මැකිය හැකියි මතකෙ මොළේ | දිනමිණ

මැකිය හැකියි මතකෙ මොළේ

තඹරු විජේසේකර

අපි ලෝකය දකින්නේ ඇස්වලින් පෙනෙන විදිහට, කන්වලින් ඇසෙන විදිහට සහ අනෙකුත් ඉන්ද්‍රීයයන්ට දැනෙන විදිහ අනුවයි. මේ දේවල්වලින් ලැබෙන සංඥාවන් තමයි අපි ලෝකය, ජීවිතය, මගේ දේවල් ආදී ලෙස හඳුන ගන්නේ. නමුත් මේ ඇසෙන දකින දේවල් සත්‍යයක් විය හැකිද? කවුරුන් හෝ ඔබට මේ සංවේදනයන් ලබා දෙමින් ඔබ වෙත ලෝකයක් ගොඩනගා දී තිබෙනවා නම් මේ ඔබ එහි තිබෙන විසිතුරු දේවල්වල ඇලෙමින් ඒවා ඔබේ කරගන්නට උත්සාහ ගනිමින් දුක් වෙමින්, සතුටු වෙමින් යන ගමනක් වෙන්නත් පුළුවන්. එසේ නොවුණත්, මේ සත්‍ය ජීවිතයෙන් මිදී වෙනත් මවාගත් හීන ලෝකවල ජීවත් වන්නට අපි නිකරුණේ ගත කරන හැම මොහොතකදීම උත්සාහ කරනවා. එය යථාර්ථයක් කොට, මවාගත් ලොවක කැමැත්තෙන් අතරමංවීම පිළිබඳ සංකල්පය 2012දී තිරගතවූ ටෝටල් රිකෝල් (Total recall) වැනි චිත්‍රපටවලින් මෙන්ම එයට තාක්ෂණයෙන් ළං වීමක් ලෙස අතථ්‍ය තථ්‍යතාව හෙවත් VR තාක්ෂණය හරහා මෙතෙක් කල් ලෝකය උත්සුක වුණා. එහිදී සිදු කෙරෙන්නේ හිස පැළඳුමකින් දෑසට තිරයක්, දෑතේ චලනවලින් ආදානයන් සහ ස්පීකර්වලින් කනට ශබ්ද ලබා දෙමින් වෙනත් ලොවක් මවා දීමයි. නමුත් ඊටත් වඩා සාර්ථක ක්‍රමවේදයක් ස්නායු විද්‍යාව හරහා දැන් සොයාගෙන තිබෙනවා. එයට පරණ මතක පවා වෙනස් කළ හැකියි.

ඇමරිකාවේ, කැලිෆෝනියානු සරසවියේ ස්නායු විද්‍යාඥයින් පිරිසක් විසින් කළ පර්යේෂණයක සාර්ථක ප්‍රතිඵල අනුව ලොවට දායාද වන මෙම මතක සංස්කරණ ක්‍රමවේදය හරහා අපේ මොළයේ ගබඩා කරන ලද මතකයන් වෙනස් කරන්නට පුළුවන් නිසා අපිට දැනෙන දේවල් සහ මතක දේවල් වෙනත් අවශ්‍ය ආකාරයකට සැකසීමෙන් මනෝ විද්‍යාත්මකව මාස ගණන් කරනු ලබන චිකිත්සක ක්‍රම විනාඩි ගණනකට සීමා වෙනවා. මීයන් යොදාගෙන කරන ලද මෙම පරීක්ෂණයේදී මොළයට හොලොග්‍රෑම්, එහෙමත් නැත්නම් වීඩියෝ ආකාරයේ සංවේදනයන් මොළයට ලබාදී, මොළයේ විවිධ නියුරෝන ගොනු සක්‍රීය සහ අක්‍රීය කරවීමට හැකියාව ලැබී තිබෙනවා. තත්පරයකට මෙලෙස සිය වතාවක් පමණ කරවීමෙන් මොළයේ ස්වභාවික සංවේදන ප්‍රතිචාරයට සමාන ආකාරයේ තත්ත්වයක් ඇති කිරීමෙනුයි එය සිදු කරන්නේ.

මොළයේ තැන්පත් සිතුවිලි, මතක වෙනස් කළ හැකි බවට මෙම මූලික මට්ටමේ පර්යේෂණයෙන් තහවුරු වූ අතර විද්‍යාඥයන්ගේ අපේක්ෂාව වන්නේ මොළයේ ‘භාෂාව’හඳුනාගෙන එය අනුකරණය කිරීමයි. ඒ හරහා මානව හැඟීම්, දැනීම්, සිතුවිලි සහ මතකයන් පාලනය කරමින් රෝගීන් සුවපත් කිරීම්, සියදිවි නසා ගැනීමේ අදහස් ඇති අයට සහනය සැලසීම, දරා ගැනීමට නොහැකි දුකක් ඇති අයට උපකාර කිරීම වැනි වාසි රැසක් සැලසෙනවා. කල්පිතයක් වශයෙන් එවන් උපැයීම් කරන්නට හැකියාව තිබුණත් මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ නව මතකයන් ඇති කරලීම සහ තිබෙන ඒවා මකා දැමීම යනු කළ හැකි දෙයක් බවයි. ඒ හරහා අත් පා අහිමි වූවන්ගේ මතකය සකස් කරලමින් කෘත්‍රීමව සවිකරන ලද අත්, පා සාමාන්‍ය අවයවයක් මෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය හැකියාවන් ලබා දීමට හැකියාව ලැබෙනවා.

