අප්‍රේල් 5දා ඇරැඹි කැරැල්ල | දිනමිණ

අප්‍රේල් 5දා ඇරැඹි කැරැල්ල

අප්‍රේල් කැරැල්ල ආරම්භවන්නේ අප්‍රේල් 5 වන දිනක ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් උපත ලබන්නේ ද අප්‍රේල් 5 වන දිනක ය. ලෙස්ටර් උපත ලබන්නේ 1919 අප්‍රේල් 5 වනදා ය. ලංකාවේ මුල් ම තරුණ කැරැල්ල හටගන්නේ 1971 අප්‍රේල් 5 වනදා ය. ලෙස්ටර් ද එක්තරා ආකාරයකට කැරලි ගැසූවෙකි. ඔහු කැරලි ගැසුවේ තරුණ ප්‍රශ්න අරභයා නො වේ. ඒකාකාරී ලාංකීය සිනමාව නව මගකට යොමු කිරීම වෙනුවෙනි.

1956 දී රේඛාව නිර්මාණය කිරීම ම එක්තරා කැරැල්ලකි. 1947 ජනවාරි 21 වැනිදා තිරගත වූ එස්. එම්. නායගම්ගේ (චිත්‍රකලා මුවිටෝන්) ‘කඩවුණු පොරොන්දුව’ සිනමා පටයේ සිට අවුරුදු දහයකට ආසන්න කාලයක් තිරගත වී තිබුණේ දකුණ ඉන්දීය මුහුණුවර තදින් කාවැදුණු ඒකාකාරී චිත්‍රපට වැලකි. ඒ සියල්ල ම රූගත වී තිබුණේ චිත්‍රාගාර තුළ ය. රුක්මණී දේවී, ක්ලැරිස් ද සිල්වා වැනි නිළියන්ගේ රූපමය සෞන්දර්ය මෙන් ම සිංහල ගම ද දකුණු ඉන්දීය චිත්‍රාගාර තුළ නිරූපණය වී තිබිණි. සිංහල සිනමා පටවල අපේ නළු නිළියන් අන්දවා තිබුණේ ද දකුණු ඉන්දීය නළු නිළියන්ගේ අනු රූ විලසිනි. ලෙස්ටර් සිය කැරැල්ල අරඹන්නේ මෙකියන ඕලාරික සිනමා රටාවට එරෙහිව ය. සිය තුරුණු වියේ එංගලන්තයේ ජීවත්වන අතර, Soliloquy (සොලිලොකියු) සහ Farewell to childhood (ෆෙයාවෙල් ටු චයිල්ඩ්හුඩ්) යන කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම තුළින් ඔහු ඒ සඳහා ඇවැසි පරිචය ලබාගෙන තිබිණි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාවේ දී එතෙක් චිත්‍රාගාරය තුළ සිරගතව තිබූ කැමරාව එළිමහනට රැගෙන ගියේ ය. ඔහු රජයේ චිත්‍රපට අංශයේ සේවය කරන විට එකට සේවය කළ ටයිටස් තොටවත්ත (සංස්කරණ ශිල්පි) සහ විලී බ්ලේක් (කැමරා ශිල්පි) රේඛාව සඳහා හවුල් කරගත්තේ ය. රූගත කරන අතර ම හඬ පටිගත කිරීම ද සිදු කළ බැවින් හඬ පටිගත කරන විට කරව් කළ කපුටන් එළවන්නට රතිඤ්ඤා සඳහා සෑහෙන මුදලක් වියදම් වූයේ ලු.

අලුත් අත්දැකීමක් මත සාම්ප්‍රදායික දකුණු ඉන්දීය ක්‍රමවේදයෙන් බැහැරව අලුත් පන්නයේ කෘතියක් කළ ලෙස්ටර්ට අභියෝග රැසකට මුහුණපාන්නට සිදුවිය. රේඛාව නැරඹූ මිනිස්සු “ මේ චිත්‍රපටය හදන්නට වියදම් කළ සල්ලිවලින් කපුටන්ට ආප්ප අරන් දුන්න නම් හොඳයි.” කියා බැණ වදිමින් ආපසු ගියෝ ලු. චිත්‍රපටයට වැය කළ මුදල් පියවාගත නොහැකිව පාඩු සිදුවී ඇත. පාඩු ලැබෙන චිත්‍රපට තනන අධ්‍යක්ෂවරුන්ට නැවත චිත්‍රපට සඳහා වියදම් කරන්නට නිෂ්පාදකයෝ කැමති නොවෙත්. ඉතින් ලෙස්ටර්ට ද ඊළඟ සිනමා පටය නිර්මාණය කරන්නට නිෂ්පාදකයකු ලැබෙන තුරු අවුරුදු හතරක් පමණ බලා සිටින්නට සිදුවිය.

