දෙන - ගන්න දන්සල් | දිනමිණ

දෙන - ගන්න දන්සල්

ගෙවී ගිය වෙසක් සතියේ හැමතැනම දන්සල්. අපේ පෙට්ටි කඩේ ජෙමාටත් පාන් දන්සලක් දෙන්න හිතිලා. මනුස්සයගෙ වියදමින් පාන්. වටේ පිටේ යාළුවන්ගෙ වියදමෙන් පරිප්පුයි, සීනි සම්බලයි හැදුණා. පෙට්ටිකඩේට එක් රොක්වෙන හත් අට දෙනා උදව්වට සෙට්වුණා. මාත් පැත්තකින් පොඩි පහේ තල්ලුවක් දුන්නා. පොඩිඑකා හවස ගෙදර ඇවිත් අම්මට ඇහෙන්න මෙහෙම කියනවා.

“පුදුම දන්සල් තොගයක්. මිනිස්සු පොරකකා වටේ. හංදියේ පෙට්ටික‍ඩේ ළඟත් සෙනඟ. එතන යන එන වාහන බ්ලොක් වෙලා මාර වදයක්.“

“එහෙම තමා මිනිස්සු. ඕක මේ සැරේ විතරක් වෙච්චි දෙයක්යැ. වෙසක් කාලෙට ඔහොම වෙන බව හැමෝම දන්නවා. හදිසි ගමන් තියනෙ අය දන්සල් පාරවල් මගෑරලා කෙටි පාරවල්වලින් යනවා“ මායියා කියනවා.

“ඒ වුණාට ඒක මාර කරදරයක්නෙ. අනික පිං කරන්න ඔහොම. පිස්සු?“

“මේක ඉතිං අවුරුද්දකට සැරයයිනෙ. දැන් ඔය උඹලා පාරවල් වහගෙන මාසෙකට දෙතුන් පාරක් කොළඹ පෙළපාලි යනකොට මිනිස්සුන්ට කරදර නැද්ද?“ මාත් නිකම් පැත්තකින් කට දැම්මා.

“ඒ ඉතිං නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්නෙ. හැමෝටම පොදුනෙ?“ පොඩි එකා කියනවා.

“මේ ඉතිං සිංහල-බෞද්ධ සංස්කෘතියනේ. හැමෝටම පොදුයිනේ“ මමත් කීවා.

“ඔන්න ඉතිං පොඩිඑකා එක්ක රණ්ඩු අල්ලන්න පටන් ගත්තා.“ හැමදාමත් වගේ මායියා මැද්දට පැනලා පොඩිඑකාගෙ පැත්ත අරන් මාව නිදහස් කළා. පොඩිඑකත්, බලු පැටවෙක් වගේ කීකරුව අම්මගෙ පස්සෙන් වැටිලා කුස්සියට ගියා. මං එළියේ කාමරයට ආවා.

