ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක් | දිනමිණ

ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක්

ෆවුස් මොහොමඩ්

නිලවරණ කමිටුව පත් කිරීම විධිමත් ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇතැයි ලද නීතිපති උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දින නියමයක් නොමැතිව කල් දමනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට අවසර දෙන්නැයි ක්‍රිකට් විධායක සභාව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ඉල්ලා සිටී. ඊට පෙර ලබන 19 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා නියමිත ක්‍රමවේදයට අනුව නිලවරණ කමිටුවක් පත් කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

මෙරට ක්‍රීඩා සංගම් නිලවරණ අතර වැඩිම අවධානයකට සහ උණුසුම් වාතාවරණයකට ලක්වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් ගියත් පසුගිය අප්‍රේල් මස 6 වැනිදා නාමයෝජනා කැඳවීම සහ අප්‍රේල් මස 27 වැනිදා එය නිමාවට පත්කිරීම නියමිත පරිදි සිදුවූ බව සුමතිපාල මහතා සඳහන් කරයි.

‘අප්‍රේල් මාසයේ 27 වැනිදා හවස 3.00ට නාමයෝජනා කැඳවීම අවසන් කළා. අපිට කියා තිබෙන්නේ නාමයෝජනා විවෘත කරන්න එපා කියලයි. ආපහු අලුතින් නිලවරණ කමිටුව පත්වුණාම අපි එයාලට මේ නාමයෝජනා බාරදෙනවා.’ සුමතිපාල මහතා පෙරේදා පස්වරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ කීවේය.

‘අපි පිළිගන්නවා විශේෂ මහ සභා රැස්වීමක් පවත්වලා නිලවරණ කමිටුවක් පත් කිරීම හොඳයි කියලා. නමුත් අපි විධායක කමිටුව මගින් නිලවරණ කමිටුවක් පත් කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අපට ඒ සඳහා අවසර දී තිබූ නිසයි. අපි ඉතා අවංකව ඒ කාර්ය ඉටු කළා. නමුත් දැන් අපිට නැවතත් උපදෙස් ලැබී තිබෙනවා. අපි ඒ උපදෙස් මත කටයුතු කරනවා. ඒ නිසා මැයි 31දා නිලවරණය පවත්වන්නට නව ක්‍රීඩා අමාත්‍යවරයා අවසර ලබාදේවි කියලා මං විශ්වාස කරනවා.’ තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

මැයි 31 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහ සභා රැස්වීමේදී විගණනාධිපතිවරයා විසින් අනුමත කරනු ලැබූ විගණන වාර්තා සම්මත කරගැනීමත් සිදු කිරීමට නියමිතය. 

 

නව අදහස දක්වන්න