රග්බි ආයතනයේ තනතුරු සියල්ල නිතරගයෙන් | දිනමිණ

රග්බි ආයතනයේ තනතුරු සියල්ල නිතරගයෙන්

ෆවුස් මොහොමඩ්

මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සඳහා නව නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්වීමේ පසුබිමක් නිර්මාණය කරමින් එක් පාර්ශ්වයක් පමණක් අපේක්ෂකයන් ඉදිරිපත් කිරිමෙන් නාමයෝජනා බාරගැනීම පෙරේදා පස්වරුවේ නිමාවට පත්විය.

ඒ අනුව බස්නාහිර රග්බි සංගමයේ පසුගියදා යෝජනා කළ නිලධාරී මණ්ඩලය මෙවර තනතුරු සඳහා පත්වනු ඇතැයි වාර්තා වෙයි. වසර ගණනාවක් පුරා රග්බි ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසංග සෙනෙවිරත්න මහතාගේ භූමිකාව නිමාවට පත්කරමින් උපසභාපති ලසිත ගුණරත්න මහතා මෙවර නිලවරණයේදී සභාපතිධුරයට පත්වීමට නියමිතය. මීට අමතරව පසුගිය මාසයේ සංශෝධනය කරනු ලැබූ රග්බි සංගම් ව්‍යවස්ථාවට අනුව පළමුවරට නියෝජ්‍ය සභාපතිවරයකු පත්වීමට නියමිත අතර ඒ සඳහා හිටපු ලේකම්වරයකු වූ රිස්ලි ඉල්යාස් මහතා නිතරගයෙන් පත්වනු ඇතැයි වාර්තා වෙයි.

මීට අමතරව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළමුවරට උපසභාපතිවරු දෙදෙනකු පත්වීමට නියමිත අතර ඒ සඳහා වත්මන් ලේකම් නසීම් මොහොමඩ් මහතා සහ පාසල් රග්බි සංගමයේ නියෝජිතයකු පත්වනු ඇතැයි වාර්තාවෙයි. පාසල් රග්බි සංගමයෙන් රග්බි ආයතනයට නියෝජිතයකු පත්වන පළමු අවස්ථාව මෙයවේ. කෙසේවුවත් පාසල් රග්බි සංගමය මෙතෙක් රග්බි ආයතනයේ උපසභාපතිධුරය සඳහා එම සංගමයෙන් කිසිදු පුද්ගලයකු නම් කර නොමැති අතර ඉදිරියේදී එම සංගමයේ විධායක කමිටු රැස්වීමකින් පසුව එය සිදුකරන බව පාසල් රග්බි සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා දිනමිණ කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

රග්බි ආයතනයේ උපසභපතිධුරය සඳහා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා හෝ නි‍යෝජ්‍ය සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා හෝ පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර රග්බි ආයතනයේ නිලවරණයේදී ලේකම් ධුරය සඳහා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තුසිත පීරිස් මහතා ද නිතරගයෙන් පත්වනු ඇත.

පසුගිය මාසයේ පැවැති විශේෂ සභා රැස්වීමකදී සිදු කරනු ලැබූ රග්බි ආයතන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සභාපතිධුරය වසර 2 බැගින් වසර 4කට සීමා කර තිබූ අතර විධායක කමිටුවට ඉතිහාසයේ පළමුවතාවට කාන්තා පාර්ශ්ව නියෝජනයක් ද ඇතුළත් වෙයි. එය කාන්තා රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදු කරනු ලැබූ අතිශය වැදගත් කරුණකි. 

නව අදහස දක්වන්න