ඔබට සුබ රාත්‍රි­යක් වේවා ! | දිනමිණ

ඔබට සුබ රාත්‍රි­යක් වේවා !

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්  ශ්‍රී ලාංකේය සින­මාවේ ප්‍රාඥ­යා­ණෙනි,

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, අපගේ සිනමාවේ මහා ප්‍රාඥයා පසුගිය දෙවන දා සැඳෑ භාගයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී ප්‍රධාන පුරවැසියන් දෙදෙනා ඇතුළු ඔහුගේ සිනමාවට ආදරය කරන විසාල පිරිසක් හමුවේ ජාතියෙන් සමුගත්තේය. පමා වී හෝ ඔහුට සුබ රාත්‍රියක් වේවායි පතමි. එහෙත් යළි කිසිදාක දුර්ජනයන් බහුලව වෙසෙන මේ දිවයිනෙහි උපදින්නට නම් වාසනාව නොලැබේවායි කියා ද පතමි. ඔහුගේ නිසල සිරුර, දැවී හළු වන්නට පෙරම, ඔහු අප මව්බිමට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් පෙරළා ඔහුට කෘතවේදී වූයේ කෙසේද යන පුවත සිහි නොකරමි. එය එතරම්ම නින්දා සහගතය. ලජ්ජා සහගතය. මිනිසත් බවින් තොරය.

මේ පුවතට සම්බන්ධ දුර්ජනයන් කෙබඳු සිතකින් එතුමන් රටට ලබා දුන් කීර්තිය, ගෞරවය සොරා ගත්තෙහි ද? ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු කවරෙක් ද? සාහිත්‍යයෙහි මහා ගත්කරු, කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ වේ නම්, මෙරට වේදිකාවෙහි මුදුන් මල්කඩ මහැදුරු සරච්චන්ද්‍ර වී නම්, ඉතිහාසය, පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙහි මහා වියතාණන් මහැදුරු සෙනරත් පරණවිතාන වූයේ නම්, මුද්‍රා නාට්‍යයයෙහි කීර්තිමතා චිත්‍රසේන ලෙස සැලකෙන්නේ නම්, සංගීතයෙහි ශ්‍රී ලාංකේය ලකුණ පණ්ඩිත් අමරදේව හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ලෙස පිළිගනු ලබන්නේ නම්, දේශීය සිනමාවෙහි ප්‍රාඥයා අන් කවරකු හෝ නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ම බව ඉඳුරා පැවසීමට කැමැත්තෙමි.

මෙකී විශිෂ්ටයන්ගේ නාමාවලියට එකතුවන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, මහගම සේකර, සිරි ගුනසිංහ, පණීභාරත ආදීන්ගේ වියොවින් වූ හිඩැස ද අපගේ ජීවිත කාලයේ දී හෝ මතු පරම්පරා ගණනාවක දී හෝ පිරවෙන්නක් නොවන බව සක් සුදක් සේ පැහැදිලිය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ අභාවය අප සිත දරා ගත නොහෙන සොවකින් පිරී ගියේ අප රට බිහි කළා වූ දැවැන්ත චින්තක, කලාකරු, පරපුරෙහි අවසාන යුග පුරුෂයා ඔහු නොවේද කියා අප සිතම ප්‍රශ්නයක් නැඟුණු බැවිනි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපගේ සිනමාවෙහි මහා ප්‍රාඥයා වන්නේ කෙසේද? ඔහුගේ මෙහෙවර 1947 ඇරැඹී 1956 දක්වා මෙරට පැවැති සිනමාව වෙනස් කළ, නව දිශානතියකට හරවමින්, ශ්‍රී ලාංකේය සිනමාව ලෝක සිනමාවේ විශිෂ්ටයන් හා මෙන්ම විශිෂ්ට නිර්මාණ සමඟ ද සමතැන් ගැනීමට සමත් බව මෙරටට මෙන්ම එතෙරටද කියා පෑවෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් හුම නොවෙද? ඔහු මහා සිනමාවට අත්පොත් තබන්නේ එතෙර සිට පැමිණ මෙරට රජයේ චිත්‍රපට අංශයට එක් වී 1952-55 කාලය තුළ ලංකා උරුමය (Heritage of Sri Lanka ) වියළි කලාපය ජයගැනීම ( Conquest in the Dry Zone ) රැකෙනු නැත්නම් තැවෙනු ( Be Safe or be Sorry ) වැනි වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමෙනි. සිනමාව පිළිබඳ ඔහුගේම නිර්වචනය අත්හදා බැලීමට උචිත පසුබිමකින් යුත් සිනමා කලාවක් 56ට පෙර වූ බව ආචාර්ය ලෙස්ටර් වටහාගෙන තිබිණ. “භාෂාව කියන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අන්තිමට අවශ්‍ය දෙයයි.

