ආර්ථික ඉලක්ක ජයගැනීමට රජය කැපවිය යුතුයි | දිනමිණ

ආර්ථික ඉලක්ක ජයගැනීමට රජය කැපවිය යුතුයි

 නිසි කලට, වෙනස් නොවන සුළු සහ ඉලක්කගත විචක්ෂණශීලි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මඟින් ජනිත වන ආර්ථික වර්ධන ක්‍රියාවලියකට රට යොමුකළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා මහ බංකුව විසින් වසර 2017 සඳහා වාර්ෂික වාර්තාව එළිදක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජයගන්නට හා රටෙහි මහජනතාවගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ඉඩ සැලැසෙන ඉහළ ආර්ථික වර්ධන වේගයක් කරා යෑමට නම්, අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයේ කැපවීම අත්‍යවශ්‍ය බවද අධිපතිවරයා පවසයි. එමෙන්ම ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ද, මැදි ආදායම් ආර්ථිකයක් ලෙස රටෙහි ඉදිරියේදී අත්කරගන්නා ප්‍රගතියට එය ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.

අපි පළමුව වසර 2017 රටේ ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන හි එනම් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල සිදු වූ ක්‍රියාකාරීත්වය විමසා බලමු.

මේ පිළිබඳව අදහස් දැක්වීමේදී වසර 2016 ට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකයට වසර 2017 දී දේශීය මෙන්ම විදේශීය වශයෙන් එල්ල වූ අභියෝග ගණනාවකට මුහුණදීමට සිදු විණැයි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. මේ අන්දමට අභියෝග රාශියකට මුහුණ දී වසර 2017 දී සියයට 3.1 ක අඩු වර්ධනයක් අත්කරගත්තද වසර 2018 දී එය සියයට 05 මට්ටමින් වර්ධනය වනු ඇතැයි ද අධිපතිවරයා බලාපොරොත්තු පළ කෙළේ ය.

වසර 2017 දී ප්‍රධාන වගාබිම් ආශ්‍රිතව පැවැති දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු පසුබෑමකට ලක්විය. මේ අතර කෘෂිකාර්මික කටයුතුවල පහත වැටීම නිසා ඇති වූ බලපෑම් මධ්‍යයේ වුවද කර්මාන්ත සහ සේවා කටයුතු සමස්ත ආර්ථික වර්ධනය සඳහා හිතකර ලෙස දායක විය.

අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම පිළිබිඹු කරමින් 2017 වසරේදී කෘෂිකාර්මික වන වගාව හා ධීවර කටයුතුවල එකතු කළ අගය 2016 වසරේදී වාර්තා කළ සියයට 3.8 ක පහත වැටීමට සාපේක්ෂ්ව 2017 දී සියයට 0.8කින් පහත වැටුණි. වී,තේ, පොල්, රබර්, සුළු අපනයන භෝග, එළවළු, පලතුරු, සීනි, පශු සම්පත්, ධීවර ආදි විවිධ ක්ෂේත්‍රවලට මේ අභියෝගය එල්ල විණි.

වසර 2017 දී කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කළ අතර එය වසර 2018 වාර්තා කළ සියයට 3.3 ක වර්ධනය හා සැසඳීමේදී සුළු පසුබෑමක් පෙන්නුම් කරන්නකි.

කාර්මික නිෂ්පාදන දර්ශනයට විශාලතම දායකත්වයක් සපයන ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය 2016 වසරේදී සියයට 1.7ක වර්ධනය හා සැසඳීමේදී 2017 වසර තුළ සියයට 3.3 ක වර්ධනයක් පෙන්නුම් කෙළේ ය. ඇඟළුම් නිෂ්පාදනය පෙර වසරට වඩා මඳක් අඩු වර්ධනයක් පෙන්වීය. වසර 2016 සියයට 5.7ක වර්ධනක් සිදු වූ මේ අංශයේ 2017 දී සිදු වූයේ 4.7% වර්ධනයකි.

වසර 2017 දී සේවා ආශ්‍රිත ආර්ථික කටයුතුවල එකතු කළ අගය සියයට 3.2කින් වර්ධනය වූ අතර, වසර 2016 දී එය වර්ධනය වූයේ 4.7 කිනි. මූල්‍ය සේවා කටයුතු මෙන්ම තොග හා සිල්ලර වෙළඳාම් කටයුතුවල ඉහළ වර්ධනයක් සේවා ආශ්‍රිත ආර්ථික කටයුතුවල වර්ධනය කෙරෙහි බෙහෙවින් බලපෑවේ ය.

ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වයක් අපේක්ෂා කරන අතර, එය ළඟා කර ගැනීමේදී ඇති වන බාධාවලට පිළියම් යෙදිය යුතු වේ. ආර්ථික වර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමෙහිලා ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නැංවෙමින් පවතී. එනමුත්! මැදි කාලීනව හා ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතකට ප්‍රවිශ්ටවීමේදී මතුවන ගැටලු සඳහා පිළියම් යෙදීමේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා යළි යළිත් අවධාරණය කර සිටියි.

එම ගැටලුවලට පිළියම් ලෙස අනුගමනය කළ යුතු විසඳුම් පහත දැක්වේ.

