ඇලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ් | දිනමිණ

ඇලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.

දේශීය ආදායම් කොමසාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කලේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් පොලිස්පතිවරයාට ලබාදෙන ලෙසයි.

එම සමාගම විසින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබා දී ඇති මුදල් පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඩබලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට අධිකරණය නියෝග කළේ ය.

එම නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පසුගිය නඩු දිනයේදී අධිකරණය නියෝග කළේ ය.

ඊට එරෙහිව විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අද අවසර ලබා දුන්නා ය.

නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියේ එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය මේ වනවිට රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

නව අදහස දක්වන්න