පලා ගිය කිවි­ඳි­යක සමඟ ඉරා­කයේ රාත්‍රි­යක් | දිනමිණ

පලා ගිය කිවි­ඳි­යක සමඟ ඉරා­කයේ රාත්‍රි­යක්

කපිල කුමාර කාලිංග

දූන්යා මිකේල් යන නමින් වහනය වන්නේ රුසියානු සුවඳක් වුව ද, පුදුමයකට මෙන් ඇය ඉරාක කිවිඳියකි. එපමණක් නොව පුවත්පත් කලාවේදිනියක, පරිවර්තිකාවක හා අරාබි භාෂා උපදේශිකාවක ලෙස ද කටයුතු කරන දූන්යා, දැන් පදිංචිව සිටින්නේ අමෙරිකාවෙහිය.

ඇසිරියානු හා අරාබි භාෂාවලින් ලියන දූන්යාගේ තෙවෙනි බස ඉංග්‍රීසියයි. 1965 දී ඉරාකයේ උපන් ඇය, බී. ඒ. උපාධිය ලබාගැනීමෙන් පසු ‘බැග්ඩෑඩ් ඔබ්සවර්‘ පුවත්පතේ සේවය කළාය. එහෙත් කවිය ඇගේ ප්‍රධාන මාධ්‍යය විය. සදාම් හුසේන් පාලන සමයේදී තදින් පැවති කලා, සංස්කෘතික වාරණයට ඇයගේ කවිය ද හසුවිය. වාරණය තර්ජනයක් බවට හැරෙද්දී, ඇය පළමුව ජෝර්දානයටත්, එතැනින් අමෙරිකාවටත් පලා ගියාය.

අරාබි කවි ඉංග්‍රීසියටත්, ඉංග්‍රීසි (අමෙරිකානු) කවි අරාබි බසටත් නැඟීමට ද ඇය බොහෝ උනන්දු වෙයි. ඒ අතරම ඉංග්‍රීසියෙන් පතපොත ලියයි. ඇගේ කවි කියැවූ එක් විචාරිකාවක මෙසේ පැවසුවාය. “ශේක්ස්පියර් වුණත්, දූන්යා මිකේල්ගේ කවි ආශාවෙන් කියවාවි“ තවත් විචාරකයකු සඳහන් කළේ පුවත් වාර්තා පට, ප්‍රබන්ධ හා පොත්පත් සැමට වඩා දූන්යාගේ කවිය තුළ යුද්ධය පිළිබිඹු වන බවය.

මෑතකදී දූන්යා මිකේල් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු වූයේ ඇය විසින් පළකරන ලද The Bee Keeper (මී මැස්සන් ඇතිකරන්නා) නමැති ග්‍රන්ථය හේතුකොටගෙනය. එයට ඇතුළත් වූයේ, අයි. එස්. අයි. එස්. අත්අඩංගුවෙන් පලා ඒමට සමත් වූ, කුර්දි - යෂිදි කාන්තාවන් කීප දෙනකුගේ සංත්‍රාසමය හා ශෝකී කතා පුවත්ය.

අබ්දුල්ලා නොහොත් ‘ඉරාක ෂින්ඩ්ලර්‘ මෙම ග්‍රන්ථයෙහි එන වීරවරයා ය. (නාසීන්ගෙන් යුදෙව්වන් බේරාගත් ෂින්ඩ්ලර් පිළිබඳව, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ නමින් චිත්‍රපටයක් ද නිපදවා ඇත.) මී මැස්සන් ඇතිකරමින්, මී පැණි වෙ‍ළඳාමෙහි යෙදුණු අබ්දුල්ලා මිල මුදල් මෙන් ම, බොහෝ සබඳතා ද ඇති පුද්ගලයෙකි. ඉරාක, සිරියා හා තුර්කි දේශසීමාවන් පසුකර යා හැකි රහසිගත මාර්ග ගැන ද ඔහුට හොඳ දැනුමක් තිබිණි. එකල, මෙකී මාර්ග හරහා නීතිවිරෝධී ලෙස සිගරට් ගෙන්වීම මෙන්ම, මිනිස් ජාවාරම ද (Human Trafficking) ද සිදුවුණි. අයි. එස්. අයි. එස්. නීති යටතේ දුම්පානය තහනම් විය. මෙම වෙළඳාම් දෙකම ජීවිත පරදුවට තබා කළ යුතු වූ අතර, සමහරු වෙඩි ප්‍රහාර හා ගුවන් ප්‍රහාරවලට මැදිව මිය ගියහ. අබ්දුල්ලා ද, තමන් වෙත එන තරුණියන්ට රටින් පැන ගන්නට හෝ ඥාතීන් වෙත යා ගන්නට උදව් කළේ ජීවිත අවදානම ද නොතකමිනි. නොමිනිසුන් අතර මිනිසුන් ද වෙසෙන බව දූන්යාගේ පොතින් ද කියැවේ.

