රාජකීය-සා. පීතර අපරාජිතව ඉදිරියට | දිනමිණ

රාජකීය-සා. පීතර අපරාජිතව ඉදිරියට

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ සිය පළමු තරගය ජයගනිමින් තවදුරටත් අපරාජිතභාවය රැකගැනීමට කොළඹ රාජකීය සහ සාන්ත පීතර විදුහල් කණ්ඩායම් සමත්වෙයි.

කුසලාන වටයේ තරග උණුසුම වැඩි කරමින් පසුගිය සති අන්තයේ දී පිළිවෙළින් සහිරා විදුහල් පිල සහ ත්‍රිත්ව විදුහල පරාජය කරමින් තවදුරටත් තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථානවල රැඳී සිටීමට රාජකීය විදුහල සහ සාන්ත පිතර විදුහල සමත්විය.

සා.ජෝශප් විදුහලට ජය

කුසලාන වටයේ පළමු තරගයට හැව්ලොක් පිටියේදී වෙස්ලි විදුහල් පිල සමග එක්වූ මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 26-16ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ගැමුණු චේතිය මේ තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් සාන්ත ජෝශප් විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු කළ අතර එය ඔහු මෙවර තරගවාරයේදී තැබූ තුන්වැනි උත්සාහක දිනුම් ත්‍රිත්වය ද විය.

තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 14-8කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය පුරා ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර වෙස්ලි විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

රාජකීයයෝ ජය ගනිති

මේ අතර මරදාන සහිරා විදුහල් පිලට එරෙහිව ලකුණු 41-5ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල් පිල සමත්විය. රාජකීය විදුහල් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේදී තුලේබ් හසන්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් වර්ණවත් වූ රාජකීය විදුහල් පිලේ ලකුණු පුවරුවට උත්සාහක දිනුම් 7ක් ඇතුළත් විය.

හසන්ට අමතරව මලීෂ පෙරේරා, හිමන්ත හිරුෂාන්, කෙවින් සමරසේකර සහ මුබින් ෆලීල් සෙසු උත්සාහක දිනුම්වලට හිමිකම් කීහ. මේ උත්සාහක දිනුම් 7න් 3ක් ගෝල බවට පත්කරනු ලැබුවේ මලීෂ පෙරේරා විසිනි. තරගයේ පළමුභාගය නිමාවනවිට රාජකීය විදුහල් පිල ලකුණු 31-5කින් පෙරමුණ ගත්තේය. සහිරා විදුහල් පිල ලැබූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ ෂමීම් නසාර් විසිනි.

සා. පීතර විදුහලට 28-21ක ජයක්

මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 28-21ක ජයක් වාර්තා කිරිමට බම්බලපිටිය සාන්ත පිතර විදුහල් පිල සමත්විය.

පල්ලෙකැලේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-0කින් පෙරමුණ ගත් සාන්ත පිතර විදුහල් පිල ගෝල් 4ක් රැස් කළ අතර ත්‍රිත්ව විදුහල් පිල ගෝල් 3ක් ලබාගත්තේය. 

 

නව අදහස දක්වන්න