කෙනෙකු චිත්‍රපට නිපදවන්නේ සිංහලෙන් හෝ දෙමළෙන් නොවෙයි. සිනමා භාෂාවෙන් “ සිනමා භාෂාව භාවිතයට නොගත්, දකුණු ඉන්දීය චිත්‍රපට කලාවේ ආභාසය නොමදව ලබමින්, චිත්‍රාගාරයකින් බැහැරට නොගොස් නිපදවුණු දකුණු ඉන්දීය චිත්‍රපට කාබන් කොපි හෝ මෙරට වේදිකාගත වූ නාට්‍ය එලෙසින්ම සංවාදයට මුල් තැන දෙමින්, නිපදවුණු චිත්‍රපට තුළ සිනමාව නොවේ යැයි ලෙස්ටර් වටහා ගත්තේය. චිත්‍රපටයකට ඇතුළත් විය යුතු යැයි එවකට සම්මත වට්ටෝරුව වූ ගී ගයමින් මල් ගස් වටා දිවීම, වීරයා හා දුෂ්ටයා ගේ කළු සුදු චරිත, ඔවුන් අතර වන සටන් හා අවසන වීරයා ජයගැනීම, නැටුම් හා ගීත බහුලව භාවිතය, විහිළුකාරයන්ගේ චරිත, නළුවරණයේ දී නළු නිළියන්ගේ බාහිර රූපකාය විනා රඟපෑමෙහි දක්ෂතාවයට මුල්තැන නොවීම, අභව්‍ය සිදුවීම් ගහණ මුල මැද අග සහිත කතාන්දර චිත්‍රපටයට නැඟීම 1956ට පෙර මෙරට සිනමාව ලෙස අධ්‍යක්ෂවරු වටහා ගෙන සිටියහ.

1956 රේඛාව අපගේ සිනමා වංශ කතාවට එක් කරමින් ලෙස්ටර් පුපුරවා හරින්නේ දකුණු ඉන්දීය සිනමාවෙන් ආභාසය ලබමින් පෝෂණය වූ ව්‍යාජ සිනමා කලාවයි. ජනජීවිතයෙන් ඈත්ව, යථාර්ථවාදීව මිනිස් චරිත දෙස එබී බැලීමෙන් වියුක්ත වූ විනෝදාස්වාදයට මුල් තැන දුන් හා බහුලව ගීත, නැටුම් භාවිතයෙන් කතාන්දර කී චිත්‍රපට සම්ප්‍රදායයි. චිත්‍රාගාරයේ කෘත්‍රිම පසුතල අතර සිර වූ චරිත ඉන් බැහැරට ගෙන ගොස්, අප දන්නා හඳුනන ගම, ගමක ජීවත්වන ගැහැනුන්, මිනිසුන්, දරුවන් ඔවුන් මුහුණ පාන සිදුවීම් රූප මාධ්‍යයෙන් දකින්නට හා එකී අත්හදාබැලීම ප්‍රේක්ෂකයන්ට සමීප කොට ඔවුන් ඊට හුරු පුරුදු කරවන්නට ලෙස්ටර් රේඛාව නිපදවීමෙන් කළ විප්ලවය මෙරට සිනමාවේ විශිෂ්ටතම මඟ සලකුණයි.

