හැම තැනම මයිනෝ | දිනමිණ

හැම තැනම මයිනෝ

කෝඩෝ යනු, උතුරු ඉරාකයේ සින්ජාර් පළාතේ පිහිටි කුඩා සුන්දර, නිස්කලංක ගම්මානයකි. එහි ජීවත්වූයේ යැසිඩිස් (Yazidis) නමැති පුරාණ ජනවර්ගයකි. 2014 අගෝස්තුවේ එක් දිනයෙක, අයි. එස්. අයි. එස්. සන්නද්ධ භට පිරිසක් එහි කඩාවැදුණහ. මුළු ගමම භීතියෙන් සලිතව ගියහ. යසිඩිස්වරුන් අදහන්නේ, ඉස්ලාම් ආගමට වෙනස්, වෙනත් පැරණි ධර්මයකි.

ගමට කඩාවැදුණු අයි. එස්. අයි. එස්. භටයෝ යසිඩිස්වරුනට ඉස්ලාම් ආගම වැලඳ ගැනීම හෝ මරණය තෝරාගන්නා ලෙසට තර්ජනය කළහ.

නාඩියා මුරාඩ් (Nadia Murad) මෙගම සිටි 21 හැවිරිදි තරුණියකි. ඉතිහාසයට ප්‍රිය කළ ඇය එම විෂය උගන්වන ගුරුවරියක වීමටත්, රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යාමටත් ආශාවෙන් සිටියාය.

ඒ බියකරු දවසේ නාඩියාගේ සියලු සිහින බිඳ වැටුණි. ඇගේ සො‍හොයුරන් නවදෙනාගෙන් සයදෙනෙකුම, එක තැන වෙඩි තබා ඝාතනය කෙරුණි. මවට ද අත්වූයේ එම ඉරණමමය. නාඩියා සහ සොහොයුරියන් දෙදෙනා අයි. එස්. භටයන්ගේ ලිංගික වහලියන් ලෙස රැගෙන යනු ලැබුණි. තෝඩෝ ගම්මානයේ සිටි, මරා නොදැමුණු සියලු කතුන්ට අත්වූයේ එම ඉරණමයි. ඇතැම් මහලු කතුන් පණපිටින්ම වළ දැමුණි.

පළමු රැයේදීම නාඩියා වෙත පැමිණෙන්නේ වයසින් බොහෝ වැඩිමල් උස මහත පිරිමියෙකි. එය ඉතා දරුණු, වේදනාත්මක දූෂණයක් විය. “ඔහු ඉතා බියකරු භූතයෙක්“ ඇය පසුව සඳහන් කළාය.

අනාථ පවුල් දහසකින් යුත් කඳවුරක දිවිගෙවන්නට වූ නාඩියාට දිනපතාම විවිධ පිරිමින්ට ගොදුරුවන්නට සිදුවිය. ඇය දන්නා හඳුනන ඇතැම් බාල ගැහැනු ළමයින්, අයි. එස්. භටයන් විසින් තම මිතුරන්ට ‘තෑගි‘ ‍කළ අයුරු නාඩියා දුටුවාය.

නාඩියාව රැගෙන ගිය තැනක, නිවසේ ඉදිරිපස දොර අගුළු දාන්නට අමතකව ඇති බව දුටු ඇය, ඉන් පලා ගියාය. ඇයට වාසනාවකට මෙන්, නසාර් නමැති සුන්නි මුස්ලිම් ජාතිකයකු හමුවේ. ඔහු තම ජීවිතය පරදුවට තබමින්, ඇය කුර්දිස්ථානයට කැඳවාගෙන යාමට එකඟ වෙයි. නාඩියා ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටිය යුතුය.

එහෙත් එක් අවස්ථාවක කුර්දි හමුදා නිලධාරියෝ ඔවුන් දෙදෙනාගේ ‘ගැළවීමේ කතාව‘ කැමරාවක් හමුවේ කියන්නැයි බලකරනුයේ එය අන් කිසිවකුටවත් නොපෙන්වන බවට පොරොන්දු වෙමිනි. කුර්දි ජාතික පෙෂ්මෙගා නම් සන්නද්ධ කණ්ඩායම පිළිබඳ විස්තර දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. නසාර් තමන් දත් සියල්ල හෙළි කරයි. එහෙත් නිලධාරීහු නසාර්ගේ ජීවිතය අවදානමට ලක් කරමින්, තම පොරොන්දු කඩ කරති. එදිනම රාත්‍රියේ එය ප්‍රවෘත්ති ප්‍රචාරයට එක් කෙරෙයි.