ස්නායු බද්ධ කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන මෙම ක්‍රමවේදය ඒවා ක්‍රියා කරවීම සඳහා මොළයට අවශ්‍ය දත්ත ප්‍රතිස්ථාපනය කරලීමට වැදගත් වන අතර මොළයේ භාෂාව ලියන්නට සහ කියවන්නට ඉගෙනීමෙන් විද්‍යාව සහ තාක්ෂණයට ඉන් ලබාදිය හැකි ඵල ප්‍රයෝජන ප්‍රමාණ්‍ය මෙතෙකැයි කියන්නට බැහැ. කෙනෙක් සමඟ කතා කරන්නට භාෂාව ඉගෙන ගත්තාට පසු ඔවුන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගන්නට අවස්ථාව සැලසෙන්නාක් මෙන් මොළයට කතා කිරීම හඳුනා ගන්නා තරමට ඉන් කරගත හැකි වන වැඩ ප්‍රමාණය ද ඉහළ යනවා. එවිට ඇස, කන, නාසය ආදී වූ මූලික ඉන්ද්‍රීයයන්ගෙන් ඔබ්බට යමින් නවමු ආකාරයේ අංග ශරීරයට සම්බන්ධ කරගෙන ඒවා ශරීරයේම අවයවයක් ලෙසින් පාවිච්චි කරන්නට ද අවස්ථාව උදා වෙනවා. මීයන්ගේ මොළයේ නියුරෝන ගොනු 50ක පමණ සක්‍රීය සහ අක්‍රීය කරවීම් සාර්ථකව කරන්නට මෙම සොයා ගැනීම සමත් වූවත් මිනිස් මොළයේ සංකීර්ණ තත්ත්වය අනුකරණය කොට එවන් දුර ගමනක් යන්නට තරම් මෙය තවමත් මූලික සංධිස්ථානයක් පමණයි.

මේ සඳහා යොදා ගන්නා හොලොග්‍රෑම් නිපදවන උපාංගය ද අඩු තරමේ පිටෙහි එල්ලාගෙන යන බෑගයක් තරම්වත් කුඩා කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. එහි හැකියාවද තත්පරයකට සිය වතාවක් නියුරෝන දහස් ගණනකට එකවර උත්තේජන ඇති කරලන සේ වැඩි දියුණු කිරීමත්, එසේ කරනු ලබන වෙනස්කම්වල ප්‍රතිඵල සජීවීව දැකිය හැකි ආකාරයට සකසා මොළෙයේ ක්‍රියාකාරීත්වය වැඩිදුර අධ්‍යයනය කිරීමත් ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු බවට පත්ව තිබෙනවා. නමුත් හිසේ කොටසක් විවෘතව තබාගෙන, පිටේ බැඳගත් බෑගයෙන් එන හොලෝග්‍රෑම් එම සිදුරෙන් මොළයට යවන අතරතුර ශරීරයට සම්බන්ධ කරගත් කෘත්‍රීම අවයවයක් පාලනය කිරීම ප්‍රායෝගික කරුණක් නොවෙයි. ඒ වෙනුවට එක් වරක් කරන ලද උත්තේජනයක් දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට ඇති හැකියාවද අවශ්‍ය වෙනවා. එවිටයි ස්නායු විද්‍යාවේ නවමු මංපෙත් හෙළි කරගන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබෙන්නේ.

මෙය හොඳින් වර්ධනය වී ගොස් අතේ තිබෙන දුරකතනය මෙන් අඩු මිලට ඕනෑම කෙනෙක්ට ලද හැකි දෙයක් ලෙසින් සාමාන්‍යකරණයට පත්වූ පසු ජීවිතයේ මුහුණ දෙන දුක් කම්කටොලු සියල්ලම ගැලරියේ ඇති ඡායාරූප ටික මකා දමා ස්ටෝරේජ් එක නිදහස් කරගන්නවාක් මෙන් මොළයේ ඇති අනවශ්‍ය දේවල් දුරකතනයේ තිබෙන ඇප් එකකින් ඉවත් කොට අපිට අවශ්‍ය ආකාරයට සකසා ගන්නට හැකියාව ලැබේවි. එපමණක් නොවෙයි, වෙනත් කෙනෙක්ගේ මොළයකට බලෙන් පිවිසී අනවශ්‍ය ආකාරයේ මතකයන් ගොනු කොට විනාශකාරී තත්ත්වයන් ඇති කරන්නට සාහසිකයෙක්ට හැකියාව ලැබෙනවා. එනමුත් එවන් දෙයක් කළාද නොකළාද කියලාවත් මතක නැති වෙන්නට ඔහුගේ මතකයත් වෙනස් වුවහොත් එයට වඟ උත්තර බඳින්නේ කාගේ මතකය ද?

නව අදහස දක්වන්න