දේශීය විචාරක පරපුරේ ඇත්තන් වෙතින් ද රේඛාවට සාධාරණයක් ඉටු වීද යන්න සැකයකි. ප්‍රධානතම විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ ද රේඛාව පිළිබඳ ලිවීමෙන් වැළකී සිටියේ ය. (කසිකබල් සිනමාපට එකක් නෑර විවේචනය කළ ජයවිලාල් සිංහල සිනමාවේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කළ රේඛාව හා ගම්පෙරළිය පිළිබඳ විචාර ලිවීමෙන් වැළකී සිටි බව ගුණසිරි සිල්වා පවසයි. බලන්න, ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක් - ගුණසිරි සිල්වා පිට 41) ලොකුම ගෝරිය ඇද්දේ එවකට පැවති බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක ය. දහනායක රේඛාව තහනම් කළ යුතු චිත්‍රපටයක් යයි ප්‍රකාශ කළේ ය. ‘දහනායකට දේශපාලනේ මිසක් මොන සිනමා විචාර ද?’ ඇතැමකු ප්‍රශ්න කරන්නට පිළිවන. රේඛාවේ පෙන්වන පන්සල් නැති ගම, ගමේ දුදන හා කපට චරිත ආදිය දේශපාලනයේ ද දායකත්වයෙන් මැවෙන පිරිසිදු ගම පිළිබඳ සංකල්පයට අතිශයින් හානිකර බව දහනායකගේ කූට දේශපාලන ඉවට වැටහෙන්නට ඇත.

එහෙත් විදේශීය ආකර්ෂණය රේඛාවට නොමඳව ලැබුණේ ය. එයට කාන්ස් උළෙල සඳහා ඇරයුම් ලැබිණි. විදෙස් සිනමා විචාරකයන්ගේ ඇගයුමට පැසසුමට ලක්විණි. සිංහලෙන් කතා කරමින් දකුණු ඉන්දියානු සිනමාවට තවත් භාෂාවක් එක් කළ ලාංකීය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය සේ එදා මෙදා තුර සම්භාවනාවට පත් වූයේ රේඛාව ය.

සිනමාස් සමාගමට දස වසරක් පිරීම නිමිත්තෙන් ලෙස්ටර්ට චිත්‍රපටයක් කරන්නැයි ඇරයුම් කළේ සිනමාස් අධිපති කේ. ගුණරත්නම් ය. ගුණරත්නම් මෙම ඉල්ලීම කළේ රේඛාව නරඹා ඊට රහ වැටී සිටි හින්දි සිනමාවේ මහා නළුවකු වූ රාජ් කපූර්ගේ ඉල්ලීමක් අනුව යයි කියැවෙන කතාවක් මා අසා තිබේ. ලෙස්ටර් අවසන් ගමන් ගිය චිතකය සන්දේශය වෙනුවෙන් ඉදිකළ, පසුව ඒ වෙනුවෙන් ම පුපුරුවා හරින ලද බලකොටුවේ හැඩයට තනා තිබිණ. යෝධ පසුතල ඉදිකොට, ජනප්‍රිය වූ ගීත සහිතව (පෘතුගීසිකාරයා, රැජින මමයි, කටේ කිරි සුවඳ වැනි), සටන් සහිතව නිර්මාණය වූ සන්දේශය නිෂ්පාදකයන්ගේ ලාභ තීරුව වැඩි කළ වාණිජ්‍යමය වශයෙන් සාර්ථක සිනමා කෘතියක් විය. ලෙස්ටර්ට එවැනි සිනමා කෘතියක් බිහිකිරීමේ අවශ්‍යතාවක් ද තිබෙන්නට ඇත. ඉදිරියේ දී නිෂ්පාදකයන් සොයා ගැනීම පිළිබඳ ගැටලුවට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔහුට ලැබෙන්නට ඇත.