රේඛාව සිංහල සිනමාවෙහි රිදී රේඛාව ලෙස ඉතිහාසයට එක් කරන ලෙස්ටර්ගේ සිනමාවෙහි 1956 - 2006 දක්වා දශක පහක දිගු කාලය තුළ ඔහුගේ නම ඉදිරියෙහි සටහන්වන්නේ චිත්‍රපට 20ක නාමාවලියකි. 2006 අම්මාවරුන්ගෙන් ඔහුගේ සිනමා නිර්මාණ දිවිය නිමාව දකී. එහෙත් මෙකී සීමිත නිර්මාණ අතරෙහි වුව, ඔහු ප්‍රාඥයා ලෙස අප හඳුන්වන්නේ කුමන කාරණා නිසාද? ඊට හොඳම නිදසුන සැපයෙන්නේ 1947-1997 සිංහල සිනමාවේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් මෙරට විචාරකයන් විසින් නම් කරන ලද විශිෂ්ට චිත්‍රපට 25ට ඇතුළත් නාමාවලිය විමසීමෙනි. පළමු චිත්‍රපට 10 තුළ ලෙස්ටර්ගේ කෘති ත්‍රිත්වයකි.

නිධානය, ගම්පෙරළිය හා රේඛාව එම කෘතීන්ය. 11-25 අතරෙහි ද ඔහුගේ නිර්මාණ ද්වයකි. දෙලොවක් අතර හා කලියුගය සමගින් 1947-1997 පණස් වසරෙහි, 1956 සිට සිනමාවට පැමිණි ලෙස්ටර්ගේ චිත්‍රපට පහක්ම විශිෂ්ට කෘති ලෙස විචාරක සම්භාවනාවට පාත්‍රවීම පවසන්නේ ඔහු අපගේ සිනමා ප්‍රාඥයා බව නොවෙද? ඔහු විසින් අප රටට කීර්තිය ගෙන ආ ජාත්‍යන්තර සම්මාන කෙලෙස අමතක කළ හැකිද? ගම්පෙරළිය සඳහා, 1965, නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී රණ මයුර සම්මානය , එම උළෙලේදීම ගම්පෙරළියට විචාරක සම්මානය හිමිවීම, 1977 දී කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී තුන්වන ලෝකයේ රටවල් අතරින් ඉදිරිපත් වූ හොඳම නිර්මාණය සේ අහසින් පොළොවට සම්මාන හිමිකරගැනීම, 1972 දී ඉතාලිය:වැනීසිය/ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී නිධානයට විචාරක තේරීම සම්මානය ලෙස්ටර්ගේ නිර්මාණ ජාත්‍යන්තරව සම්මානයෙන් පිදුණු අවස්ථා සේ මතකයට එයි. 2000 වසරේ දී නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ජීවිත කාලය පුරා අත් කරගත් අභිමතාර්ථ සාධනය වෙනුවෙන් ඉන්දීය රජය විසින් රණ මයුර සම්මානයෙන් ලෙස්ටර් පුදනු ලැබූයේ ද, 2001 දී ප්‍රංශය රන් පියුම් සම්මානය ඔහු විසින් ආසියානු සිනමාවට ලබා දුන් දායකත්වය වෙනුවෙන් පුදන ලද්දේ ද ඔහු සිනමා කලාව පිළිබඳ ලොව පිළිගත් ප්‍රාඥයකු වන බැවින් නොවේද?

රේඛාව හා සංදේශය චිත්‍රපට සඳහා විශිෂ්ට ගීත රැසක මිහිර ප්‍රේක්ෂකයනට දායාද කළ ලෙස්ටර්, ඔහුගේ තුන්වන චිත්‍රපටය සඳහා අමරදේවයන්ගේ පසුබිම් සංගීතය හැර එකදු ගීතයක් හෝ ඇතුළත් කර නොගනී. එය සිංහල සිනමාවේ ගීත නොවූ ප්‍රථම චිත්‍රපටය වූවද, ලෙස්ටර්ගේ චිත්‍රපට නාමාවලියෙහි එවන් කෘති රැසක ආරම්භය ලෙස අපි දකිමු. ගීත ඇතුළත් වූ මුල් චිත්‍රපට සඳහා ඇතුළත් වූ ගී සියල්ලෙහි ගේය පද සංකල්පනා තනු හා සංගීතය අපට පවසන්නේ ලෙස්ටර් සතුව තුබූ සාහිත්‍ය ඥානය නොවේද? රේඛාවට මර්සලීනු ජයකොඩි පියතුමා රචනා කළ සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා මගෙ පුතු නළවන්නා වැනි ගීතය හෝ අරීසෙන් අහුබුදු රචනා කළ සංදේශයෙහි ගීත සියල්ල අද දවසේත් අප රස විඳින මිහිර අධ්‍යක්ෂ ලෙස්ටර්ගේ රස වින්දනයෙහි මිහිරි ඵල නොවන්නේද? ගම්පෙරළිය නවකතාවෙන් වික්‍රමසිංහ පවසන්නට උත්සාහ කළ සමාජ පෙරළියෙහි ගැඹුරු චිත්‍රය ලෙස්ටර් තම සිනමා බසින් මනාව පවසයි.