මෙතැන් සිට තවත් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණපෑමට නාඩියාට සිදුවෙයි.

පලස්තීන හෝ සිරියානු කුඩා ළමයින්, හඬා වැළපෙමින් තමන්ට පිළිසරණ වෙමින් ආයාචනය කරන, හද කම්පාකරවන දර්ශන අපට ෆේස්බුක් හෝ යූ ටියුබ් මඟින් දක්නට ලැබෙයි. එහෙත් සවුදිය පුරමින් ප්‍රිය සාද, සමුළු පවත්වන ලෝක නායකයන් හමුවේ ඒවා බීරි අලින්ට වීණා වැයීම් බඳුය.

අයි. එස්. අයි. එස්. කෲරත්වය විසින් සමූල ඝාතනයට ලක්කෙරෙන, තම සුළු ජනවර්ගය හා ආගම වෙනුවෙන් හඬක් නැඟීමට නාඩියාට අවශ්‍ය විය. පසුගිය දෙවසර පුරා ඇය ඒ සඳහා කැපව විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටී, ලෙබනන - බ්‍රිතාන්‍ය නීතිවේදිනියක වන අමාල් ක්ලූනී, ඇයට සහාය වන්නීය.

නාඩියා ලෝකයේ විවිධ ප්‍රබල පුද්ගලයන් හමුව තම ජාතියට අත්ව තිබෙන ශෝකජනක ඉරණම කියා පෑවාය. පාප්තුමා, කැනේඩියානු අගමැති, ජෝර්ජියාවේ රැජන සහ අමෙරිකානු තානාපතිවරු ද ඒ අතර වූහ. එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු ලේකම්වර බෑං කීං මූන් ඇගේ කතාව දරාගත නොහැකිව හඬා වැටුණේය. “මා හැඬුවේ ඇය විඳ තිබූ දුක් කන්දරාව ගැන නිසාම නොව, ඒ සියල්ල දරා සිටින්නට ඇය තුළ ඉතිරිව තිබෙන ශක්තිය හා ධෛර්ය දැකීමෙන්“ යැයි ඔහු පසුව කියා තිබුණි.

නාඩියා මුරාඩ් ගේ ශෝක වෘත්තාන්තය, ලොව පුරා කතිකාවට ලක්වන්නට පටන් ගන්නේ, ඇය තම මතක සටහන් “The Last Girl: My Story of Captivity and My fight Against the Islamic State“ නමැති කෘතිය ලෙසින් ප්‍රකාශයට පත්වීමත් සමඟිනි. එය රචනා කිරීමට ඇයට සහාය වූයේ ඉස්තාන්බූල්හි සිට ක්‍රියාකාරී වන මාධ්‍යවේදිනියක වන ජෙනා ක්‍රාජෙස්කිය. ඇය, තුර්කියේ සහ ඉරාකයේ වෙසෙන කුර්දි සුළු ජනවර්ග පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන්නියක ලෙස ප්‍රකටය.

තම කෘතියට ‘ද ලාස්ට් ගර්ල්‘ යන නම යෙදීම පිළිබඳව නාඩියා මුරාඩ් මෙසේ පවසයි.

“මෙබඳු දුක්බර කතාවක් තිබෙන, අවසාන ගැහැනු ළමයා වීමට මට අවශ්‍යයි“ කුර්ති හමුදා නිලධාරීන් නසාර්ගේ හා තමාගේ කතාව පටිගතකර ප්‍රවෘත්ති ප්‍රචාරයට එක්කිරීමේ සිද්ධිය පිළිබඳව ඇය පවසන්නේ මෙසේය. “එය මගේ ජීවිතය පිළිබඳ ශෝකය හා වේදනාව පිරුණු කතාවක්. එහෙත් සමහරුන්ට එය දේශපාලනික උපකරණයක්.“

නාඩියාගේ කෘතිය පිළිබඳව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පතට විචාරයක් ලියූ ඇනා ඩෙලා සුබින් එහි සිරස්තලය ලෙස යෙදුවේ ‘ස්ත්‍රී දූෂණය යුද අවියක් වූ කල‘ යනුවෙනි.

