වෙසක් කූඩු‍වයි පුංචි දූප­තයි | දිනමිණ

වෙසක් කූඩු‍වයි පුංචි දූප­තයි

බක්මහ වැස්සට වඩා ඉවසිය නොහැක්කේ බක්මහ අකුණු ය. අකුණ ඇතැම් විට මිනිස් ජීවිත පවා බිලිගනී. ස්වභාවික උවදුරුවලට මුහුණදීම පිළිබඳව අපේ උදවිය මීට වඩා දැනුවත් කළ යුතු බව බොහෝ ව්‍යසන පසක් කර දෙයි.

“සරුංගල් ගැන නම් හිතන්නවත් බෑනෙ අම්මෙ...“ නිවුන් පුතුන් බැරෑරුම් මුහුණින් සාකච්ඡාව අරඹති.

“ඔව් ඉතිං... අවුරුදු ඉවර වෙනවත් එක්කම වෙසක්. අනිත් එක හුළඟත් නෑනේ. වහිනවනෙ අකුණු ගහ ගහ සැරින් සැරේ“

මෙවර වෙසක් ප්‍රීතියට බාධා කරන සියල්ල මම හකුලා කීවෙමි.

කොල්ලන්ගේ මුහුණු දොම්නසින් අඳුරු වෙයි.

“මොනා කරන්නද දරුවනේ. ඕව ඔහොම තමා. අපි හිතන දේවල් ඒ විදියටම සිද්ධ වෙන්නෙ නෑනේ...“ යි මම ඔවුන් අස්වසන්නට තැත් කළෙමි.

“හරි ඉතිං... ඒ වුණාට වෙසක් කූඩු හදන්න පුළුවන්නෙ“ ඔවුන් බලාපොරොත්තු මුළුමනින්ම අත්හැර නොමැති වග ඒ වචන කියාපායි.

“ඔව්. මිදුලෙ එල්ලන්න බෑ... අපි ඉස්තෝප්පුවේ එල්ලමු“ යි කී මම මඳක් කල්පනා කළෙමි.

“හැබැයි ඉතිං අවුරුදු ඉවර වුණ හැටියෙ නිසා මා ළඟ සල්ලි නෑනේ...“ යි මම ඇත්තම කීවෙමි.

“එතකොට අපි මේ වෙසක් එකට වන්දනාවෙ යන්නෙත් නැද්ද?“ බඩපිස්සා ශෝකී හඬින් ඇසුවේය.

“අපි පොසොන් එකට යමු“

“පොසොන් එකට යන්න බෑනෙ අම්මා. අපේ ගමේ බත් දන්සල තියෙනවනේ...“ පුංචි පුතා මට අමතක වූ යමක් මතක් කළේය.

“හරි ඉතිං.... අපි පොසොන් දවසට පහුවෙනිදා යමු.“

“ඔය ඇත්තමද?“ යි අසන්නාක් මෙන් එක්බඳු කොල්ලන් දෙදෙනා මා දෙස බලාගත්වනම සිටිති.

“මම වෙසක් එකට වන්දනාවෙ යන්න පොරොන්දු වුණේ නෑනේ... ඉතිං ඒ නිසා පොරොන්දු කඩකරපු දේශපාලකයෙක් දිහා ජනතාව බලන විදියට මගෙ දිහා බලා ඉන්න එපා...“ යි මම බැගෑපත් වීමි.

“එතකොට මේ සැරේ අපි වෙසක් කූඩු හදනවා විතරද?“ මම හිස සැලුවෙමි.

“ඔය ළඟපාත තියෙන දන්සල්වලටත් ගිහිං එන්න. මම නම් අතේ සල්ලි නැතුව පාරට තියා මිදුලටවත් බහින්න කැමති නෑ...“

කොල්ලො අතපාන්නේ සව්කොළ සඳහා මුදල් ලබා ගැනීමටය.

“ඇත්තම කියන්නද මම ඔය මහත්වරුන්ට. සව්කොළ ගන්නවත් මා ළඟ සල්ලි නෑ. ඔය දෙන්නා ඉතිරි කරන සල්ලිවලින් සව්කොළ ගන්න. මම කොළඹින් සල්ලි හම්බ වුණ ගමන් ඔයාලට ආපහු දෙන්නං...“

ඔවුන් එකිනෙකා දෙස බලමින් දෑසින් හුවමාරු කරගත්තේ කුමක්දැයි මට වටහාගත නොහැකි විය.

“අපි දෙන්නා සල්ලි එකතු කරේ ලොකු අයියගෙ උපන් දිනේට...“ කොල්ලෝ ද හෙළිකළේ බලගතු රහසකි.

“අනේ මගේ වස්තුවේ“ යි මම සුසුම්ලෑවෙමි.

“ඔය දෙන්නට ඉස්කෝලෙ යන්න දෙන සල්ලි එකතු කරලා උපන්දින පාටියක් ගන්න බෑනේ. හැමෝගෙම උපන්දිනවලට ඔයාලා සල්ලි එකතු කරලා පුංචි පාටියක් දානවා තමා. හැබැයි ඉතිං වෙනදට මාත් සම්මාදම් වෙනවනේ. ඉතිං මේ පාර මම ආර්ථික අර්බුදයක ගිලිලා ඉන්න හින්දා අපි ලොකු අයියගෙ උපන් දින පාටිය අමතක කරමු...“

“අනේ අම්මා“ පුංචි පුතා කෑගැසුවේ නොමනාපයෙනි.

“ලොක්කට දුක හිතෙයි අම්මා“ යි චූටි පුතා ශෝකයෙන් කෙඳිරි ගෑවේය.