නන්දා, පියල්, ජිනදාස, අනුලා ආදීන්ගේ චරිත නවකතාවෙන් නිරූපිත චරිත තුළින් පාඨකයන් කියවූ ජීවනාභූතියට වඩා ගැඹුරු කියවීමකට ප්‍රේක්ෂකයන් ගෙන යාමට ලෙස්ටර් සමත් වේ. පුණ්‍යා හීන්දෙනිය, හෙන්රි ජයසේන, ගාමිණී ෆොන්සේකා හා ට්‍රෙලීෂියා ගුණවර්ධන ආදීන්ගේ රංගන පෞරුෂය ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයෙන් ඔපමට්ටම් වූ අයුරක් පෙනේ. 1964 ජනවාරි 01දා ගම්පෙරළිය චිත්‍රපටය පිළිබඳ මහැදුරු සරච්චන්ද්‍ර, දිනමිණට ලියූ විචාරයෙහි ආරම්භය මතකයට නැගිය යුතුය.

“ මා ගම්පෙරළිය චිත්‍රපටිය බලා පිටවී ගියේ කුමක් ද මේ ආශ්චර්යය ! මේ ඕපපාතික කලා කෘතිය කෙසේ ප්‍රාදූර්භූත වූවක්දැයි මවිත වෙමිනි “ ගම්පෙරළිය සිංහල සිනමාවේ නව ගමන් මග සටහන් කළ පළමු චිත්‍රපටය වූ අතර, එමගින් හා ඔහුගේ ආසන්න පසු චිත්‍රපට වූ දෙලොවක් අතර, රන් සළු, ගොළු හදවත හා නිධානය වැනි චිත්‍රපට සිනමාවේ දෙවන පරම්පරාව බිහිවීම සඳහා ලෙස්ටර්ගේ මහරු ආයෝජනය වීය. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා, නිහාල්සිංහ, සුමිත්‍රා පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, ආදීන් විසින් දායාද කොට ඇති සිනමා කෘතිහි වක්‍ර හිමිකාරීත්වය ලෙස්ටර්ගේ නොවේදැයි කල්පනාවීම අසාධාරණ නොවේ. ඔහු විසින් පෙන්වා දුන් මග වඩාත් අර්ථසම්පන්නව, අත්හදාබැලීම් සහිතව, තම නිර්මාණකරණය සඳහා මෙම දෙවන පරපුර විසින් භාවිත කළ බවට සාක්ෂි දරණ චිත්‍රපට කිහිපයක්ම මතකයට නැගේ.

බඹරු ඇවිත්, දඩයම, පළඟැටියෝ, වැලිකතර, විරාගය, හංස විලක්, පරසතු මල්, සොල්දාදු උන්නැහේ, සාගර ජලය මදි ඇඬුවා, හාරලක්ෂෙ ඉන් කිහිපයක් පමණි. නිධානය ලෙස්ටර් නම් සිනමා ප්‍රාඥයාගේ නිර්මාණාවලියෙහි අග්‍ර ඵලයයි. එමතුද නොව, එය ශ්‍රී ලාංකේය සිනමාවෙහි ද අග්‍ර ඵලයයි. ලෙස්ටර් නම් වූ මහා පුරුෂයාගේ අගය අපට වඩ වඩාත් දැනෙන්නේ, ඔහු යුග පුරුෂයකුගේ භූමිකාව හොඳින් වටහාගෙන සිනමාවෙහි යහපත් අනාගතයක්ම පැතූ නිර්මාණකරුවකු වීම නිසාය.

