ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක් | දිනමිණ

ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක්

මනෝ වෛද්‍ය එන්. කුමාරනායක

ජාතිවාදය සහ අන්තවාදය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක යෙදෙමින් අද එහා ඉවුරට එක්වන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා අන්තවාදය ජාතිවාදය සමාජයෙන් තුරන් කිරීමට ගතයුතු පියවර ද අවධාරණය කරයි.

* අද රටේ බොහෝ දෙනා ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගන්නෙ ප්‍රචණ්ඩත්වයෙන්. ඔබ මේ තත්ත්වය දකින්නෙ කෙලෙස ද?

පළමුව මට මේ ගැන ඇති වෙන්නෙ දුකක්. මහා මනෝවිද්‍යාඥයෙක් , දාර්ශනිකයෙක් වන බුදුන්වහන්සේගෙ දර්ශනය අනුගමනය කරන පිරිස් පවා ඔවුන්ගේම ගෞරවයට වන්දනාවට පාත්‍ර වුණ දළදා මාලිගාව පිහිටි අඩවියේත් ප්‍රචණ්ඩත්වයේ ගිනිදැල් ඇවිලීම තමයි එයට හේතුව. ඊළඟ කාරණය අපේ රටේ අවුරුදු 30ක ප්‍රචණ්ඩකාරී යුද්ධයක් පැවතුණා. අපේ රට ඉන් පාඩමක් ඉගෙන‍ගෙන නැතිවීම ඉතා අවාසනාවන්ත අත්දැකීමක්. යුද්ධයෙන් පසුව අපේ රටේ සාමය සහජීවනය ඇති කිරීමට ගත් උත්සාහය යටපත් වෙලා. එය අභිබවා තම දේශපාලන අභිමථාර්ථයන් මුදුන්පත් කර ගැනීමට ජාතිවාදය වපුරාගෙන තමන් බලයට පත්වීමට උමතුභාවයෙන් යුතුව කටයුතු කරන දේශපාලනඥයින්ගේ ක්‍රියාදාමයන් ඉස්මතු වෙලා තිබෙනවා.

ආසන්නම දැවැන්ත ප්‍රචණ්ඩකාරි සිද්ධිය වන දිගන සිද්ධිය ගත්තොත් ඊට මාස ගණනාවකට පෙර සිට ඉතාම නරක අන්දමින් මාධ්‍ය ඔස්සේ වඳ පෙති ගැන ප්‍රචාරයක් ගෙන ගියා. මුහුණු පොත මෙහි දී ප්‍රධාන මාධ්‍යයක් කරගත්තා. කොතරම් තාක්ෂණය දියුණු වුවත් වඳ පෙති වාගේ සාවද්‍ය කාරණයක් ගැන මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කරනකොට අන්තර්ජාලයෙන්ම ඒ ගැන තොරතුරු සොයාගෙන ඇත්ත නැත්ත දැන ගැනීමට මේ අය දන්නේ නෑ. මෙයත් මට දුක හිතුණ කාරණයක්.

* ජාතිවාදය හා අන්තවාදය උමතුභාවයේ ලක්ෂණ කියා ඔබ කියන්නේ මන්ද?

මනෝ වෛද්‍ය විද්‍යාවෙදි උමතුභාවය කියන්නෙ මානසික රෝග කීපයකම පැවැතිය හැකි විශේෂ ලක්ෂණයක්. මේ උමතුභාවය තුළ තිබෙන ප්‍රධාන ලක්ෂණය එම රෝගියාට තමන් කරන කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් හෝ බුද්ධියක් නොමැති වීමයි.

ජාතිවාදියකුගේ හෝ අන්තවාදියකුගේ හැසිරීම විග්‍රහ කළොත් ඔවුන්ගේ හැසිරීම වෙතින් ඔවුන්ට වාගේම අන් අයටත්, සමාජයටත් සිදුවිය හැකි බරපතළ හානිය ගැන ඒ අයට අවබෝධයක් නැහැ. මට සිතෙන්නේ ජාතිවාදියෙක් හා උමතුභාවයෙන් පෙළෙන මානසික රෝගියෙකු අතර ලොකු වෙනසක් නැහැ කියලයි. මෙය පැහැදිලි කිරීමට හොඳ කතාවක් තිබෙනවා. මම අංගොඩ රෝහලේ සේවය කරන කාලෙ එක්තරා රෝගියෙක් හිටිය. ඔහුට තිබුණෙ දැඩි උම්මත්තක භාවය කියන මානසික රෝගය. ඔහු ඇඳ උඩට නැඟල දේශන පවත්වනව.