“මේ අහන්නකෝ... අපි ළඟ සල්ලි නැත්තං ණයවෙලා පාටි දාන එකේ තේරුමක් නෑනේ...“

දෙවැන්නා සිය සහෝදරයන් දෙස බැලුවේ සුපුරුදු සරදම් සිනාවත් සමඟය.

“ඕන්නං ඉතිං අර කොහේද තියෙන දූපතක් වගේ කවදාවත් ඔළුව උස්සගන්න බැරි තරම් ණයවෙලා තියෙද්දිත් අවුරුද්ද පුරාම උත්සව පවත්වනවා වගේ අපටත් ණයවෙලා ලොකු බර්ත්ඩේ පාටියක් දාන්න පුළුවන්...“

නිවුන් පුත්තු විස්මයෙන් විවර කරගත් දෑසින් පොඩි අයියා දෙස බලා සිටිති.

“දූපතක්...? කොහෙද? මොකක්ද ඒ දූපත...?“

මම මෑකරල් කඩන්නට පටන්ගත්තේ සිනාව මැඬගනිමිනි.

“අයියෝ මේ ඩබල ඒක දන්නෙත් නැද්ද? ඇයි හලෝ ඉන්දියන් සාගරේනේ ඒ දූපත තියෙන්නෙ...“

“ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලත් කියනවා නේද පොඩී ඒ දූපතට...“ යි මම වැඩිදුර කිසිත් නොදන්නවාක් මෙන් ඇසුවෙමි.

“ලංකාව ලංකාව“ යි නිවුන් පුතුන් උඩ පනිමින් කෑගැසුවෝය.

“ඔව්... ඔව්... මාර උත්සව මේනියාවක්නෙ තියෙන්නෙ.... අමාරුවෙන් ඉගෙනගෙන සුදුසුකම් හිංදා රස්සාවක් ලැබුණම පත්වීම් ලිපිය දෙන්නෙත් රටේ නායකයා ලොකු උත්සවයක් තියලා. මොන විහිළුවක්ද අම්මා... පාලමක් බෝක්කුවක් පාරක් හැදුවත් ඒවා හදන්න ගිය වියදමට වඩා ලොකු වියදමකින් ලොකුම ලොකු උත්සවයක් තියනවා.... මොන විකාරයක් ද අම්මා...?“

මගේ ඉලන්දාරියා කියාගෙන ගියේ කෝපයෙනි. අප්‍රසාදයෙනි.

“ඉතිං මං මොකද කරන්නෙ? මමද මේ රටේ ජනාධිපති?“ යි ඇසූ මම හඬනඟා හිනැහුණෙමි.

“හිනාවෙන්න නෙමේ අඬන්න ඕන අම්මා මේ රටේ සිද්ධවෙන දේවල් දැක්කම...“

“ඔයා කියන්නෙ සහතික ඇත්ත. ලොකු ලොක්කෝ ජාත්‍යන්තරයට ණයවෙලා පාටි දානවා. සොක්කො බක්කො අහළ පහළ දේශීය පොලීකාරයට ණයවෙලා පාටි දානවා...“

අම්මාගේත් පොඩි අයියාගේත් කතාබහ නොරිස්සූ කොල්ලෝ “අපි යනවා සව්කොළ ගේන්න කඩේ“ යි කෑගැසුවෝය.

“පරිස්සමින් ගිහිං එන්න...“ යි කී මම ඔවුන් දෙදෙනා දෑතින් තුරුළු කර ගතිමි. මෑ කරල් වට්ටිය බිම වැටිණ.

“අනේ මා එක්ක තරහ වෙන්න එපා...“ යි මා ඉල්ලා සිටියේ බැගෑබර හඬිනි.

“නෑ අම්මා... අපි තරහ නෑ...“ යි කියමින් ඔවුන් මා සිපගත් කල මට දැනුණේ මහත් සහනයකි.

‍“වෙසක් කූඩුවක් දෙකක් හැදුවටනං කමක් නෑ... හැබැයි බොරුවට සල්ලි නාස්ති කරන්නත් එපා... ඔය ඩබල දන්නවද අපේ රට මන්දපෝෂණයෙන්... අසාර්ථකභාවයෙන්... විරැකියාවෙන්... මත්පැන් පානයෙන්... සියදිවි නසාගැනීම්වලින් ලෝකේ හුඟාක් රටවල්වලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා...“

කොල්ලෝ විමතියෙන් ද ළතැවුලින්ද බලා සිටියේ ඒ සියල්ලට වැරදිකරුවන් වන්නේ තමන්දැයි විමසන ලෙසිනි.

“ඔයගොල්ලො සව්කොළ ගෙනැල්ලා ලස්සන වෙසක් කූඩුවක් හදන්නකෝ... ලේසියට කඩෙන් ගන්නෙ නැතුව උණබට කපලා වෙසක් කූඩුවක් හදන එක මොන තරම් හොඳ ද පුංචි ළමයි...?“

ඔවුන් දිවගියේ හැකි ඉක්මනින් වෙසක් කූඩුවක් තනන සිතිනි. නොඉවසිල්ලෙනි.

“මේ... ලස්සනට හැදුවොත් කව්ද හැදුවෙ කියලා අහන අයට කියන්ඩෝනෑ පොඩි අයියා හැදුවෙ කියලා...“ යි පොඩි පුතා උස් හඬින් කියා සිටියේය.

මම හිනැහෙමින් මෑකරල් වට්ටිය අහුලා ගතිමි.

ශාන්ති දිසානායක


නව අදහස දක්වන්න

Or log in with...