තොරතුරු දැන ගැනීමේ පනතින් දුන් වරප්‍රසාද සුරක්ෂිත කිරීම බලධාරීන්ගේ වගකීමයි | දිනමිණ

තොරතුරු දැන ගැනීමේ පනතින් දුන් වරප්‍රසාද සුරක්ෂිත කිරීම බලධාරීන්ගේ වගකීමයි

බුද්ධිකා ඉඹුලාන
ජයසිරි මුණසිංහ

“දිනමිණ” හා “තිනකරන්” පුවත්පත් සමඟ මාසිකව පිරිනමන “පවත” අතිරේකය එළිදැක්වීමේ උත්සවයේදි නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කියයි

අප රටේ දෙකෝටියකට අධික පොදු මහජනතාවගේ සංවර්ධනය සහ සුබසාධනය ඇති කිරීම උදෙසා ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායකයේ 225 දෙනාත්, ඒවා ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් බිය නොවී තොරතුරු දැන ගැනීමේ පනතින් ජනතාවට හිමිවූ සැබෑ වරප්‍රසාදය සුරක්ෂිතව ලබාදීමට වගබලා ගත යුතුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා පත්තර කලාවේ මහගෙදර විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය එක්ව මාසිකව “දිනමිණ” හා “තිනකරන්” පුවත්පත් හරහා පිරිනමන “පවත” අතිරේකය එළිදැක්වීමේ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ලසන්ත අලගියවන්න මහතා එසේ කීය.

කොළඹ, කොටුව ලේක්හවුස් මන්දිරයේ පහත මාලයේ පිහිටි ශ්‍රවණාගාරයේදී මේ උළෙල ඊයේ (27) උදේ පැවැත්විණි.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතාට පුවත්පත නිල වශයෙන් භාරදීම සිදු කළේ, ලේක්හවුස් රාජ්‍ය සබඳතා ප්‍රධානී, කළමනාකරණ කර්තෘ සමන්ත කරුණසේකර මහතා විසිනි.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා විසින් ‘පවත’ නිල පුවත්පත නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්ම මහත්මීන් වෙත නිල වශයෙන් පිළිගැන්වීම සිදු කරනු ලැබීය.

‘පවත’ පුවත්පත අන්තර්ජාලයට එක්කිරීම මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, සහකාර ලේකම් (සංවර්ධන) සුධර්මා කරුණාරත්න මහත්මියට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා, මුදල් අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බස්නායක මහතා, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා හා ආරාධිත අමුත්තන් අතින් සිදු කැරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා මෙසේද කීය:

මේ අවස්ථාවට අපේ මුදල් හා ජනමාධ්‍ය අමැති මංගල සමරවීර මහතාගේ සුභාශිංසන පළමුව පිරිනැමීමට කැමැතියි.

අපේ රටේ නිදහසින් පසු ජනතාවට වැදගත්, ඉතාම වැදගත් විශිෂ්ට පනතක් ඉදිරිපත් වුණා. ඒ තමයි 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත. මේ පනත මගින් පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුවී තිබෙනවා. මේ සුවිශාල සේවාව සැබෑ ලෙසම පොදු ජනතාවට හිමි වෙන්න නම්, ඒ පිළිබඳව ‍ඔවුන් හොඳින් දැනුවත් විය යුතුයි.

ඒ අරමුණින් ගත්විට අපේ අමාත්‍යාංශයත්, ලේක්හවුස් ආයතනයත් එකට එක්වී මේ නිල පුවත්පත් අතිරේකය එළි දැක්වීම ඉතාම වටිනවා. අපේ රට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ක්‍රියාත්මකයි. දෙකෝටියක් වන රටේ මහජනතාවගේ නියෝජිතයෝ ලෙස ව්‍යවස්ථාදායක අපි 225ක් සිටිනවා. අපි විවිධ අණ පනත්, නීති රීති රෙගුලාසි සම්පාදනය කරනවා. ප්‍රතිපත්ති හදනවා. ඒවා අනුමත වූවාට පසු ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරීන්. මේ දෙපිරිස නව තොරතුරු දැනගැනීමේ පනත ගැන බිය වෙන්න ඕනෑ නෑ. අපි පොදු මහජනතාවට තොරතුරු ලබා දෙන්න මැලිවෙන්න උවමනාවක් නැහැ. මේ පනතින් කාගේවත් පෞද්ගලික තොරතුරු ලබාදීමක් වෙන්නේ නැහැ. වෛද්‍ය වාර්තා තොරතුරු ලබාදීමක් සිදුවන්නේ නැහැ. මේ පනතින් පොදු ජනතාවට ලබාගන්න පුළුවන් රාජ්‍ය සේවාවේ තොරතුරුයි. ඒවා නොබියව ලබාදීමට අප දෙපිරිසම වගබලා ගන්න ඕනෑ.