දැන් 24 හැවිරිදි නාඩියා මුරාඩ්, පදිංචිව සිටින්නේ ජර්මනියේය. 2016 දී ලොවට බලපෑම් ඇතිකළ හැකි විශේෂ පුද්ගලයන් 100 දෙනාගේ නාමාවලියට නාඩියා මුරාඩ් ද ඇතුළත් කිරීමට ‘ටයිම්‘ සඟරාව තීරණය කළේය. ඇයව නොබෙල් සාම ත්‍යාගයට ද නිර්දේශ කෙරුණි. එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ෂක සංවිධාන සමුළුවක්ද ඇමතූ නාඩියා, තම ජනවර්ගයට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටියාය. “මට ආපසු ජීවිතය ලැබෙන්නේ මගේ ජනතාවට ආපහු ගම්බිම් ලැබුණට පස්සෙ. ඔවුන්ට කළ අපරාධවලට වගකිවයුතු අයට නිසි දඬුවම් ලබාදිය යුතුමයි.“

චෙක් රාජ්‍යය ද, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට පිදෙන චැක්ලාව් හවෙල් සම්මානයෙන් ඇයට උපහාර දැක්වීය. එ. ජා. සංගමය ඇයට මිත්‍රත්ව තානාපති ධුරයක් ද පිරිනැමීය. පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් යසිඩිස් ජන ඝාතනය පිළිබඳව ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පිහිටුවීම, නාඩියා නමැති දිරිමත් තරුණියගේ අනවරත ව්‍යායාමයේ ප්‍රතිඵලයකි. 2017 ජූනි 7දා තෙවසරකට පසු ඇයට තම උපන් ගම කෝචෝ වෙත යාමට ද අවස්ථාවක් ලැබුණි. ඇය ඉතිරිව සිටින තම නෑසියන් දැක හඬා වැළපුණාය. කෙසේ වෙතත් සියල්ල නිමා වී නැත. තවමත් තැන තැන සිදුවෙමින් පවතී. යුක්තිය යනු විවිධ පාර්ශ්වයනට විවිධ අර්ථ සපයන සංකල්පයකි. එසේම, එක් ආගමක්, තවත් ආගමක අන්තවාදීන්ට පෙනෙන්නේ යක්ෂයා වන්දනයක් ලෙසිනි. එහෙයින්, ඔවුහු එය වනසා දැමීම පුණ්‍යකර්මයක් හෝ ආගමික යුතුකමක් ලෙස සලකති.

නාඩියාගේ ‘අවසන් ගැහැනු ළමයා‘ අප ජීවත්වන නූතන ලෝකයේ එක් අඳුරු පැතිකඩක් පිළිබඳ ජීවමාන රූප පෙළක් බඳුය. ඇගේ අපේක්ෂාව කෙසේ වෙතත්, අනාගතයේදීත්, ලොව තව තවත් මෙබඳු ඛේදවාචක සිදුවනු ඇත. එය වළක්වාලීම සඳහා ලෝක නායකයන්ට කිසිදු වැඩපිළිවෙළක් හෝ සැබෑ අවශ්‍යතාවක් නැත. ඔවුන් කරන්නේ කලින් සාදා දෙන න්‍යාය පත්‍රවලට අනුව පඹයන් මෙන් ඒ මේ අත වැනීම පමණි. නාඩියාලා තවත් ලක්ෂ ගණනක් දූෂණය කොට මරා දැමුවත්, ඔවුනට කළ හැකි කිසිවක් නැත. මහලු බෑං කි මූං ගේ ආසියානු දුක් කඳුළු, නිෂ්ඵල ව්‍යාජයක් බවට පත්වන්නේ ද එහෙයිනි.

ඇනා ඩෙලා සුබින්, ඇගේ ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ ලිපිය නිමා කරමින් මෙසේ අසයි.

“අප මේ සිදුකර ඇත්තේ කුමක් ද?

දැන් අප කළ යුත්තේ කුමක් ද?“

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...