාධාර, වරප්‍රසාද ආදිය හිමිවේ.

පසුගියදා ලන්ඩනයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිතයනට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවිය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආධාර කරන්නැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ ඇරියුමට යහපත් ප්‍රතිචාර හිමිවූ අතර ආයෝජන අවස්ථා කෙරෙහි උනන්දු වූ ආ‍යෝජකයෝ ද වූහ. කුඩා පරිමාණ රටවල කර්මාන්ත සඳහා දායකවන අරමුදලට දායකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළ අතර ඊට අදාළ ගිවිසුම්වලට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අස්සන් කෙළේය. ඉන්දියාව, මුරුසිය හා මෝල්ටාව යන රටවල් ද මේ වැඩපිළිවෙළට දායකවෙති. ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය පළව ඇති අතර මීට‍ පෙර පොදුරාජ්‍ය මණ්ඩල මහ සමුළුව කොළඹදී පැවැත්වූ අවස්ථාවේ පැවැති අසමතුලිත තත්ත්වය දැන් මඟහැරී පවතී.

කොළඹ දී 2013 පවත්වන ලද සමුළුව වර්ජනය කිරීමට ඔස්ට්‍රේලියා අගමැති ස්ටීවන් හාපර් ගත් තීරණයට හේතුවූයේ ශ්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අපවාදයයි.

මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් හිමි වූ අවස්ථාවක් ද විය. ආර්ථික සංවර්ධනයේ දී පරිසරය සමඟ නිතර ගැටුම් ඇතිවේ. පරිසර හිතවාදිකම රැකගෙන කටයුතු කිරීම ලෝක ප්‍රජාවගේ නව බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවට ඇගයීමක්

අක්කර 21782ක වපසරියක් පුරා පැතිර පවතින “කඩොලාන වනාන්තර” ශ්‍රී ලංකාව සතුවේ. විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පරිසර පද්ධතිය විනාශවීම කළපු ආශ්‍රිතව දක්නට ලැබුණි. විශේෂයෙන් පුත්තලම, හලාවත සහ මන්නාරම ආශ්‍රිත ප්‍රදේශයන්හි කඩොලාන වන විනාශය ශීඝ්‍රයෙන් පැතිරීම නිසා මේ පාරිසරික හානිය නැවැත්වීමේ ව්‍යාපෘතියක් 2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් ඇරඹිණි.

ධීවර ප්‍රජාව ගෙදර දොර ඉන්ධන ප්‍රශ්නයෙන් බැටකන පිරිසකි. ඒ නිසා ඔවුහු දර සඳහා කඩොලාන කපාගෙන යෑම දක්නට ලැබුණි. එසේම ඉස්සන් හා සෙසු ජලජීවි ව්‍යාපෘති සඳහා කඩොලාන බිම් එළිපෙහෙළි කර ජල පොකුණු ඉදිකිරීම් ද දක්නට ලැබුණි. මේ නිසා ජනතාවට නිසි පාරිසරික අධ්‍යාපනයක් ලබාදෙන ගමන් නැවත කඩොලාන වන වගා ව්‍යාප්ත කිරීම ඉහතකී ව්‍යාපෘතියයි. අක්කර 9600ක භූමි ප්‍රමාණයක් ඉලක්ක කර ඇරැඹි මේ ව්‍යාපෘතිය විදේශ මාධ්‍යයන්ගේ ද පරිසර සංවිධානයන්ගේ ද සැලකිල්ලට ලක්විය. ඇතැම් ජල ජීවීන්ගේ පෝෂණය හා වාසස්ථාන වූයේ මේ කඩොලාන භූමිතටාකයෝය. එහෙයින් එය ජලජීවී රක්ෂණයට මඟපෑදුවේය.

මේ ව්‍යාපෘතිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී කතාබහට ලක්ව, කඩොලාන ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා මගපෙන්වන ව්‍යාපෘතියක් ලෙස ද හැඳින්විණි. කඩොලාන හානියට පුරුදුව සිටි ජනතාවට විකල්ප ආදායම් ලබාදීමත් මේ ව්‍යාපෘතිය මගින් සිදුවිය. එහෙයින් ග්‍රාමීය ජනතාවගේ ආදායම් උපයාදීමක් ද, පරිසරය රැකගැනීමක් ද ජලජීවී පද්ධති සුරැකීමක් ද එකවර සිදුවීම නිසා කඩොලාන පද්ධති සහිත රටවලට ආදර්ශයක් සැපයීමට ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවේ.