රටේ ජනතාවට අයිතියක් තිබෙනවා තමන්ට අවශ්‍ය රාජ්‍ය සේවා තොරතුරු දැනගන්න. ඒ සඳහා නව පනතින් විශාල අවස්ථාවක් ලබාදීලා තිබෙනවා. මේ ගැන ජනතාවට යම් දැනුවත්වීමක් අවශ්‍යයි.

අපි රජයක් හැටියට අද වනවිට විශාල අභියෝගයකට මුහුණදී සිටිනවා. ඒ තමයි රජය සිදුකරන සේවා, සංවර්ධන කටයුතු ගැන නිසි දැනුවත්වීමක් ජනතාවගේ නැතිකම.

වසර 2015 සිට මේ ගතවන අවුරුදු තුන තුළ රටේ සංවර්ධනයට වැඩිම ප්‍රාග්ධන මුදලක් වැය කළේ මේ ආණ්ඩුවයි. වැඩිම මුදලක් රටේ ජනතාවගේ සුබසාධනයට වෙන් කළේ මේ අවුරුදු තුනේදීයි. නමුත්; ඒ ගැන ජනතාව දැනුවත් නැහැ.

අපේ රටේ මෑතකදී සිදුවූ ආපදා සඳහා විශාලම මුදලක් වන්දි ලෙස ගෙව්වේ අපේ ආණ්ඩුවයි. ගංවතුර, නායයෑම්, නියග නිසා පීඩාවට පත් ජනතාවට විශාල මුදලක් ලබා දුන්නා. නැවත ජීවිත, දේපොළ ගොඩනගාගන්න. නමුත් ඒවා ගැන ජනතාව දැනුවත් නැහැ.

මේ ජනතාව දැනුවත් නැති එක දුරු කිරීම තමයි අපට තිබෙන විශාලම අභියෝගය.

මම තව එක් කරුණක් කියන්නම්. අපේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනතාවට අවශ්‍ය රාජ්‍ය සේවා පහසුකම් ලබා දෙන්න විවිධ මට්ටමේ, විවිධ ක්ෂේත්‍රවලට නිලධාරින් 43ක් ඉන්නවා. තමන්ට මුහුණපෑමට වන මානසික ප්‍රශ්නයක්, ආරවුලක් ගැන වුව උපදේශාත්මකව ජනතාවට කියා දෙන්නට උදව් කිරීමට උපදේශන නිලධාරියෙක් බැගින් සෑම ප්‍රා.ලේ.කාර්යාලයකටම එක් නිලධාරියෙක් ඉන්නවා. මේවා ගැන ජනතාව දැනුවත් නැහැ. මේ නිසා අද රජයේ කාර්යාලවලින් ඉටුවන සේවා ගැන ජනතාවට හරි අවබෝධයක් නැහැ. වැටහීමක් නැහැ. ඒවාගේ තත්ත්වයක් තුළ අපි මේ තොරුතරු දැන ගැනීමේ පනතින් රටේ ජනතාවට අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. නමුත්! ඔවුන් ඒ ගැන හරියාකාරව දන්නේ නැහැ. ඒ නිසා අද ‘පවත’ අතිරේකය එළි දැක්වූවා. මේ පුවත් අතිරේකය ජනතාව කියවන, ඉතා ජනප්‍රිය එකක් ලෙස ඔවුන්ගේ සිත්ගැනීමට හැකි වන ලෙස නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ වගකීම ලේක්හවුස් ආයතනයේ අයට පැවැරෙනවා. ඔවුන් එය ජය ගනියි කියා අපි සිතනවා. අපි මේ සත්කාරයට මුල් වූ සැමට සුබ පතනවා. මේ අතිරේකය වඩාත් සාර්ථකම පුවත් අතිරේකයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා

පසුගිය වසර 70 ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් වඩාත් පහසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමට මඟපෑදූ ඉතාම විශිෂ්ඨ ගණයේ පනත ලෙස මම මේ තොරතුරු දැන ගැනීමේ පනත හඳුන්වනවා. මේ පනත මඟින් පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. ඒ අනුව ජනතාවට සේවා ලැබීමට නම් ජනතාව දැනුවත් විය යුතුමයි.

