චපල ඇවකාඩෝ | දිනමිණ

චපල ඇවකාඩෝ

පොලිස් රාලහාමිලා දෙන්නා බිමට නැවිලා ඉන්න චික බොනීටා අල්ලන්න හදන කොටම කුඹුර පැත්තෙන් කළු බල්ලෙක් දුවන් ආවා. උගේ ඇස් ගිනි බෝල දෙකක් වගේ. පැන්න ගමන් මහත රාලහාමිගේ කකුලෙ බත් කෙණ්ඩ ඇල්ලුවා. එක හුස්මට කෙට්ටු රාලහාමිගේ කලවයේ එල්ලුණා.

'අමරසිංහ.....දුවපාං....හයියෙන් දුවපාං....කළු බලු පිල්ලියක් මගේ කකුලෙ කෑල්ලක් කෑවා. අයියෝ දුවපාං...

මෙහේ වරෙල්ලා...මේ බල්ලට පොල්ලකින් ගහලා මරපල්ලා....යකුනේ....කට ඇරං බලන් ඉන්නෙ වරෙල්ලා.....'

චික බොනීටා ඉස්සෙක් වගේ මහත රාලහාමිගේ කකුල් දෙක අස්සෙන් රූටලා, මාවත් සාක්කුවේ දාගෙන සරම කරට අරන් දුවන්න පටන් ගත්තා. මට ආයෙත් හිතුණා චික බොනීටා වීර පුරුෂයෙක් කියලා. ඉබන් නම් කවදාවත් මෙහෙම අවදානම් දේවල් කරන්න හිතන්නෙ නෑ. එයාගෙ කිසිම සෙල්ලක්කාර ගතිගුණයක් නෑ. මෙච්චර කල් මම ගෙවලා තියෙන්නේ මොන ජීවිතයක්ද කියලා හිතුණා. බැටරි බහින්න තව පොඩ්ඩයි තියෙන්නේ. මම දුර්වල හදවතින්ම බොනීටා ට තුරුළු වුණා. නාන ළිං උඩින්, මිරිස් පාත්ති උඩින්, රෙදි වැල් යටින්, වැටවල් උඩින් පනිමින්-දුවමින් ආපු බොනීටා ගෙදරට ළඟා වුණා. ගෙයි පිලේ ආං අර කළු බලු පිල්ලිය යසට නිදාගෙන ඉන්නවා.

'ආ....ටර්මාංගනියා...ආඩම්බරයි හොඳේ.....'

ටර්මාංගනියා ඔළුව උස්සලා බලලා 'මළ කෝලං' තාලෙට අහක බලා ගත්තා. ගෙදර සියල්ලෝම රූපවාහිනියේ පෙන්වන අවුරුදු උත්සවයක වතුරේ කොට්ට පොර ගහනවා ඇස් අයාගෙන බලාගෙන හිටිය නිසා බොනීටා ට හොර පූෙසක් වගේ තමන්ගේ කාමරයට රිංගන්න පුළුවන් වුණා. බොනීටා කඩුළු පනින ක්‍රීඩකයකු වගේ පු‍ටුවක් උඩින් ඇඳට පනිනකොටම මම ඇස් පියා ගත්තා.

'මේ යකා අඬු කඩාගත්තම මට යන කල මොකක්දැයි' කියලා හිතුවට ඒ යකා කිසි ගාණක් නැතිව ඇඳට පතිත වුණා. ඊට පස්සේ මාව සාක්කුවෙන් එළියට අරගෙන නරඹන අතරෙ බැටරිය බැහැලා කියලා දැක්කා.

ඊළඟට අලි විශාල ඇඳුම් බෑග් එකක් ඇරලා පවර් බෑන්ක් එකකුයි වයර් ගොඩකුයි ගත්තා.

'හ්ම්....ඇවකාඩෝ 0.2. නරක නෑ වැඩේ...'