වාණිජ වශයෙන් ඵලදායි ක්‍රියාකාරකම් සඳහා ගොවීන් සවිබලගැන්වීම කෙරෙහි කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවධානය ක්‍රමිකව යොමුකළ යුතුය.

වැවිලි කර්මාන්තයේ ඵලදායීතාවය වැඩිදියුණු කර ගැනීමට හා තරගකාරීත්වය පවත්වා ගැනීමට හැකිවන අයුරින් වැවිලි ආර්ථිකයේ උපරිම නිෂ්පාදන මට්ටම අත්පත්කරගැනීම කටයුතු කළ යුතුය.

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දරන ලද ඉහළ ආයෝජනය මඟින් කර්මාන්ත අංශයේ වර්ධනයක් ඇති කිරීමට අපොහොසත් වී ඇත. ඒ නිසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කාර්මිකකරණය හා ගැලපීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කරයි.

සේවා වියුක්තිය අඩු මට්ටමක පැවැතුණද මැදි ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වීමේදී ශ්‍රම වෙළෙඳ පොළ දායකත්වය මීට වඩා වැඩි කරගත යුතුමය.

පෞද්ගලික අධ්‍යාපන අංශයෙහි මනා වර්ධනයට උපකාරිවීම සඳහා පෞද්ගලික අධ්‍යාපන සේවාවල ගුණාත්මකභාවය තහවුරු කිරීම ශක්තිමත් කළ යුතුය.

පිරිවැය වඩාත් පිළිබිඹු වන මිලකරණ උපායමාර්ග වෙත යොමුවීම මඟින් රජය සතු වාණිජ ව්‍යවසායන්වල මූල්‍යමය ශක්‍යතාවය තහවුරු කළ යුතුය.

රථවාහන තදබදය හේතුවෙන් ඇතිවන අයහපත් බලපෑම සීමාකිරීම සඳහා ඵලදායි සහ දැරිය හැකි පිරිවැයක් සහිත ‍රථවාහන තදබදය කළමනාකරණය කිරීමේ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යි.

විවිධාංගිකරණය තුළින් අපනයන පුළුල් කිරීම, විදේශීය අංශයේ ස්ථාවරත්වය තහවුරු කිරීම අතිශයින් කළ යුතුය.

විදේශීය ඍජු ආයෝජන දිනාගැනීමට කලාපීය රටවලට වඩා ක්‍රියා කළ යුතුය.

මැද පෙරදිග සේවාවල නිරතවූවන්ගෙන් රටට ලැබෙන ප්‍රේෂණ ඉහළ නංවාගැනීමට කටයුතු කළ යුතුය.

බදු ප්‍රතිසංස්කරණය තුළින් බදු ආදායම ඉහළ නංවාගැනීමට කටයුතු කළ අතර, තොරතුරු තාක්ෂණය තුළින් බදු පරිපාලනය ශක්තිමත් කොට, බදු පැහැර හරින්නන් බදු දැලට ගෙන ඒම තුළින් ඍජු බදු ආදායම ඉහළ නංවාගත යුතුය.

විදේශීය මුදලින් වටිනාකම් තක්සේරු කරන ලද ණය කල්පිරීම හා සම්බන්ධ අවදානම් කළමනාකරණය කිරීම සඳහා වගකීම් කළමනාකරණ ක්‍රියාකාරකම් කඩිනම් කළ යුතුය.

රාජ්‍ය මූල්‍ය විනය සඳහා වන රජයේ කැපවීම යෝජිත නම්‍යශීලි උද්ධමන ඉලක්කරණ වැඩසටහන සාර්ථකත්වය හා තිරසාර බව සඳහා අතිශයින් ම වැදගත්ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය කාලාන්තරයක් මුළුල්ලේ සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇතත්, මූල්‍ය උපකරණ පුළුල් ලෙස ව්‍යාප්ත නොවීම රටෙහි සමස්ත ආර්ථික වර්ධනයට බාධාවක්ව පවතී. මින් මිදීමට පියවර ගත යුතුය.

ඩිජිටල් ආර්ථිකය ව්‍යාප්තවීම තුළින් උත්පාදනය වන බොහෝමයක් අවස්ථා තවදුරටත් වැඩිදියුණු කළ යුතු අතර, ඒ ආශ්‍රිත අභියෝගවලට මුහුණදීම සඳහා පවතින නියාමන සහ නීතිමය රාමුව ශක්තිමත් කළ යුතුය.

රජයේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශ්වාසය සවි ගැන්වීමට සහ සමාජ හා ආර්ථික අංශවල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ නිරතුරුව වෙනස් කිරීම වැළැක්වීම අත්‍යවශ්‍ය වේ.

මේ ආකාරයේ දැඩි මෙන්ම නම්‍යශීලි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පාඩමක් කොටගෙන රටේ ආර්ථිකය ක්‍රියාවට නැංවීම බලධාරින්ගේ යුතුකම හා වගකීම වන්නේ ය. එතුළින් විරැකියාව, දුප්පත්කම, පහළ පෝෂණ මට්ටම්වලින් තොර, ඉහළ සෞභාග්‍යමත් සංවර්ධිත රටක් බිහිකරගත හැකි ය.

ජයසිරි මුණසිංහ


අදහස් 1ක් ඇත

rajaya samaga janathawada ek wiya ythuya, , gethara athho sarala wiya yuthuya!

පිටු

නව අදහස දක්වන්න

Or log in with...