එක් කුර්දි තරුණියක ටැක්සියක නැඟී පලා යයි. ගමන අවසානයේ රියැදුරා ඇගෙන් කුලිය ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ, “ලෝකය අපි හිතන තරම්ම කළු නැතැයි“ කියමිනි.

එක් කාන්තාවක්, තම දරු මල්ලන්ද රැගෙන මුස්ලිම් නිවසකට රිංගන්නේ, නගරය වටකළ අයි. එස්. අයි. එස්. හමුදාවෙන් ගැළවෙනු පිණිසය. එහි සිටින තරුණිය මෙසේ පවසයි.

“මට උදව් කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ, මගේ තාත්තත් අයි. එස්. එකේ. එයා අද හෙටම නිවාඩුවට ගෙදර එන්න පුළුවන්.“

‍ එසේ කියුවද කුර්දි පවුලට තම මැහුම් කාමරයේ රැකවරණය දීමට ඇය කාරුණික වෙයි. පියා, එම නිවසේ පය නොතබන එකම තැන මැහුම් කාමරයයි. සති කීපයක් එහි සැඟව සිටියදී, කුර්දි කාන්තාවට තම බසින් වූ දුරකථන නාමාවලියක් හමුවෙයි. ඇය එහි ඇති අංකවලට ඇමතුම් ගනී. එක් ඇමතුමක් සම්බන්ධ වන්නේ ඇයගේ ඥාතියකුටය. ඔහු තම නියෝජිතයකු, අබ්දුල්ලා වෙත එවා ඥාති පවුල බේරාගැනීමට කටයුතු යොදයි. (කුර්දි ගැමි කතුන් බොහෝ දෙනකුට, තම හිතවතුන්ගේ දුරකථන අංක මතකයේ තිබී නැත.)

තමන් පැහැර ගත් පසු ගතකළ, කටුක, අමානුෂික ජීවිතය ගැන කුර්දි තරුණියන් කළ විස්තර දූන්යා තම කවි බසින් පවසන්නේ සංයමයකින් යුතුවය. තරුණියන් පැටවූ බස් රථයක්, අයි. එස්. කඳවුරක් වෙත ගෙන ගිය අයුරු එක් තැනක කියැවේ. බියපත්, රූමත් තරුණියන් බසයෙන් බසිනු එක් අයි. එස්. භටයෙක් ප්‍රීතියෙන් කුල්මත්ව මෙසේ කෑගසයි.

“මෙන්න දෙවියො අපිට කන්‍යාවෝ ‍එවලා!“

දූන්යා මිකේල්ගේ නිර්මාණාත්මක පරිකල්පන ලෝකයට අඩිතාලම වැටෙන්නේ බාල වියේදී. ඇය තම මිත්තණියගෙන් ඇසූ කතාන්දර තුළිනි. සතුන්ගෙන් හා දෙවඟනන්ගෙන් පිරි එම රසකතා ඈ තුළ ජනිත කළ කුහුල, කිසි දිනෙක නොසිඳුණි. අද දවසේ පවා ඇගේ කවි තුළ මිත්තණියගේ කතාවල එන චරිත දක්නට ලැබෙන්නේ එහෙයිනි.

