නෙත්මිණීගේ දුක බලන්න | දිනමිණ

නෙත්මිණීගේ දුක බලන්න

අංක 82, වැලියාව, තම්මැන්නාව, තඹුත්ත ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ නෙත්මිණී සංජනා වයස අවුරුදු දහ තුනක (13) කුඩා දැරියකි. නමුත් මහ පොළොව මත දෙපා තබා සිට ගන්නටවත් දෙඅත්වලට වාරු දී යමක් කරන්නටවත් ඇයට හැකියාවක් නැත. එක්තැන් වූ ඇගේ ජීවිතයම බිත්ති හතරින් වට වූ නිවෙසේ ඒ මේ අත ගමන් කරනවා හැරෙන්නට වටපිටාව නරඹා සැනසුමක් ගන්නට තරම්වත් වාසනාවක් නැත්තා සේය. 2006 පෙබරවාරී 08 වන දා මෙලොව උපන් නෙත්මිණී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ වයස මාස හයෙනි. ඇගේ මවුපියන් පවසන්නේ ඇයට මාස හතරෙන් පමණ ලබා දුන් එන්නතක් හේතුවෙන් එවැනි දුක්බර තත්ත්වයකට ඇය පත් වූ බවයි. වෛද්‍ය නිගමනයන් පවා එවැනි හේතුවක් අරබයා වාර්තා සපයද්දී නෙත්මිණීගේ මවුපියෝ අප සමඟ බොහෝ දෑ කියා සිටියහ. දස මසක් කුසේ හොවාගෙන තම ආදරණීය වැඩිමහල් දියණිය මෙලොවට දායාද කළ නෙත්මිගේ මවට දැන් ඇත්තේ කෙසේ හෝ තම දරුවා සුවපත් කර ගැනීමේ අරමුණ පමණි.

‘‘මේ මගේ ලොකු දුව. දැන් එයාට අවුරුදු 13ක්. එයාගේ හැම වැඩක්ම කෙරෙන්නෙ මගේ මේ අත් දෙකෙන්. අවුරුදු තුනක් යනකල් බිමවත් තිබ්බෙ නෑ. එයා හිටියෙ මගේ මේ අත් දෙක උඩ. මාස හයෙන් විතර තමා අපිත් දැනගත්තෙ දුවට මොකක් හරි අසනීපයක් තියනවා කියලා. මාස හතරෙන් එයාට බෙහෙතක් විද්දා. තඹුත්ත සායන මධ්‍යස්ථානයෙන් තමා ඒක විද්දෙ. ඒක සාමාන්‍යයෙන් හැම ළමයෙකුටම විදිනවා. පස්සෙ ටික කාලයක් යද්දි දුවගෙ ඔළුව එක පැත්තකට කඩා වැටෙන්න ගත්තා. අත් කකුල් හොලවන විදිහෙ පවා ටිකක් අමුත්තක් දැණුනා. පස්සෙ අපි ගොඩක් තැන්වලට දුවව අරන් ගියා වෙදකම් කරන්න. ඒත් කිසිම තැනකින් තාමත් දුවව සුව කරගන්න බැරි වුණා. වෛද්‍යවරු පවා කියන්නෙ මෙයාගේ ස්නායුවල දුබලතාවයක් නිසා මෙහෙම වෙලා තියනවා කියලා.

මාස අටකින් දුවට කිසිම ප්‍රතිකාරයක් කරන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඒ තරම්ම අපිට විශාල ආර්ථික අපහසුතා තියනවා. ඒ නිසා මම මේ පිං කැමති මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටින්නෙ මගේ දුවව සුවපත් කරගන්න ඔබතුමාලට කරන්න පුළුවන් පුංචි උදව්වක් හරි අපි වෙනුවෙන් කරලා දෙන්න කියලා.“ යැයි නෙත්මිණීගේ මව වූ ඊ. එම්. රේණුකා ප්‍රියංගනී (40) මහත්මිය කියා සිටියාය.

මේ සියල්ලම මැද මේ වහල යට රැ‍ඳෙන සියලු බර දිය තම හිස මත තබාගෙන නෙත්මිණීගේ පියාද විඳින්නේ සුළුපටු දුකක් නොවේ. තම දරුවන් උස් මහත් කර බිරියත් තමාත් රැකෙන්නට ඔහු තනිවම ගන්නා උත්සාහය ඉතාම දුක්බරය. කට්ට වෙන්නට වේළුණු බිමත් පිළිස්සී අළු වී යන්නට තරම් වැටෙන අව්වත් සමඟ ඔහු එදිනෙදා රැකියාවකින් උපයන මුදලින් පමණක් මේ නිවෙසේ ඕනෑ එපාකම් පිරිමැසේ. එහෙත් කුඩා දියණියගේ ඉගෙනුම් කටයුතුත් නිවෙසේ එදිනෙදා වියදමුත් සියල්ලම ඒ රුපියල් දහසින් සපුරාලන්නට ප්‍රමාණවත් නොවේ.

තම දුක්බර තත්ත්වය ගැන නෙත්මිණීගේ පියා වූ ඩී. එම්. ටිකිරි බණ්ඩා (41) මහතා අප සමඟ කියා සිටියේ මෙවැන්නකි. ‘‘ලොකු දුවගේ අසනීපයත් එක්ක මුළු ගෙදරම දැන් අවුරුදු 13ක් තිස්සෙ ඉන්නෙ ගින්දරෙන් මහත්තයෝ. එයාව හොඳ කරන්න අපි නොගිය තැනක් නෑ., නුවර දිගනෙන් බෙහෙත් කළා. වාරියපොළ නාථගනෙන් බෙහෙත් කළා. තිරප්පනෙන් සිංහල බෙහෙත් කළා. ඒත් තාම සුවයක් නෑ. වෛද්‍යවරු කියන්නෙ මෙයා සුව කරන්න පුළුවන් කියලා. මම කරන්නෙ එදිනෙදා රැකියාවක් මහත්තයෝ. ලොකු දුව බලාගන්න ඕනෙ නිසා බිරියට රැකියාවක් කරන්න හැකියාවක් නෑ.

“ඇතැම් විට සිනාවකින් මුහුණ සරසා ගන්නා නෙත්මිණී අප දෙස මහත් ඕනෑකමින් බලා සිටියාය. අවුරුදු 13ක් ගෙවුණත් ඇය තවමත් එහා මෙහා යන්නේ මවගේ හෝ පියාගේ හෝ දෑතට පින් සිදුවන්නටය. නමුත් තවත් කාලයක් යද්දී ඔවුන්ද විඩාවට පත්වනු ඇත. ඉන්පසු නෙත්මිණීගේ අනාගතයට කුමක් වේ දැයි හදවත් ඇති මිනිසුන් සේ අප සිතිය යුතු නොවේද? දෙපා තබා ඇවිදින්නටත් දෙඅත් සොලවා යන්නටත් නෙත්මිණීටද ආශාවක් තිබේ.

ඇයට පිහිටක් පිළිසරණක් වීමට පිං කැමති ඔබත් කැමති නම් 0725920283 අංකය ඔස්සේ නෙත්මිණිගේ මව හෝ පියා සම්බන්ධ කර ගත හැකිය.

එම්. එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ

නව අදහස දක්වන්න