පොදු ‍රාජ්‍ය මණ්ඩලයට සහ මෙවර සමුළුවට එරෙහි මාධ්‍ය වාර්තා මෙන්ම විවේචන ද දක්නට ලැබුණි. වඩාත්ම දැඩි කර්කශ විවේචනයක් එල්ලවූයේ කැනඩාවේ THE STAR පුවත්පතෙනි. බොබ් හෙප්බර්න් නමැති ලේඛකයා විසින් එල්ල කරන ලද විවේචනය අවසන් කර තිබුණේ කැනඩා අගමැති ජස්ටින් ට්‍රෘඩෝට කරන ලද ඉල්ලීමකිනි. එයින් කියැවුණේ ලන්ඩන් සමුළුව වර්ජනය කර ආපසු කැනඩාවට එන ලෙසයි.

කමකට නැති වියදම් වැඩි මේ සමුළුව කඩදාසි නාස්තිකර වැඩකට නැති ලියවිලි සකස්කරන ස්ථානයකැයි ද මෙයට පෙර අවස්ථාවල දී ගත් තීරණ කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ද එම පුවත්පත කියයි.

ලන්ඩනයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ සේවකයන් 300ක් නඩත්තු කරන බවට චෝදනා කරන එම පුවත්පත කැනඩාව වර්ෂයකට ඇ. ඩොලර් දසලක්ෂ 12ක දායක මුදලක් පොදුරාජ්‍ය මණ්ඩලයට ගෙවනු ලබන නමුත් ඇතැම් රටවල් සිය නඩත්තු මුදලවත් නොගෙවන බවට ද ‍චෝදනා කරයි.

හවුල් සබඳතා

පොදු රාජ්‍ය මණ්ඩලය සිය සාමාජිකයන් අමතක කර යුරෝපා සංගමයට ඇතුළත්ව සිටි බවත්, දැන් යුරෝපා සංගමය අතහැර දමා කුඩා ආර්ථිකයන් සහිත දූපත් රාජ්‍ය ගණනාවක් සමඟ එක්වීමට උත්සාහ ගන්නා බවත් තවත් චෝදනාවකි.

ශ්‍රී ලංකාව ද කුඩා රාජ්‍යයකි. එහෙත් ලෝකයේ විවිධ රාජ්‍ය සමඟ හවුල් සබඳතා පවත්වමින් සිය රටේ ආර්ථිකය සංවර්ධනය සඳහා උත්සුක වන රටකි. රටවල් 28 ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමය සමඟ දැන් ශ්‍රී ලංකාව හොඳහිත වගා කරගෙන තිබේ. යුරෝපා සංගමය ශ්‍රී ලංකා අපනයන සඳහා දැවැන්ත වෙළෙඳ පොළකි. එහි වාර්ෂික අගය ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 3100කි. ජී. එස්. පී. සහනය සමඟ මේ වසරේ එම ආදායම තවත් ඉහළ යනු ඇත. බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ඉරානය, මාලදිවයින, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල්ය.

ශ්‍රී ලංකාව එම රටවල් සමඟ ඇ. ඩොලර් දසලක්ෂ 1001ක අපනයන වෙළෙඳාමෙන් එකට බැඳී සිටිති.

දකුණු ආසියානු කලාපීය සහ‍යෝගිතා සමුළුවේද ශ්‍රී ලංකාව සාමාජිකයෙකි. එහි සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානයයි. එම රාජ්‍ය හවුල සමඟ ශ්‍රී ලංකා අපනයනයේ වටිනාකම 2016දී ඇ. ඩොලර් දසලක්ෂ 827කි.

බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය, ශ්‍රී ලංකාව යන රටවල් BIMSTEC රාජ්‍ය හවුල මගින් එකට බැඳී සිටිති. එම රාජ්‍ය හවුලේ ශ්‍රී ලංකා අපනයන වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 717කි.

ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම මගින් චීනය, බංගලිදේශය, ඉන්දියාව, ලාඕසය, මොංගෝලියාව, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව එකට බැඳී සිටිති. එහිලා ශ්‍රී ලංකා අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 950කි.

ශ්‍රී ලංකාව හුදෙකලා රාජ්‍යයක් නොව විවිධ රාජ්‍ය හවුල් කීපයක සාමාජිකත්වය ලබාගෙන එම සාමාජිකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලියට හවුල් කරගන්නා රටකි. එහි ආරම්භය කොළඹ ක්‍රමය වැඩසටහනයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ 25 වන මෙවර සමුළුවේ සත්කාරක රාජ්‍ය වන මහා බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකා අපනයනයේ දැවැන්තම හවුල්කරුවෙකි. 2016දී ඇ. ඩොලර් දසලක්ෂ 1044ක ආදායමක් එ‍රටින් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙය සමස්ත අපනයන ආදායමෙන් සියයට 10කි. මේ හැර බ්‍රිතාන්‍ය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර කරයි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න