බොහෝ මැදපෙරදිග රටවල පැවති සිරිත අනුව, දූන්යාගේ පවුලේ අය ද ගිම්හාන කාලයේ රාත්‍රිය ගතකළේ නිවෙස මුදුනේ (Roof Top) පිහිටි විවෘත බිම් කඩෙහිය. තරු වියන දෙස බලා ගත් වනම, වැතිර සිටියදී මිත්තණිය දරුවන්ට ඇසෙන සේ කතා කිව්වාය. ඇයට බොහෝ ජීවන අත්දැකීම් ද තිබුණි. පළවෙනි හෝ දෙවෙනි ලෝක යුද්ධය පිළිබඳ විස්තර ද ඇගේ ‘ගමන් මල්ලේ‘ තිබුණි. කලක් ගතවෙද්දී දූන්යලාටද රාත්‍රිය මතු මහලේ ගතකරන්නට නොහැකි වූයේ, තරු වියනෙන් පතරොම් ද වැටෙන්නට වූ බැවිනි. නිවසට කොටු වූ පසු දූන්යා මිත්තණියගේ කතන්දර පොතක ලියන්නට වූවාය.

අයි. එස්. අයි. එස්. හමුදා, තම මිත්තණිය ඇතුළු බොහෝ දෙනකුගේ අවසන් නින්දට ද බාධා කරමින්, ඔවුන්ගේ සොහොන් බිම ද විනාශ කළ බව දූන්යාට දැනගන්නට ලැබුණේ, ඇය ‍අමෙරිකාවට ගොස් සිටියදීය. පසුව ඇය, මිත්තණියගේ මරණයෙන් ලද කම්පාව, කවියක් තුළ සිතුවම් කළාය. එහි මුල්පෙළ මෙසේ විය.

“මගේ මිත්තණිය මළ දවසේ

මම මෙසේ සිතුවෙමි

‘ඇයට නැවතත් මිය යා නොහැකිය‘

සැම දෙයක්ම සිදුවූයේ

එකම එක් වරක් පමණි

ඇගේ දිවියෙහි.“

දූන්යා, ඉන් අදහස් කළේ, තම මිත්තණිය දෙවෙනි වරටත් මරණයට පත්ව ඇති බවකි.

දූන්යා බොහෝ සෙයින් පොත්පත් කියැවීමට ඇබ්බැහි වී සිටියාය. ඈ උදෑසන අවදි වූයේ, පෙරදින කියවමින් සිටි පොත දෙසට අත දිගු කරමිනි. නැතහොත්, අලුත් පොතක් කියැවීමේ ආශාවෙනි. පාසලේ පුස්තකාලයාධිපතිනිය ඇයට ‘වසරේ හොඳම පොත් කියවන්නිය‘ ගේ ත්‍යාගය පිරිනැමුවාය. එය අතින් ලියා මල් ඇලවූ සහතිකයකි. ඇය කවියට අත හුරුකර ගත්තේ, සිය මිතුරියනට උපන් දින සුබ පැතුම් ලියමිනි.

බැග්ඩෑඩයේදී, සිය ඥාති සොහොයුරියක වෙස්මුහුණු ලා ගත් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබීම ද දුන්යාගේ හද කම්පා කරවන සිද්ධියක් විය. ඇය යළි කිසි දිනෙක දක්නට ලැබුණේ නැත. පසුව දූන්යා ලියූ කවියක, දෙවඟනක පැහැරගෙන යාමක් ගැන කියැවේ. මිථ්‍යා කතා, ජනප්‍රවාද ඇගේ කවියේ සුලබ ලකුණකි. ඉරාකයේ වාරණයෙන් ගැළවෙනු පිණිස හරය සඟවාලමින් ස්ථර කීපයක් සහිත කවි ලියන්නට ඇය පුරුදු වූවාය. එහෙයින් ඇගේ කවි ‘ලූනු කවි‘ (Onion - poems) නමින් ද හැඳින්වුණි.

ස්ත්‍රීවාදිනියක නොවුණත්, හැම විටම පාපයේ දූතිකාවක් ලෙස ස්ත්‍රිය යොදා ගැනීම ගැන ඇය එරෙහි වූවාය. සශ්‍රීකත්වය, ලිංගිකත්වය, යුද්ධය හා ප්‍රේමය පිළිබඳ දෙවඟන වන ‘ඉස්තාර්‘ ට තම 'The Iraqi Nights' (ඉරාක රාත්‍රිය) නමැති පද්‍ය සංග්‍රහයේදී වැඩි තැනක් දීමට දූන්යා පෙළඹී ඇත්තේ ද එහෙයිනි.

