අලුතින් ඉදිකළ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ජල පැල්ලම් මතුවෙයි | දිනමිණ

අලුතින් ඉදිකළ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ජල පැල්ලම් මතුවෙයි

ෆවුස් මොහොමඩ්

රුපියල් මිලියන 270කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකළ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයේ ඇතැම් ස්ථානවල තෙතමනය රැඳී පවතින බව එහි නිරීක්ෂණයක නිරතවූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට (Central Engineering Consultancy Bureau - CECB) අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීම සිදුකරනු ලැබූ ඇක්සස් කොනිකා ජේ.වී. සමාගමට ලිඛිතව දන්වා තිබේ.

මීට මාසයකට පමණ පෙර විවෘත කරනු ලැබු මේ කෘත්‍රිම ධාවන පථයේ දකුණු අන්තයේ සහ ‘ඩී‘ කොටසේ ඇතැම් ස්ථානවල ජලය රැඳී පවතින බවත්, එම ස්ථාන අතින් තද කිරීමේදී ඉන් පිටතට ජල පැල්ලම් මතුවන බවත් එම ලිපියේ සඳහන් වෙයි.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ව්‍යාපෘති පිළිබඳ අතිරේක සාමාන්‍යධිකාරි ටී.ජී.ඩී.ටී. ධර්මවර්ධන මහතාගේ අස්සනින් යුතුව මැයි මස 8 වැනිදා දාතමින් ඇක්සස් කොනිකා සමාගම වෙත මේ ලිපිය යොමු කර තිබේ. එහි පිටපතක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා වෙත යවා ඇතැයි වාර්තා වෙයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නව ධාවන පථය විවෘත කරනු ලැබුවේ පසුගිය මාසයේදීය. එය විවෘත කිරීමෙන් පසුව පැවැති පළමු තරගාවලිය වූයේ දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියයි. 

 

නව අදහස දක්වන්න