මේ රෝගියා ආරූඪ කරගෙන හිටියේ මියගිය දේශපාලනඥයෙක්. මේ රෝගියා ඇඳ උඩ සිට දේශනය කරන්නේ තමන් ඒ මියගිය දේශපාලනඥයා බවත්, නැවත ඉපදී සිටින්නෙ මේ රට බේරා ගන්න බවත්. ඒ නිසා තමන්ට විරුද්ධවන හැම එකෙක්ම විනාශ කරන බවත් ඔහු කෑගහල කියනවා. ඖෂධ හෝ එන්නත් දීමෙන් පසුවයි ඔහුව පාලනය කරගන්න හැකි වෙන්නේ. එක්තරා චීවරධාරියෙක් ජාතිවාදී හැඟීම් අවුස්සන ආකාරයේ කතාවක් කරනු මම මුහුණු පොතෙන් දැක්කා. ඒ චීවරධාරියා ජාතිවාදී හැඟීම් අවුසද්දී මට සිහිපත් වුණේ අර රෝගියා. දෙදෙනාගේම මුහුණුවල පිළිබිඹු වුණු වියරු සහ ප්‍රචණ්ඩ ලක්ෂණ සමානයි.

උම්මත්තක භාවයට උගත් නූගත් කියල භේදයක් නෑ. ඒ අය අතර ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නව. මම දන්න එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඉන්නව. ඔහු ආචාර්ය උපාධිධාරියෙක්. දැඩි ජාතිවාදියෙක්. ඔහු ජාතිය ගැන කතා කරන විට මුහුණේ වියුරු බව ප්‍රචණ්ඩ බව මැනවින් පිළිබිඹු වෙනව. ඔහු තවමත් කියන්නේ හිට්ලර් තම ජාතික රැක ගැනීමට යුදෙව්වන් විනාශ කළ එක හොඳයි කියලයි. ඔහුට මෙහෙම වුණේ ඇයි? ඔහුගේ කුඩා අවධියේ නිවසේ අත්දැකිම්. ඔහුගේ පියා සිංහල මව වෙනත් ජාතියක. පියා නිතර ගෙදරදී මවට රණ්ඩු කරන්නෙ ඇගෙ ජාතිය ගැන කියලා.

ආරොන් ටී බෙක් (Aron T. Beck) කියන මනෝවිද්‍යාඥයා කියන්නේ කෙනෙකුගේ කුඩා අවධියේ අත්දැකීම් ඔහුගේ මනස තුළට ඇතුල්වන බවයි. එසේ ඇතුල්වන දිගු කාලීන මතක පරිපථ (Schema) පසු කාලයේ දී ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකරන බවයි. අපි කියන ආචාර්යවරයාගේ සිතුවිලි හා ආකල්ප කෙසේ නිර්මාණය වූවා ද කියා ඔබට පැහැදිලියි නේද?

* ජාතිවාදියා සහ අන්තවාදියා විග්‍රහ කරගත යුත්තේ කෙබඳු ආකාරයට ද?

ජාතිවාදියා ය කියන්නෙ තමාගේ ජාතිය උත්කෘෂ්ඨ බවත් අනෙක් ජාතිය හෝ ජාතීන් ඊට වඩා පහත් බවත් දැඩිව විශ්වාස කරන පුද්ගලයන්.

අන්තවාදියා කියන්නෙ තමාගේ මතවාදය කිසිසේත්ම වෙනස් කිරීමට අකමැති සිය මතවාදය තුළම එල්බ ගනිමින් අනෙක් මතවාදී කණ්ඩායම්වලට පහරදීම හෝ විවිධාකාරයෙන් විරුද්ධව නැගී සිටින්නන්. එරික් හොපර්ගෙ (Eric Hoffer) True Believer නම් ග්‍රන්ථයේ එක් තැනක අන්තවාදියා සහ ජාතිවාදියාගේ පෞරුෂය, සමාජ ක්‍රියාකාරකම්, විනාශකාරී හැසිරීම් සහ ඔවුන්ගේ සිතුවිලිවල අපූරු සමානකමක් තිබෙන බව සඳහන් වෙනව.

හිට්ලර් ගැන අධ්‍යයනයක් කළ Waffer c Langar සහ Erich fromn කියන්නේ හිට්ලර් නොයෙකුත් මානසික දුබලතාවලින් පෙළුණ අයෙක් බවයි. තමාගේ මතවාදය අනෙක් අය පිළිගතයුතු බවත්, ඊට විරුද්ධවන අය තම සතුරන් ලෙසත් (Narcissistic Personality) හිට්ලර් හිතුවා.

* ජාතිවාදය සහ අන්තවාදය වැපිරූ සමාජ වාතාවරණයක් පැවතීම බලලෝභී දේශපාලනඥයින්ට තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට මනා පසුබිමක් සැකසෙනවා නේ ද?

අන්තවාදීන් සහ ජාතිවාදීන් එකතු වී ප්‍රචණ්ඩකාරී පරිසරයක් නිර්මාණය කර තිබීමම බලලෝභී ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ට හොඳ තෝතැන්නක්. ඉතා පහසුවෙන් ගිනි ඇවිලෙන වියළි පිදුරුගොඩකට එක ගිනි කූරකින් ගිනි දල්වා පැත්තකට වී සිටින්නට ඔවුනට හැකියි. ඔවුන් කරන්නේත් එයයි.