අපේ රටේ ජනතාවට අයිතිවාසිකම් තහවුරු කිරීමට විවිධ අණපනත් ගෙනත් තිබෙනවා. වසර 1972 හා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් ඒවා සහතික කර තිබෙනවා. නමුත්! ඉතා පහසුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ මේ පනතින්. අනිත් පනත් මඟින් රටේ ආර්ථික, සාමාජීයීය දේශපාලන අයිතින් සුරක්ෂිත වෙනවා. නමුත්! ජනතාවගේ අයිතින් තහවුරු කිරීමට යෑමේදී දුෂ්කරතාවලට ලක්වීමට සිදු වෙනවා. එය දුරු කිරීමටයි අපි මේ පනත සියයට සියයක්ම බලාත්මකවීමට දිරි දෙන්නේ.

ගත වූ අවුඅරුදු 1 ½ක කාලය තුළ අපි අමාත්‍යංශ, දෙපාර්තමේන්තු මට්ටමින් තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කිරීමට නිලධාරින් පත් කළා. ඔවුන් දැනුවත් කළා. නමුත්! ඒ කටයුතුවලින් පමණක් ජනතාව බලාපොරොත්තු වන සේවය ඉටු කිරීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා අපි මේ දැනුවත්වීම් ගමේ නගරයේ ජීවත්වෙන ඔක්කෝම දෙනාට ම ලබා දෙන්න පියවර ගන්නේ. මේ පුවත් අතිරේක වාගේම තවත් විශාල වැඩකොටසක් අපි මේ වසරේදී ඒ සඳහා ඉටු කරනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැළසුම්)ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය

තොරතුරු දැන ගැනීමේ පනත අපේ රටට හඳුන්වාදීමට සිවිල් ක්‍රියාකාරින්, සිවිල් සංවිධාන, ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර ආයතන උනන්දු වුණා. නමුත්! ජනතාව ඒ ගැන ඒතරම් උනන්දුවක් දැක්වූවේ නැහැ. නමුත්! පනත රටට හඳුන්වා දුන්නාට පසු ජනතාව මේ ගැන උනන්දුයි.

මේ උනන්දුව තව තවත් වැඩි කර, රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට මේ පනත ගැනත්; එහි ප්‍රතිලාභ ගැනත් කියන්න පුළුවන් පුවත්පතක් අද එළි දක්වනවා. මේ අරමුණ රටේ ජනතාව සවිබල ගැන්වීමයි. මේ සඳහා අපට උදව් කළ අප සමග අත්වැල් බැඳගත් මංගල සමරවීර අපේ ඇමැතිතුමා, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා අපේ අමාත්‍යංශයේ ලේකම් තුමා ප්‍රධාන සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේ පුවත්පත සඳහා ලිපි ලබාදෙන සේවක පිරිස, සංස්කාරක පිරිස අපි අගය කරනවා. අපිට මේ සඳහා දේශීය හා විදේශීය ආයතන උදව් කරනවා. ඒ අයටත් ස්තූතිවන්ත වෙනවා.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනයේ) සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා,

අපි අවුරුදු 100ක ඉතිහාසයකට ප්‍රෞඪ අතීතයකට උරුමකම් කියන ආයතනයක්. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධ නීතිරීති නොතිබූ යුගයක අපි තමයි රීතීන්වලට අනුගත වෙමින් යහපත් මාධ්‍ය සදාචාරයක් රටට කියා දුන්නේ. ආදර්ශවත් මාධ්‍ය භාවිතයකට ඕනෑම අයෙකු අදත් ගුරුකොට ගන්නේ අපේ ආයතනය විසින් හඳුන්වා දුන් රීති පද්ධතියයි. ඒ අනුව මේවාගේ නවතම මාධ්‍ය භාවිතා කරන යුගයක, තොරතුරු දැනගැනීමේ පනත ගැන ජනතාව දැනුවත් කිරීමට පුවත්පතක් ඇරැඹීමට අප සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අපේ ගෞරවය ඔබට පුද කරනවා. ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා මේ අවස්ථාවට එක්වීමට සිටියත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ නොවුනත් ඒ මහතාගේ සුභාශිංෂණ මේ අවස්ථාවට එක් කරනවා. එතුමා නියෝජනය කරමින් අපේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න , මුදල් අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බස්නායක මහත්වරු මේ අවස්ථාවට එක්වනවා.

මෙම උත්සව අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන දෙපාර්තමේන්තු රැසක උසස් නිලධාරිහු ලේක්හවුස් ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන සුභාෂ් කරුණාරත්න, නාරද සුමනරත්න, දිනමිණ , ඩේලි නිවුස්, තිනකරන් පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් ලේක්හවුස් රාජ්‍ය සබඳතා ප්‍රධානී, කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න