අන්තර් පාසල් ලීග් රග්බි | දිනමිණ

අන්තර් පාසල් ලීග් රග්බි

ෆවුස් මොහොමඩ්

කුසලාන වටයට කණ්ඩායම් 8ක්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලානය සඳහා වන දෙවැනි වටයේ තරගාවලියට කණ්ඩායම් 8ක් එක්වී සිටිති. පළමු වටය නිමාවට පත්වීමෙන් පසුව පළමු කාණ්ඩයේ ඒ-1 කොටසේ අපරාජිතව පෙරමුණ ගත් කොළඹ රාජකීය විදුහල් පිලත්, එම කාණ්ඩයේ ඒ -2 කොටසේ අපරාජිතව පෙරමුණ ගත් සාන්ත පීතර විදුහලත් කුසලානය හඹා යන දෙවැනි වටය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් පිල සහ ජවේඩ් සරූක්ගේ නායකත්වයෙන් යුතු සාන්ත පීතර විදුහල් පිල පළමු වටයේ සහභාගි වු තරග 5ම ජයගැනීමට සමත්වූ අතර කුසලාන වටයේ කණ්ඩායම් පෙළ ගැස්මට අනුව පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථාන අත්කරගෙන සිටී. ප්‍රබලතම ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මේ දෙපිලම මෙවර පාසල් ලීග් තරගාවලියේ කුසලානය අත්කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මේ වනවිට තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර රාජකීය විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රීඩක ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් 5ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායමේ දුලාන් ගුණවර්ධන වැඩිම සමස්ත ලකුණුලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේ ලකුණු 46ක් රැස් කරමිනි. රාජකීය විදුහල් පිල සමග කරට කර තරග වදිමින් සිටින සාන්ත පීතර විදුහල් පිලේ ජේසන් කරුණාරත්න සහ ඩිල්ෂාන් මධුසංඛ උත්සාහක දිනුම් 4 බැගින් ලබමින් වැඩිම උත්සාහක දිනුම්ලාභීන් පළමු දසදෙනා අතර සිටිති.

සමස්ත ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ සාන්ත පිතර විදුහල් පිලේ ශෙහාන් ලියනපතිරණය. ඔහු ලකුණු 51ක් රැස් කර තිබේ.

කුසලාන වටයේ තුන්වැනි ස්ථානය මරදාන සාන්ත ජෝශප් විදුහල් පිලට හිමිවී තිබේ. පළමු වටයේදී සාන්ත ජෝශප් විදුහල් පිල තරග 4ක් ජයගැනීමට සමත්විය. පළමු වටයේදී තරග 4ක් ජයගත් ඉසිපතන විදුහල් පිල කුසලාන වටයේ කණ්ඩායම් ලැයිස්තුවේ සිවුවැනි තැනට පත්වී සිටින අතර පස්වැනි ස්ථානයේ පසුවන්නේ කිංග්ස්වුඩ් විදුහල් පිලය. ත්‍රිත්ව විදුහල් පිල 6 වැනි ස්ථානයෙත්, වෙස්ලි විදුහල් පිල 7 වැනි ස්ථානයෙත් පසුවන අතර මරදාන සහිරා විදුහල් පිල අටවැනි කණ්ඩායම ලෙස කුසලාන වටයට එක්වී සිටී.

කුසලාන වටයේදී සෑම කණ්ඩායමක්ම එක් එක් කණ්ඩායම් සමග තරග වදිමින් කුසලානය හඹා යනු ඇත.

පළමු වටයේදී පාසල් තරග බිමේ ප්‍රබලතම කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 6 බැගින් තරග වැදුණු අතර ඉදිරියෙන් පසුවූ කණ්ඩායම් 4 බැගින් කුසලාන වටයට එක්විය. සෙසු කණ්ඩායම් දෙවැනි කොටසේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4ක් සමග පළඟ ශූරතා වටයට එක්වී සිටී.

 

නව අදහස දක්වන්න