ගඟෙන් වතුර බී මුහු­දට ආව­ඩන්නෝ... | දිනමිණ

ගඟෙන් වතුර බී මුහු­දට ආව­ඩන්නෝ...

පහුගිය සිංහල අවුරුද්ද උදා වෙන්න දවසකට දෙකකට කලින් කළුවර වැටීගෙන එන වෙලාවෙ අමුත්තන් කීපදෙනෙක් අපේ ගේ දොරකඩට ආවා. තරුණපහේ තාත්තා කෙනකුයි අවුරුදු හතේ අටේ වගේ දුවකුයි පුතකුයි තමා මේ අමුත්තන් අතර හිටියෙ. සාමාන්‍යයෙන් හොඳට ඇඳ පැලඳගෙන පොලිතින් මල්ලකුත් අතේ එල්ලාගෙන හිටපු තරුණ තාත්තා මා දුටු ගමන් බොහොම ගරුසරු ඇතිව අවසර අරන් දිග කතාවක් කියන්න පටන් ගත්තා.

“සමාවෙන්න සර්... මේ වෙලාවෙ ඇවිත් කරදර කළාට. කරුණාකරලා ඔබතුමා විනාඩියක් දෙකක් අපි වෙනුවෙන් කැප කරනවද...?” මනුස්සයාගේ ව්‍යක්ත කතා ලතාවට වසඟවුණු මම කරමින් සිටි රාජකාරිය අමතක කරලා දිගටම කතා කරන ලෙස එයාට හිසින් සංඥා කළා.

“සර්... අපි බොහොම වැදගත් වැඩකටයි ආවෙ. මේ දරුවා (ඔහු සිය පුතා යයි සිතිය හැකි දරුවා දෙසට අත දිගු කළේය.) අනූ නමයෙන් ජීවිතේ බේරා ගත්තෙ. ළමා රෝහලේ දොස්තර මහත්තයල මුලින් විශ්වාස කළේ නැහැ දරුවගෙ ජීවිතේ බේරාගන්න පුළුවන්වෙයි කියල. ඒත් අපෙයි දරුවගෙයි වාසනාවටයි, දොස්තර මහත්තයලගෙ දක්‍ෂකමටයි කොහොම හරි දරුව ගොඩ ආවෙ. දැන් දෙයියනේ කියලා දරුව කිසිම අමාරුවක් නැතුව අනිත් ළමයි වගේම හොඳට දුවල පැනල සෙල්ලන් කරනවා.”

මේ තරුණ පියා කතාවට ප්‍රවේශ වූ ආකාරය හා ආකර්ෂණීය ලෙස වචන ගැළපූ අන්දම ගැන මම පුදුම වුණා. දරුවාගේ ජීවිතය ගැලවුණු ආකාරය එසේ මුලින්ම විස්තර කළ ඔහු මදක් නිහඬව ම’දෙස බලා සිටියා. ඔහුගේ දෑසේ දැඩි ප්‍රබෝධයක් මෙන්ම ආයාචනාත්මක බවක්ද තැවරී තිබුණු හැටි මට තාමත් මතකයි. කතාවේ ඊළඟ කොටස අසන්න මොනතරම් උනන්දුවක් මා තුළ ඇතිවුණා ද කියනවනන් ‘ඉතිං’ කියන වචනෙ මගෙ මුවින් එළියට පැන්නෙ මමත් නොදැනුවත්වම වගෙ.

”ඉතිං සර්... ඇත්තටම සර්ලා වගේ රටේ ලෝකෙ දේවල් ගැන දන්න කියන උදවිය ළඟට ඇවිත් පුංචි ආධාරයක් ඉල්ලන්න අපිට සිද්ද වෙලා තියෙනවා. දරුවට හොඳටම අමාරුවුණ වෙලාවෙ අපි නවගමුව දේවාලෙට බාරයක් වුණා. අපිට දරුව සුවපත් කරල දුන්නොත් ගවයෙක් නිදහස් කරන්නයි සර් බාරෙ වුණේ. දේව කරුණාවෙන් දැන් දරුවට හොඳටම සුවයිනෙ සර්... ඉතිං දැන් ඒ බාරෙ ඔප්පු කරන්නයි ලෑස්ති වෙන්නෙ. බාරෙ හැටියට සර් අපි ගෙවල් ගානෙ ගිහින් ආධාර එකතු කරලයි ඒක ඔප්පු කරන්න ඕනෑ. අපි මේ විදිහට ගෙවල් ගානෙ ඇවිත් සල්ලි එකතු කරන්න අවශ්‍ය මිනිස්සු නෙවේ සර්... ජීවත් වෙන්න යමක් කමක් තියෙන උදවිය. ඒ වුණත් අපිට අපේම සල්ලිවලින් මේ බාරෙ ඔප්පු කරන්න කැප නැහැ... ඒකයි සර් ඔබතුමන්ලා වගේ පින් කැමති අයගෙන් පුංචියට හරි ආධාරයක් ඉල්ලගෙන මේ ගෙයක් ගෙයක් ගානෙ ඇවිදින්නෙ...”

කතාව නිමා කළ තරුණ පියා මා දිහාට ෆයිල් කවරයක් දික් කළා. මම ඒ ෆයිල්එක අතට නොගෙනම ඔහු දිහා බලාගෙන හිටියා. මට එකපාරටම දැනුණේ මිනිහා මන්තරයක් ජප කරලා මාව වසඟ කරගන්න උත්සාහ කරපු බවකුයි.

