පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි | දිනමිණ


 

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්කවලටත් එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තද වැසි ද අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 70-80 පමණ තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ය.

                                                                  මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                                 2018 අප්‍රේල් මස 28 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, වයඹ, දකුණු සහ ගිනිකොණ දිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මි.මී.75 පමණ තරමක තද වැසි බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                               ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                            2018 අප්‍රේල් මස 28 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශ වල තද වැසිද අපේක්ෂා කලහැක.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණදිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමයි.

සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං(පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

නව අදහස දක්වන්න