ලිහිසි තෙල් මිල නියාමනයට අදාළ විසඳුම් මාලාව ජූනි 30 දා එළි දකී | දිනමිණ

ලිහිසි තෙල් මිල නියාමනයට අදාළ විසඳුම් මාලාව ජූනි 30 දා එළි දකී

චමීර ඇල්ලදෙණිය

ලිහිසි තෙල් මිල හා එහි ගුණාත්මකභාවය පිළිබඳ නියාමන රාමුවක් හා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අදාළ විසඳුම් මාලාව ලබන ජූනි මස 30වැනි දා ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ලිහිසි තෙල් සමාගම් සමඟ කතිකාවක් ඇති කර ඔවුන්ට ලබාදෙන උපදේශන මාලාව හා ඔවුන්ගෙන් ලබා ගන්නා අදහස් මෙහි පළමු අදියර ක්‍රියාත්මක කරන අතර, ජූනි 30වැනි දා මහජන උපයෝගිතා කොමිසම විසඳුම් මාලාව ඉදිරිපත් කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල් දමිත කුමාරසිංහ මහතා පවසයි.

බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලිහිසි තෙල්මිල හා ගුණාත්මකභාවය පිළිබඳ උපදේශන පිළිබඳ සම්මන්ත්‍රණයට ඊයේ (24) එක්වෙමින් කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය.

ලිහිසි තෙල් මිල හා ගුණාත්මකභාවය තත්ත්වය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම මඟින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ලිහිසි තෙල් වෙළඳපොළ ඡායාමාත්‍ර නියාමනය ආයතනයක් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව ලිහිසි තෙල් වෙළඳපළ ගැටලුවලට විසඳුම් නිර්දේශ කිරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම ලිහිසි තෙල් මිල හා ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නිර්දේශ සකස් කිරීම සඳහා ලිහිසි තෙල් පාරිභෝගිකයන්, බලයලත් අලෙවිකරුවන්, රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා බලගැනීම සඳහා මෙම උපදේශන මාලාව පැවැත්වීමට කටයුතු කළ බවද කුමාරසිංහ මහතා සඳහන් කළේය.

ලිහිසි තෙල් වෙළඳපළ දැනට නියාමනය වනුයේ ලංකා ඛනිජ තෙල් පනත යටතේය. ඛනිජ සම්පත් අමාත්‍යාංශයට නියාමනය සඳහා සහායවීමට හා උපදෙස් ලබාදීමට ඡායාමාත්‍ර නියාමන ආයතනය වශයෙන්ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව ක්‍රියා කරන බව අධ්‍යක්ෂ ජෙනරල්වරයා ප්‍රකාශ කළේය.

ලිහිසි තෙල් වෙළෙඳපළ සඳහා නිදහස් වෙළෙඳපළක් පවතින අතර, බලයලත් සමාගම්වලට ලිහිසි තෙල් ආනයනය, අපනයන, මිශ්‍ර කිරීම, නිෂ්පාදනය, බෙදාහැරීම, සැපයීම හෝ අලෙවිය කළ හැකිය. මේ වන විට බලයලත් අලෙවිකරුවන් 13ක් ක්‍රියාත්මක වෙමින් පවතී. පිළිගත් සන්නාම 22ක් යටතේ ලිහිසි තෙල් වර්ග අලෙවි කරයි.

ලිහිසිතෙල් පාරිභෝගිකයන් හා බලයලත් අලෙවිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ගුණාත්මක ලිහිසි තෙල් සාධාරණ මිල ගණන් යටතේ අලෙවිකිරීම තහවුරු කිරිම සඳහා විධිමත් නියාමන රාමුවක අවශ්‍යතාව පැන නැගී ඇති බවද කුමාරසිංහ මහතා කීය.

මහජන උපදේශනයේ දී ලබා ගන්නා යෝජනා පදනම්කර ගනිමින් පවත්නා ගැටලු විසඳුම් ලබාදෙන යෝග්‍ය නියාමන රාමුවක් සඳහා නිර්දේශ සකස් කිරීමට පියවර ගන්නා බවද දමිත කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඡායාරූපය -වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න