ඔහුගෙන් පසු බිහි වූ දෙවන පරම්පරාවේ ආභාසය ලද ප්‍රසන්න විතානගේ, අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්‍රධාන කොට ගත්, තුන්වන පරපුර සමඟ ද, ඔවුන්ගේ නිර්මාණ ගුණදොස් දකිමින්, රාජ්‍යය මේ තරුණ නිර්මාණකරුවන්ගේ මග අවුරුවන්නට, ඔවුනගේ ප්‍රකාශන අයිතියට වාරණ පනවන්නට උත්සාහ ගත් සෑම විටෙකම, පියකු තම දූ පුතුන් රකිනා පරිද්දෙන් ඔවුන් රැකගැනීමට නිබයව ඉදිරිපත් වූ මහා පුරුෂයාණෝය. මේ මගේ සඳයි, අක්ෂරය, පුර හඳ කළුවර, සුළඟ එනු පිණිස වැනි චිත්‍රපට මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සංසිද්ධීන්හි හි දී ලෙස්ටර් තම දරුවන් වැනි තුන්වන පරම්පරාව සමඟ රාජ්‍යයට එරෙහිව පවා තම මතය නොබියව පළ කළේය. ඔහු ප්‍රාඥයකුගේ ගුණාංග විශද කොට ඇත්තේ එලෙසිනි.

ලෙස්ටර් තම චිත්‍රපට සඳහා සිංහල සාහිත්‍ය කෘති තෝරා ගැනීමට මහත් අභිරුචියක් දැක් වූ අධ්‍යක්ෂවරයකු වන්නේ විශිෂ්ට නවකතාකරුවන් සේ සැලකූ රචකයන්ගේ කෘති තෝරා ගැනීමෙනි. මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈඳුතු නවකතා, ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය සිනමාවට නඟන ඔහු මඩවල එස්. රත්නායකගේ අක්කර පහ, ගොළු හදවතට පසු තෝරා ගනී. ඔහුගේ සාහිත්‍ය ඥානය මෙන්ම, රසවින්දනය ද උසස් තලයක වූ බවට සාක්ෂි සපයන්නේ පිටු පහක ලියැවුණු කෙටිකතාවක් චිත්‍රපටයකට නැගීමේ අභියෝගය භාරගැනීම තුළිනි.

එය ලොව විශිෂ්ටතම චිත්‍රපට අතරට එක් වන්නේ ලෙස්ටර් නම් වූ අධ්‍යක්ෂවරයාගේ පරිණත ඥානය, පරිකල්පනීය ගුණය නිසාමය. බොළඳ නවකතාවක් සේ විචාරකයන් විසින් බැහැර කොට තිබූ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාව අපූරු සිනමා කාව්‍යයක් බවට පත්වන්නේ, නවකතාවේ නොවූ යටි පෙළක් මතුකර ගැනීමට අධ්‍යක්ෂ භූමිකාවට අත්‍යවශ්‍ය ආනුෂංගික අංශ සඳහා උචිතම නිර්මාණකරුවන් තෝරාගැනීමට ඔහු තුළ වූ දැනුමයි.

තවත් අතකින් අභියෝග සඳහා මුහුණ දීමේ නිර්භීතභාවයයි. තිරරචනය, කැමරාකරණය, සංගීතය, ගේය පද රචනය, සංස්කරණය, නළුවරණය, ඔහුගේ බහුතර නිර්මාණ තුළ කැපී පෙනෙන ප්‍රබල සාධකයක් බවට පත්වී ඇති බව පෙනේ. තිර රචනයෙහි ලෙස්ටර් රෙජී සිරිවර්ධන එක්වීම (ගම්පෙරළිය, ගොළු හදවත ) සංගීතයෙහි දී අමරදේව ( ගම්පෙරළිය, දෙලොවක් අතර, රන් සළු, අක්කර පහ, ) ප්‍රේමසිරි කේමදාස ( ගොළු හදවත, නිධානය, දෑස නිසා, වීර පුරන් අප්පු, යුගාන්තය, අවරගිර, කලියුගය ) නිමල් මෙන්ඩිස් ( අහසින් පොළොවට, බැද්දේගම ) කැමරාකරණයෙහි දී විලී බ්ලේක් ( රේඛාව, සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, ගෝඩ් කිං, බැද්දෙගම, යුගාන්තය ) එම්.එස්. ආනන්දන් ( අක්කර පහ, ගොළු හදවත, නිධානය ) සුමිත්ත අමරසිංහ ( දෑස නිසා) ඩොනල්ඩ් කරුණාරත්න (අහසින් පොළොවට, වීර පුරන් අප්පු, කලියුගය, අවරගිර ) කැපී පෙනේ. මෙකී සියලු ආනුෂංගික අංශ තුළ කැපී පෙනෙන විශිෂ්ට සුසංයෝගය වන්නේ තිර රචනයෙහි දී තිස්ස අබේසේකර ලෙස්ටර් විසින් දායාද කරන ලද චිත්‍රපට රාශියයි. දෙලොවක් අතර, ලෙස්ටර්, රෙජී සිරිවර්ධන, ගාමිණී ගුණවර්ධන සමඟ, අක්කර පහ, නිධානය, වීර පුරන් අප්පු, ) මේ අතර කැපී පෙනේ. පිලිප් කුරේ, ඒ.ජේ.ගුණවර්ධන, ටෝනි රණසිංහ ආදීන් ද ලෙස්ටර්ගේ තිරරචනාකරුවෝ වෙත්. මර්සලීනු ජයකොඩි පියනම, අරීසෙන් අහුබුදු, මහගම සේකර , සුනිල් ආරියරත්න වැනි ගේය පද රචකයෝ ද, ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණ කාර්යයෙහි දායකත්වය දැරූවෝ වෙත්.