අමාරුවෙන් හුස්ම ගනිමින් හිටිය මට ලොකු සහනයක් දැනෙන්න ගත්තා. එයා මාව චාර්ජ් කරන්න පටන් අරගෙන. විනාඩි කීපෙකින් මම තිරය දල්වලා පෙන්නුවා. එයා තිරය දිහා ගොඩක් වෙලා බලන් හිටියා. ඉබන් එයාගෙ පෙම්වතී එක්ක උස කඳු මුදුනක ගත්තු පින්තූරයක් තිරයේ තිබ්බේ. බොනීටා හෙමිහිට අමොර්ගෙ කම්මුලක් අත ගෑවා. අමොර් ඉතිං හිනා වෙච්ච ගමන්මනේ. මම ඉක්මනට තිරය නිවලා දැම්මා. එයා ආයෙත් තිරය දල්ව ගත්තා. ලොක් ස්ක්‍රීන් එකේම ඉබන්ගෙන් ආපු කෝල්, අමොර්ගෙ කෝල් වගේම පණිවුඩත් පේන්න තිබ්බා. ඒත් බොනීටා ඒවා එකක්වත් කියවන්න උත්සාහ කළේ නෑ. එයා නෝටි‍ෆිකේෂන් ඔක්කොම ක්ලියර් කරලා දැම්මා. මං ආයෙත් පුදුම වුණා. 'එයා නම් අමුතුම හොරෙක්' කියලා හිතන ගමන් ආයෙත් බොනීටා දිහා උවමනාවෙන් බැලුවා. එයා මොකක් හරි ලොකු දුකකින් ඉන්න කෙනෙක් වගේ. තමන්ගෙම ගෙදර ආවා වුණත් කාත් එක්කවත් කතාවට ගියෙත් නැහැනේ. ගෙදර අය වුණත් අර උලව් අවුරුදු උත්සවයක් දිහා දැපනේ වැටිලා බලන් ඉන්නවා මිසක් තමන්ගේ පුතා ගෙදර ඇවිත්නෙ කියලා හොයලා බැලිල්ලක් නෑ. මේක නම් නල්ලමලේ ගෙයක් තමයි. එකෙක්ටවත් ගාණක් නෑ. මට කේන්ති ගියා. ඒත් එක අතකට මට මොනවට කේන්ති යන්නද? මාව මේ හොරකං කරගෙන ඇවිල්ල තියෙන අව් අස්සේ මොන සමයමක්ද හිතන්නේ.

බොනීටා ආයෙමත් තිරය දල්වලා රහස් අංකෙ දිහා බලන් හිටියා. ඉලක්කම් හයයිනේ.....ඕක මොන කජ්ජක්ද බොනීටට.....මම එහෙම හිතුවට බොනීටා නොසෑහෙන්න කල්පනා කළා. එක පාරක්, දෙපාරක්, තුන් පාරක් වැ‍රැදි නොම්මර හයක් ටයිප් කළා. ඊට පස්සේ කට උල් කරලා තිරය දිහා බලන් හිටියා. ෆෝන් එකක් ආදරෙන් බැදුණොත් නොකරන දෙයක් නෑ. මම එතකොට චික බොනීටට රහසින් ආලය කරමින් හිටියේ. එයා ඊළඟ පාර තිරයට අත තියනවත් එක්කම මම හිතාමතා හරි ඉලක්කම් හය ටයිප් කරලා ලොක් එක ඇරලා දුන්නා. ඒක එයාගෙ අතින් වුණ දෙයක් හැටියටයි මට පෙන්නන්න ඕන වුණේ. ඇත්තම කිව්වොත් මටත් පුදුමයි වෙච්ච දේ ගැන. මාව මනුස්සයෙක් වෙන්න යනවද? බොනීටා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. මොකද එයා දැනගත්තා රහස් අගුල ඇරියේ එයා නෙවෙයි කියලා. ඒත් ටික වෙලාවකින් එයා සන්සුන් වුණා. එයා හුස්ම හෙළන වේගය සාමාන්‍ය වුණා.

එයා මුලින්ම ඉබන්ගෙ ඊමේල් කියවන්න තීරණය කළා. නිකං මේ සාමාන්‍ය ඊමේල් කීපයක් එයා කියෙව්වා. ඊළඟට අමුතු නම්වලින් ලේබල් කරලා තිබ්බා ෆෝල්ඩර් කීපයක් පහු කරන් ගියා. ඒ හැම ෆෝල්ඩර් එකකටම ඉබන් රහස් අගුල් දාලා තිබ්බ බව ඇත්ත. ඒවා ඇතුළේ අමොර්ගෙ අමුතු පින්තූර, වීඩියෝ තිබුණ බවත් ඇත්තයි. මම ඒවා නොදන්නවා වගේ හිටිය එකත් ඇත්තයි. ඒ වගේම බොනීටා ඒ එකක්වත් බලන්න උත්සාහ නොකරපු එකත් ඇත්තයි. මම ආයෙම වතාවක් බොනීටට බැඳුණා. එයාගෙ හොඳ ගතිගුණ ගැන පැහැදුණා. හොරෙකුට වුණත් ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙන්න ඕනා. හැබැයි එයා අර සාමාන්‍ය ඊමේල් කියවන අතරේ සටහන් පොතක් අරන් මොනවද ලියා ගත්තා. ඒ ගැන මම වැඩිය හිතන්න ගියේ නෑ. හොරෙක් වුණාම දෙයක් හොරකම් කරන්නත් එපැයි. නීතිගරුක වෙලා විතරක් ඇතියැ!! මං එහෙමත් හිතුවා. අනේ මං මේ හිතන දේවල් ඉබන් දන්නවා නම්!! ඒත් ඉබන් හරි බෝරිං අනේ!!! එයා නීතිගරුක වැඩියි.

