දකුණු ආසිය පාපන්දු ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලට තහනම් උත්තේජක පරීක්ෂණ | දිනමිණ

දකුණු ආසිය පාපන්දු ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලට තහනම් උත්තේජක පරීක්ෂණ

ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලේ අවසන් තේරීම්වලට පෙර සියලු ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂණයකට ලක් කිරීමට සූදානම් වෙයි. එමෙන්ම ක්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් ක්‍රීඩකයන්ගේ විශේෂ යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

පාපන්දු ජාතික පුහුණුකරු රුමී පකීර් අලී මහතා යටතේ බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී මේ දිනවල ක්‍රීඩකයන් 56කින් සමන්විත පාපන්දු සංචිත දෙකක් ක්‍රියාත්මකවන අතර එයින් දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩකයන් 25කගෙන් සමන්විත සංචිතය තහනම් උත්තේජක පරීක්ෂණයෙන් හා යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව තෝරා ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා පාපන්දු අවසන් සංචිතය ජූලි මස අගදී හෝ අගෝස්තු මස මුලදී නම්කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය.

දකුණු ආසියා පාපන්දු තරගාවලියේ සෑම තරගයකදීම අහඹු ලෙස තෝරාගත් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකයන් කිහිප දෙනකු තහනම් උත්තේජක පරීක්ෂණයට අනිවාර්යයෙන්ම ලක්වන හෙයින් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේදී ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂණයකට ලක්කිරීම වඩාත් යෝග්‍ය බව පාපන්දු සම්මේලනයේ අදහසවී තිබේ. මෙලෙස ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් අන්තර්ජාතික තරගාවලියකට පෙර තහනම් උත්තේජක පරීක්ෂණයකට ලක්වන්නේ පළමුවරට වීමද විශේෂත්වයකි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වටයේදීම අභියෝග දෙකකට මුහුණදීමට සිදුව ඇති අතර වත්මන් දකුණු ආසියා පාපන්දු ශූර ඉන්දියාව හා ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින මාලදිවයින, ශ්‍රී ලංකාව සමග මූලික වටයේ තරග බිමට පිවිසේ. මෙයින් අවම වශයෙන් එක් තරගයක් හෝ ජය ගතහොත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා වේ.

ශ්‍රී ලංකාව 2015 දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණ පරාජයවූ හෙයින් ජාතික පාපන්දු පුහුණුකරු රුමී පකීර් අලී මහතාට මෙවර පැවැරී ඇති වගකීම වන්නේ කණ්ඩායම පෙරට වඩා යම් පියවරක් ඉදිරියට ගැනීමය.

දකුණු ආසියා පාපන්දු තරගාවලියට මෙතෙක් සහභාගීවූ ඇෆ්ගනිස්තානය මේ තරගාවලියෙන් ඉවත්ව ඇති අතර ‘ඒ’ කාණ්ඩයෙන් බංග්ලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය හා ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව හා මාලදිවයින, ශ්‍රී ලංකාව සමග තරග වදිති. මේ කාණ්ඩ දෙකෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

තරග කාල සටහන මෙසේය:

සැප්: 4දා නේපාලය - පාකිස්තානය

බංග්ලාදේශය - භූතානය

සැප්: 5දා ශ්‍රී ලංකාව - ඉන්දියාව

සැප්: 6දා නේපාලය - භූතානය

බංග්ලාදේශය - පාකිස්තානය

සැප්: 7දා ශ්‍රී ලංකාව - මාලදිවයින

සැප්: 8දා භූතානය - පාකිස්තානය

බංග්ලාදේශය - නේපාලය

සැප්: 8දා ඉන්දියාව - මාලදිවයින

සැප් : 12 අවසන් පූර්ව තරග

සැප් : 15 අවසන් මහා තරගය

නව අදහස දක්වන්න