නළුවරණයෙහිදී (Casting ) ඔහු චරිත සඳහා උචිතම නළු නිළියෝ තෝරා ගනී. අයිරාංගනී සේරසිංහ, වින්ස්ටන් සේරසිංහ, ගාමිණී මාලිනී, ටෝනි , ස්විනීතා, පුණ්‍යා, හෙන්රි, අනුලා, වික්‍රම බෝගොඩ, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, විජය කුමාරතුංග, වසන්ති චතුරාණි, ගීතා කුමාරසිංහ, අජිත් ජිනදාස, දයා අල්විස්, ඩී.ආර්. නානායක්කාර, නදීකා ගුණසේකර, සනත් ගුණතිලක, රිචර්ඩ් ද සොයිසා, ඩග්ලස් රණසිංහ, වික්‍රම බෝගොඩ, එල්සන් දිවිතුරගම, නවනන්දන විජේසිංහ ලෙස්ටර්ගේ නළුවරණයෙහි අපූර්ව තෝරාගැනීම් කිහිපයකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු මෙරට කලා ක්ෂේත්‍රයෙහි විශේෂයෙන්ම සිනමාවෙහි වනස්පතියයි. එතෙර දී සිනමාව පිළිබඳ පුහුණුව ලබන ඔහු මෙතෙර දී රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස අත්දැකීම් ලබා මහා සිනමාවට පිවිස අපගේ සිනමාව මේ කොදෙව්වෙන් එතෙරට රැගෙන යාමේ අභීත පියවර ගත් පළමු සෙන්පතියා වන්නේය.

පරපුර දෙකකට මග පෙන්වූ පහන් ටැඹ වන්නේය. ලයනල් වෙන්ඩ්ට්, ජෝර්ජ් කීට් වැනි කීර්තිමත් කලාකරුවන්ගේ සමාගමයෙහි තම ඥානය හා විෂය දැනුම පුළුල් කර ගත් මහා සිනමාවේදියා වන්නේය. දේශීයව රාජ්‍ය විසින් පුරවැසියකුට පිරිනමනු ලබන සියලු විශිෂ්ට ගෞරව නාමයෙන් පුදනු ලැබූ ශ්‍රේෂ්ඨයා වන්නේය. ආසියානු කලාපයේ සත්‍යජිත් රායි, අකිර කුරොසාවා මතු නොව ලෝක සිනමාවෙහි දැවන්තයන් සමඟ ද සම අසුන් ගැනීමට සමත් වූ විශිෂ්ටතමයා වන්නේය. ඔබ ඔබේ යුතුකම හමාර කොට දිවි ගමනෙහි ගමනාන්තය සොයා ගොස් හමාරය. ඔබ සෙවණෙහි ගුරුහරුකම් ලද තුන්වන නව පරපුර ඔබ නැවැත්වූ තැන් සිට අපගේ සිනමාව අරඹනු, ඔබ කොහේ සිට හෝ බලා සිටිනු ඇත. ඔබට සුබ රාත්‍රියක් අපගේ මහා සිනමා ප්‍රාඥයාණෙනි.

 

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න