දිගන ප්‍රදේශයේ සිදුවුණ ප්‍රචණ්ඩ ක්‍රියා දිහා බැලුවහම එය හොඳින්ම පෙනෙනවා. මම මේ ප්‍රදේශයේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වී ඇති නිසා ඒ ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනනවා. මේ ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව අනාදිමත් කාලයක මිතුරන් සේ සහජීවනයෙන් සිටියා. මම ඒ ප්‍රදේශයේ සිංහල කාන්තාවකට දුරකථනයෙන් කතා කළ විට ඇය පැවැසුවේ ගමේ අය මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී නොවූ බවයි. පිටින් පැමිණි රස්තියාදුකාරයන් වාහනවලින් පැමිණ මේ විනාශය කළ බවයි.

*ප්‍රචණ්ඩකාරී ගැටුම්වලට සහභාගීවන කණ්ඩායම් ගැන ඔබගේ විග්‍රහය කුමක් ද?

මනෝ විද්‍යාව තුළ කණ්ඩායම් මානසිකත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තිබෙනවා. බොහෝ විට කණ්ඩායමක් තුළ දී පුද්ගලයෙක් හැසිරෙන්නෙ තමාගේ හෘද සාක්ෂිය මතම නොවෙයි. එම කණ්ඩායමේ මතවාදයට එහි සාමාජිකයින් තාවකාලිකව මෝහනයට පත්වෙනව. සමහර විට මේ කණ්ඩායමට හොඳ නායකයෙක් වගේම ආත්මාර්ථකාමී බලලෝභී නායකත්වයක් ද සිටිය හැකියි. හැබැයි විනාශකාරී නායකත්වයක් කණ්ඩායමකට ලැබුණොත් සිදුවිය හැකි විනාශය සුළු පටුත් නෑ. ඒ කියන්නේ මේ කණ්ඩායමට අන්තවාදියා, ජාතිවාදියා, බලලෝභී දේශපාලනඥයා යන තුනම එකතු වුවහොත් සිදුවිය හැකි හානිය විශාලයි.

*මේ තුන්ගොල්ල එකතුව සිදුකරන බිහිසුණු ව්‍යසනයෙන් රට බේරා ගැනීමට කළයුතු යැයි ඔබට හැඟෙන්නේ මොනවාද?

ආසියාවේ සාක්ෂරතාවය අතින් අපි ඉහළම මට්ටමක ඉන්නවා. සංඛ්‍යා ලේඛනවලින් දැක්වුවහොත් 92%ක්. එහෙම වුණත් ආකල්ප හා සිතිවිලිවලින් අප තවමත් ප්‍රාථමිකයි. කෙනෙක් සම්පූර්ණයෙන් වඳභාවයට පත් කළ හැකි වඳ පෙති ඇතැයි තවමත් විශ්වාස කරන පුද්ගලයින් අපේ රටේ ඉන්නවා. එහෙම පෙත්තක් හොයාගෙන තිබෙනවා නම් ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවීම අනිවාර්යයි. කිසිම වගවිභාගයක් නොමැතිව කව්රුහරි කෙනෙක් කියන දෙයක් පිළිගන්න තරම් අපේ අය අවිචාරවත් නම් අපිට එහෙම ඉහළ සාක්ෂරතාවයක් තිබේය කියා කියන්න බැහැ. අපේ අධ්‍යාපනයේ බරපතළ ඛේදවාචකයක් තිබෙන බව පේනව. එනිසා විචාරශීලී පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපට සකසාගත යුතුම වෙනවා.

දෙවැනි එක ලංකාවේ ජනමාධ්‍යය. අද ලංකාවේ ජනමාධ්‍ය හසුරුවන්නේ බහුජාතික සමාගම් පහක් හයක්. ඔවුන් විද්‍යාත්මක වැඩසටහන්වලට කැමැති නෑ. තමන්ගේ වෙළෙඳ භාණ්ඩය අලෙවි කරගන්න පුළුවන් මාධ්‍ය කලාවක් තමයි දැන් පවතින්නේ. කසිකබල් වැඩක් නැති නාට්‍යවලට සංගීත වැඩසටහන්වලින් විද්‍යුත් මාධ්‍ය පුරවල. මාධ්‍ය මේවගෙන් අයින්වෙලා මිනිස්සුන්ගෙ දැනුම බුද්ධිය වර්ධනය කරන වැඩසටහන්වලට යන්න ඕනේ.

සටහන
නිමල් නාදෙණිය

අදහස් 1ක් ඇත

I think that this article suits for TNA and other Tamil politicians like wigneshwaran, sivajilingam, some of the Northern Provincial Councilors.

නව අදහස දක්වන්න