ගම් පෙරළිය ලෙස්ටර්ට ඉමහත් අවධානයක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සිනමා පටයයි. එය 1965 නවදිල්ලි සිනමා උළෙලේ දී හොඳම සිනමා කෘතිය වෙනුවෙන් ලැබෙන ‘රණමයුර’ සම්මානය දිනා ගනිමින් ලංකාවට ජාත්‍යන්තර ගෞරවය ගෙනා සිනමා කෘතිය බවට පත්විය. (මෙම ලිපිය ලියමින් සිටින අතර ආගමික වතාවත් ඉටුකරන අවස්ථාවේ දී ද නිවසේ තිබුණු රණමයුර පදක්කම අස්ථානගතව ඇති බව දැක්වෙන පුවතක් කෙටි පණිවිඩ සේවා ඔස්සේ ජංගම දුරකථනයට ලැබිණ. පුදුම විය යුතු නැත. මහා පුරුෂයකුගේ අවමඟුල් අවස්ථාවේ වුව ඔහු සතුව තිබූ දෑ පැහැරගන්නට ලාංකිකයෝ හපන්නු ය.) ගම්පෙරළිය රූගත කිරීමේ දී සිදුවූ ඇතැම් සිද්ධි ලෙස්ටර්ගේ නිවැරදි නිෂ්පාදන තීරණ ගැනීමේ හැකියාව පෙන්වයි. ජිනදාස ළමාහේවාගේ චරිතයට ගාමිණී ෆොන්සේකා තෝරා ගත් බව ඇසූ මාර්ටින් වික්‍රමසිංහ ලෙස්ටර්ගේ තීරණයට එරෙහි විය. “ ගාමිණී වීර චරිත රඟපාන නළුවෙක්. මගේ ජිනදාස කෙට්ටු මිනිහෙක්. ඒ චරිතෙට ගාමිණී ගැළපෙන්නේ නෑ.” මාර්ටින් වික්‍රමසිංහ දැඩි හඬින් ලෙස්ටර්ට කියා ඇත. “ මිස්ටර් වික්‍රමසිංහ කලබල වෙන්න එපා. ගාමිණී ඒ චරිතෙ කරයි.” ලෙස්ටර් සන්සුන් හඬින් මාර්ටින් වික්‍රමසිංහට කියා ඇත. ගම්පෙරළියේ මංගල දර්ශනය දවසේ සිනමා පටය නැරඹූ මාර්ටින් වික්‍රමසිංහ ගාමිණීගේ අත දැඩිව ගනිමින් ගාමිණී ෆොන්සේකාට ප්‍රශංසා කළේ ඉතා විශිෂ්ට අයුරින් ජිනදාසගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව ය.

‘දෙලොවක් අතර’ හැටේ දශකයේ මැද භාගයේ නිර්මාණය වූයේ වුව ද එය අසූවේ දශකයේ දී වත් තනන්නට ඇතැයි එක්වනම සිතෙන ඉදිරිගාමී සිනමා කෘතියකි. ‘ගොළු හදවත’ සිනමා කෘතිය ජයලත්ගේ නවකතාවට වඩා ඉදිරියෙන් තිබිණි. ඔහුගේ ‘ගෝඩ් කිං’ ඉංගිරිසි සිනමා පටය මා නැරඹූවේ මගේ පාසල් වියේදී ය. එහි ‘ලේ ලෝසන්’ නම් බටහිර නළුවෙක් සීගිරි කාශ්‍යප චරිතය නිරූපණය කළ අතර, ජෝ අබේවික්‍රම තාපසයකුගේ චරිතයක් නිරූපණය කළේ ය. ජී. බී. සේනානායකගේ එනමින් ම යුතු කුඩා කෙටිකතාව පාදක කරගනිමින් නිර්මාණය වූ ‘නිධානය’ ලෝකයේ හොඳම සිනමා කෘති අතරට එකතු විය.

ලෙස්ටර් ගැන බොහෝ දේ ලිවිය හැක. මේ ඔහු අරභයා බොහෝ දේ ලියැවෙන වෙලාවකි. ඔහු පනහ දශකයේ දී ආසියාවෙන් සිනමාවට එක් වූ පතාක යෝධයන් තිදෙනාගෙන් එක් අයෙකි. සත්‍යජිත් රායි හා අකිර කුරසෝවා අනෙක් දෙදෙනා ය. එසේම සිය ශතකයකට එකක් අඩු දිවිසැරිය පුරා සම්මානයෙන් සම්මානයට පත් මහා පුරුෂයා ය. තමන්ගෙන් පසු පරපුර දෙස දයා ඇසින් බැලූ දයාබර පූර්වගාමියා ය. තව බොහෝ කලක් ගතවන තුරු ඔහුගේ කලාකෘති ඇගැයෙනු ඇත. ඔහුට සුවබර රැයක්.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

Or log in with...