ඊළඟට එයා පින්තූර ගැලරියේ තිබ්බ අමොර්ගෙ සෙල්‍ෆි කන්දරාව බලන්න ගත්තා. මයෙ දෙයියනේ....!!! ඒකෙ තිබ්බ තරම් සෙල්‍ෆි!! මම ඕවා ඒ හැටි මායිම් කළේ නෑ. ඒත් මේ හැටි සෙල්‍ෆි ගොඩක් ගන්න ඒ දැරිවිට කොයි තරම් වෙලාවක් යන්න ඇතිද කියලා හිතුණා. ඊළඟට ඉබන් එක්ක තුරුළු වෙලා, අත් අල්ලන්, කෑම කවමින්, කුඩ ඉහලගෙන, හංස බෝට්‍ටු පදිමින් ඉන්න පින්තූර ගොඩක් එයා බැලුවා. සමහර පින්තූරවල විතරක් අමොර්ගෙ කම්මුල හෙමිහිට අතගෑවා. ඊළඟට නෝට්ස් කීපයක් ඇරලා බැලුවා. ඉබන්ගෙත් නොසැලකිල්ල. සමහර නෝට්වල පාස්වර්ඩ් එහෙමත් සේව් කරලා තිබ්බා. හැබැයි ඒ හැම එකකටම රහස් අගුලක් දාලා තිබ්බා. මගේ ඉබන් හරි මොළකාරයා. මට ආඩම්බරයකුත් මතු වුණා. 'චී!!! තමන්ගේ චපල ඇවකාඩෝ හදවත. දැන් ටිකකට කලින් චික බොනීටා ට ආදරෙන් බැදුණා. දැන් ආයෙත් මගේ ඉබන් කියන්න පටන් ගත්තා.' ඒ වාක්‍ය ඇහුණේ කොහෙන්ද මන්දා. ඒත් කොහෙන් හරි ඇහුණා. මම ටිකක් සන්සුන් වෙන්න හිතුවා.

බොනීට දීර්ඝ හුස්මක් පහළට හෙලලා තිරය නිවලා දැම්මා. එයා දන්නවා ආයෙත් තිරය දල්වලා රහස් අගුල ටයිප් කරන්න ක්‍රමයක් නැති බව. මමත් ඒක එයාට තදින් ඒත්තු ගන්වන්න ඕන නිසාම ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. එයා මාව මේසෙ උඩින් ගිහින් තිබ්බා. එක පාරක් තිරය පත්තු කරලා අමොර් දිහා බලලා තිරය නිවලා දැම්මා.

ආයෙත් සීත කාලගුණය පහු කරගෙන කරච්චල පිරිච්ච ටවුමකට අපි ආවා. මම තාමත් එයාගෙ උඩ සාක්කුවේ.

'ආ.....මෙන්න....'කියලා එයා මාව ඩමියට ඇඳුම් අන්දපු ගෑනු කෙනාට දුන්නා. එයා පුදුම එලවන මුහුණක් මවාගෙන මාව අරගත්තා. ඩමියට ආයෙත් ඇඳුමක් නෑ. ඩමිය මාව දැකලා ආයෙ කෑ ගහන්න උත්සාහ කරලා කට වහ ගත්තා.

මට පාළු හිතුණා. චික බොනීටා නැතිව දුකක් ඇති වුණා. ඒත් එක්කම ඉබන්ව මතක් වුණා.

මම චපල ඇවකාඩෝ 0.2ක්. මාව එක දිගට වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා.

කාංචනා අමිලානි
@moogater


නව අදහස දක්වන්න

Or log in with...