”මේ තරුණයා, ඔයාගේ කථීකත්වයටනං මම ගරු කරනවා. හැබැයි මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ දරුවව සනීප කළේ ඉස්පිරිතාලෙ හිටපු දක්‍ෂ දොස්තර මහත්තයල කියල දැන් ඔයා කිව්ව නේද... එහෙමනං ඔයා බාරයක් ඔප්පු කරන්න ඕනෑ ඉස්පිරිතාලෙටනේ. ඔයා දන්නවද නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න අපි ඔයගොල්ලො හැමෝම දායකවෙන බව. ඒක නිසා ඔයාගෙ දරුව වගේම තවත් දරුවකුට ඒ අවස්ථාව ලබා දෙන්නයි අපි උදව් කරන්න ඕනා නේද... දේවාලෙකට බාරවෙලා ගවයෙක් නිදහස් කළා කියලා අපේ සෞඛ්‍ය සේවයට යහපතක් වෙන්නෙ නැහැනෙ. ඔයා එකතු කරන ඔය සල්ලි ටික හරිනං දෙන්න ඕනා ළමයව සනීප කරපු ළමා රෝහලට. ඔයා ඒකට කැමති නං මාත් කැමතියි මුදලක් පරිත්‍යාග කරන්න. ඉස්පිරිතාලෙන් ලෙඩ හොඳ කරගෙන දේවාලවලට බාර ඔප්පු කරන එක කෙළෙහි ගුණ නොදන්න මිනිසුන්ගෙ වැඩක් නේද...? ”

”අනේ සර් බොහොම ස්තුතියි... අපි යන්නං...” මට කතාව ඉවර කරන්න නොදීම තරුණ පියා දරුවන් දෙන්නවත් අඬගහගෙන ඉක්මන් ගමනින් පාර දිහාට යන්න පටන් ගත්තා.

මෙවැනි මිනිසුන් ඔබටත් ගේ දොරකඩදි එහෙමත් නැත්නම් බස්එකේ, කෝච්චියෙදි අනන්තවත් මුණ ගැහිල ඇති. මේ සිද්ධිය වෙලා දවස් කීපයක් ගතවුණේ නැහැ. කඩවත කොටුව බස්එකකටත් අර කතාවම ටිකක් වෙනස් විදිහකට කියාගෙන තරුණයෙක් ගොඩ වුණා. ඔහු පැවසූ විදිහට එයා බස් රියදුරෙක්. තමන්ගෙම ගෙයක් දොරක් තියෙන වැදගත් විදිහට සමාජයේ ජීවත් වෙන කෙනෙක්. දරුවකුගෙ අසනීපෙ වෙනුවෙන් එයා දේවාලෙකට බාර වෙලා තියෙන්නේ දානයක් දෙන්න. එය ඔප්පු කළ යුත්තේ යාචකයෙක් හැටියට මුදල් එකතු කරලයි. අපේ ගේ දොරකඩට ආපු තරුණ පියා වගේම ඉතා ව්‍යක්ත විදිහට කතා කරපු මේ තාත්තටත් බස්එකේ හිටපු මගීන්ගෙන් 90%ක් විතරම වසඟවුණා. රුපියල් සීයේ පනහේ නෝට්ටු රැසක් විනාඩි කීපයක් ඇතුළත ඔහුගේ අතේ ගොනුවුණා. පුදුම වැඩේ කියන්නෙ මා ඇතුළු තවත් කිහිප දෙනෙක් මඟහැර යාමට ඔහුට තිබුණු අවබෝධයයි. ඔහු මිථ්‍යාවක ගිලී සිටින බව කියන්න මා වෙතට පැමිණෙයි කියා බලා සිටියත් මගේ මුහුණ දිහාවත් නොබලා ඔහු ඉවතට ඇදී ගියේ මන්ද කියනඑක තාමත් ගැටලුවක්.

නම්බුකාර විදිහට ඇවිත් මෙහෙම සානුකම්පිත කතාවක් කියා මුදල් ගසා කෑම විවිධ සූත්තර මගින් සල්ලි හම්බකරන කපටි පුද්ගලයන්ගේ අලුත්ම ව්‍යාපාරයක් බවට පත් වී ඇති සැටියකුයි මින් පෙනෙන්නේ. ඔවුන් ඉතා සියුම් විදිහට ගසා ගන්නේ අද අපේ සමාජය තුළ පිළිලයක් මෙන් පැතිරී යන මිථ්‍යා විශ්වාසය බව ඉතාම පැහැදිලියි. “දෙයියො බුදුන් අදහන”, “දෙවි දේවතාවුන්ගේ පිහිට පතන”, “අනුන්ගේ දුක් ගින්දර හඳුනන” ආදී ආගමික හා සංස්කෘතික මුහුණුවරකින් යුතු වැකි බහුල වශයෙන් යොදාගෙන දක්‍ෂ ලෙස කතා කරන වැදගත් පෙනුමකින් යුත් පුද්ගලයන් මේ කූට ව්‍යාපාරය සඳහා පුරුදු පුහුණු කරන ආයතන රටේ තිබෙන බවට කිසිම සැකයක් නැහැ.

මේ විදිහට අවිඳු අඳුරේ ගිලී සිටින සමාජයක් ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් ප්‍රපාතයක් කරා ඇදී යාම වැළැක්විය හැකිද? රටේ ප්‍රධාන ජනමාධ්‍ය වගේම රට පාලනය කරන හා අනාගතයේ රට පාලනය කිරීමට සිහින මවන දේශපාලකයනුත් මිථ්‍යා විශ්වාසයෙන් ඇස් අන්ධ කරගෙන සිටින පසුබිමක අපේ රටේ අනාගතය කවර දිසාවක් කරා ඇදී යයිද...? විද්වත් පුරවැසියන්ගේ වගකීම මෙවැනි කාරණා ගැන ගැඹුරු කතාබහක් සමාජයේ වහා වහාම ගොඩනැඟීම බවයි මගේ නම් අදහස.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...