ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සහාය දිවීමේ කණ්ඩායම් දෙකක් සමඟ 12ක් යති | දිනමිණ

ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සහාය දිවීමේ කණ්ඩායම් දෙකක් සමඟ 12ක් යති

ප්‍රින්ස් ගුණසේකර

ලබන මස 6වැනිදා ජපානයේදි ආරම්භ වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මීටර් 400 සහාය දිවීමේ පිරිමි - කාන්තා කණ්ඩායම් දෙක සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් සහභාගී වෙති. පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාව දුටු දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දැක්වූ දක්ෂතා අනුව ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පරිසාධන මට්ටම් ඉසව් 5කින් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව තරග වාර්තාවක් ද සමග විනාඩි 3:08.21ක කාලයක් වාර්තා කළ මීටර් 400 සහ‍ාය දිවීමේ පිරිමි කණ්ඩායමට අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විදුහලේ අරුණ දර්ශන, කුරුණෑගල මලියදේව විදුහලේ පසිඳු කොඩිකාර, කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ රිවිෂ්ක ඉන්ද්‍රජිත්, කොළඹ නාලන්ද විදුහලේ පබසර නිකූ හා වලල ඒ. රත්නායක විදුහලේ ඩී. එම්. එච්. එස්. කරුණාරත්න ඇතුළත් වේ. සහාය දිවීමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටින කරුණාරත්න ආසියානු කනිෂ්ඨ ශූරතාවලියෙදී මීටර් 800 ඉසව්ව නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා සිටී. ඔහු දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 විනාඩි.1:53.35කින් නිම කළේය.

කොළඹදී නව තරග වාර්තාවක් ද සමග විනාඩි 3:43.31ක කාලයක් වාර්තා කළ මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩායමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී, වලල ඒ. රත්නායක විදුහලේ දිල්ෂී කුමාරසිංහ, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉෂාරා අත්තිඩිය හා කෑගල්ල සාන්ත ජෝශප් බාලිකාවේ ප්‍රභා බණ්ඩාර ඇතුළත්වන අතර දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී උස පැනීමේ පිරිමි ඉසව්ව මීටර් 2.04කින් නිමකළ ගාල්ල මහින්ද විදුහලේ තරිදු දසුන් හා දුර පැනීම කාන්තා ඉසව්ව මීටර් 5.91කින් නිමකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රිද්මා නිශාදී ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙති.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව අවස්ථා 17ක් නියෝජනය කොට ඇති අතර එහිදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා ඇත.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 හා 200 ආසියානු වාර්තා පිළිවෙළින් දමයන්ති දර්ශා හා සුසන්තිකා ජයසිංහ සතුව තිබීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න