අරාබි බසින් ‘ෂීර්‘ (Shi'r) යනු කවියයි. ෂී ඌර් (Shi'oor) යනු හැඟීම්. කවියාගේ කාර්යය ‘සී - ඌර්‘, ‘ෂීර්‘ බවට පත් කිරීමය. දූන්යා පවසන අන්දමට, මාළුවකු දැලට හසුවන්නට ආසන්නම ක්ෂණයෙහි ඇතිවන්නා බඳු ආතතියකිනි, කවිය බිහිවන්නේ.

දූන්යාගේ ‘The War Works Hard‘ නමැති කාව්‍ය සංග්‍රහය ඉංග්‍රීසියට නැඟුවේ, අමෙරිකාවේ වෙසෙන මහාචාර්ය සාදි සීමාවි යටතේ අරාබි භාෂාව හදාරන එලිසබත් වින්ස්ලෝ විසිනි. PEN සංවිධානය ඊට ප්‍රකාශන අනුග්‍රහය දැක්වීය.

ජෙෆ්රි යං නමැති කවියා, දූන්යාගේ සංස්කාරකවරයා ය. “ඉරාකයේදී මට සිටියේ මගේ කවි වාරණය කරන්නෙක්. අමෙරිකාවේදී ඒ වෙනුවට ලැබුණේ සංස්කාරකවරයෙක්. ඔහු අතින් ‍මගේ දෙවෙනි බස පෝෂණය කෙරෙනවා.“ දූන්යා සාහිත්‍ය සභාවකදී එසේ පැවසුවේ සිනාසෙමිනි.

‘කවි කියැවීම්‘වලදී, දූන්යා ඉතා මිහිරට අරාබි බසින් තම මුල් කවිය ඉදිරිපත් කරයි. ඉන්පසු, අරාබි ආරේ ඉංග්‍රීසි උච්චාරණයකින්, ඉංග්‍රීසි කවිය කියවයි. (‘යූ ටියුබ්‘ තුළින් නැරැඹිය හැකිය.)

දූන්යාගේ කවිය විවිධ සම්මානයන්ට ලක්වූ අතර, 2001 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය, ඇයට නිදහස් ලේඛනය සඳහා වන සම්මානය පිරිනැමීය. ග්‍රීෆිත් සම්මාන කමිටුව, දූන්යාගේ කවි අගය කළේ, දේශපාලන අතිශයෝක්තියෙන් තොර දේශපාලන කවියක් ලෙස දකිමිනි.

‘අමෙරිකා‘ යනු දූන්යා මිකේල්ගේ කවි අතුරින් වඩාත් ප්‍රසාදයට පාත්‍ර වූ නිර්මාණයකි. එය සංක්‍රමණික මනසක් විදහාපාන අතරම, සියුම් උත්ප්‍රාසයන් ද දනවයි. එහි හැඩරුව දක්වනු පිණිස මුල් කොටස පමණක් මගේ නැණ පමණින්, මෙසේ සිංහලට පෙරැළීමි. (දූන්යාගේ කවි තුළින්. අපගේ කවි - කිවිඳියනට මහත් ආස්වාදයක් සේම ආභාසයක් ද ලැබිය හැකි යැයි සිතමි.)

අමෙරිකා

අමෙරිකා, කරුණාකර මගෙන් නොවිමසන්න

මට මතක නැත

කුමන වීදියකදී ද,

කවරෙකු සමඟ ද

කුමන තරුවක් යටදී ද

කුමන පැහැයක මිනිසුන් ද

ඔවුන්ගේ අත්සන් කෙබඳු ද

මට මතක නැත - නොවිමසන්න.

ඔවුනට තිබුණේ ද අපේ සිහිනයන්ම ද

අපේ මුහුණම ද

ලියන්නේ වමේ සිට දකුණට ද

නිදා සිටියේ නිවෙස් තුළද, වීදියක ද,

ගුවන් තොටක ද නොවිමසන්න මගෙන්, අමෙරිකා

මිනිසුන් තණපත් බඳුය

සැම තැනකම උපදින.

(දිගු කවකින් කොටසකි)


නව අදහස දක්වන්න

Or log in with...