'දුගී මගී යාචකයන්ට දන්දීම' කියන කාරණය බෞද්ධාගම තුළ ප්‍රමුඛ අදහසක් හා ධර්ම කරුණක් බව ඇත්ත. ඒක 'පිං රැස් කිරීම' කියන සංකල්පය එක්ක බැඳී තියෙන බවත් ඇත්ත. එහෙත් වෙසක්, පොසොන් පො‍හොයවල් කේන්ද්‍ර කරගත් 'දන්සල් දීම' කියන්නේ මේ ධර්ම කාරණය එක්ක හෝ අරමුණ එක්ක බැඳිච්චි කාරණයක් නෙවෙයි. ඒක විනෝදාස්වාදය එක්ක සහසම්බන්ධ සංස්කෘතිකාංගයක් විතරයි. වෙනත් විදිහකට කිවහොත් කවුරුවත් දන්සල් දෙන්නෙ පිං බලාගෙන නෙවෙයි. දන්සල්වලින් කන්න බොන්න පෝලිම් හැදෙන්නෙත් දුගී, මගී, යාචක ආදීන් නෙවෙයි. එකම විනෝදායන සංස්කෘතිකාංගයක කොටස්කාරයෝ. එදිනෙදා ජීවිතයේ ඒකාකාරී බවින් හෙම්බත්වෙලා, තමන්ගෙම අල්ලපු වැටේ එකා එක්කවත් හරිහමන් සම්බන්ධයක් හැදිලා නැති අයට මුහුවෙන්න හොඳ අවස්ථාවක්. ඕපදූපයක් කියවන ගමන්, විහිළු තහළුවකින් හිත සැහැල්ලු කරගන්නත්, තමන්ගේ අනනන්‍යතාව අනිකා ඉදිරිපිට තහවුරු කරන්නත් මේ වගේ අවස්ථා වටිනවා. ඒ වටිනාකම පැහැර හරින්න හොඳ නෑ. මට නම් 'දන්සල් සංස්කෘතිය' වටින්නේ ඒ අර්ථයෙන්. ඒකෙන් පිං හම්බවෙනවද? ඒක කරන්නෙ භක්තියෙන් නෙවෙයිද? මෝස්තරයටද දන් දෙන්නේ? වගේ කාරණා එතනදී අදාළ වෙන්නෙ නෑ.

“ඩොහ්.. ඩොහ්.ඩොහ්“දොරට තට්ටු කරන සද්දයක්. මං කාමරයෙන් එළියට ඇවිත් බැලුවා. අල්ලපු ගෙදර කාන්ති නංගී ඇවිත්.

“ආ අයියත් ගෙදර ඉන්නවා. අපි මේ දන්සලකට යන්න කියලා කෝ අක්කා..?“ කියාගෙනම එයා කඩාගෙන බිඳගෙන කුස්සියට ගියා. ටික වෙලාවකින් එයත් එක්කම මායියත් ලක ලෑස්තිවෙලා ආවා.

“මමත් කාන්ති නංගිලා එක්ක ටිකක් එළියට ගිහින් එන්නම්“ මායියා එහෙම කියාගෙනම එළියට බැස්සා. මොකද මගෙන් තහංචි නැති බව එයා කොහොමත් දන්නවා. ඒ නිසාම කියන්නේ අවසර ගන්න නෙවෙයි. දැනුම් දෙන්න විතරයි.

“පොඩි එකත් එක්කන් ගියොත් නරකද?“ මං හෙමින් ඇහුවා.

“එයා ඉතිං ඉලන්දාරියෙක් නොවැ. යනවනම් යයි“ මායියා ඒ ගැන වැඩි කතා බහක් නොදක්වාම කාන්තිත් එක්ක හුරේ දාගෙන මිදුල දිගේ ඇවිදගෙන ගියා.

“මං දන්සල ළඟට යනව තමයි. මිලින්දිගෙන් ගන්න පොත් වගයක් තියෙනවා. එයා ඒවා දන්සල ළඟට ගෙනත් දෙනවා කීවා. ඒක ගන්න යනවා. ඒත් දන්සල් කෑම කන්න බොන්න නම් යන්නෙ නෑ“ පොඩි එකා ගේ ඇතුළේ ඉඳන් කියනවා.

“ඒකම තමා මාත් කියන්නෙ. දන්සල් කියන්නෙ කන්න බොන්න දෙන තැනක් විතරක් නෙවෙයි කියලා“ මං කීවා. පොඩි එකා, ඒකට මොකුත් කීවෙ නෑ. හාත්පස මොහොතකට නිහඬවුණා. ටික වෙලාවකට පස්සෙ 'ඩ්‍රීං ඩ්‍රීංං.' ගාන සද්දය මිදුල පැත්තෙන් ඇහුණා. මං ජනේලෙන් මිදුල දිහා බැලුවා. මිදුලේ වටයක් කැරකුණු පොඩි එකාගෙ මෝටර් බයිසිකලය පාර පැත්තට ඉගිළුණා.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...