ශරී­ර­කෘත්‍ය භීති­කාව | දිනමිණ

ශරී­ර­කෘත්‍ය භීති­කාව

බණ්ඩි රාල

පත්‍රිකාවක් බෙදූ කැලණිය සරසවියේ සිසුවෙකුට එහි මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් පිරිසක් විසින් පහරදී තිබුණා. ඒ ගැන තැන තැන පුංචි පුංචි කතා බස් මතුවුණා. ඔය අතර මහා ශිෂ්‍ය සංගමයේ පිටුපස සිට ඊට දේශපාලන හයිය දෙන පිරිස ගැනත් චෝදනා එල්ලවුණා. ඒත් ඉතිං කට්ටියම අනුගමනය කරන්නට වුණේ බොහොම දැහැමි, නිහඬ ප්‍රතිපත්තියක්. පහුගිය දවස්වල මේ වාමාංශික යයි කියන උදවිය මහනුවර ඇතිවුණු ජාතිවාදී කෝලාහලයන්ට, දේශපාලන උසිගැන්වීම්වලට විරුද්ධව දැවැන්ත විරෝධය පළකරමින් හිටියා. අපේ පුතණ්ඩියා වෙච්චි පොඩි එකත් ඉතිං අයිතිවෙන්නේ ඔය ගැන්සියටම නිසා මං පුංචි කතාවක් දැම්මා.

“දැන් උඹලා ඔය ජාතිවාදී ගැටුම්වල‍ට එහෙම විරුද්ධයි නේද?“

“ඔව්. අපි ඒ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා. පත්‍රිකා බෙදුවා. සම්මන්ත්‍රණ කළා. ඒ පැතිවල ඇවිදලා ගැටුමට සම්බන්ධ පිරිස් එක්ක කතා බහ කළා.“ පොඩි එකා කියාගෙන ගියා.

“ඒක ඇත්තටම හොඳ වැඩක්.“ වැඩේ හොඳයි නම් කවුරු කළත් හොඳයි කියන්න එපායැ. මං ඇත්තමයි කීවේ.

“ඇත්තටම තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් තවත් පිරිසකට හිංසා පීඩා කිරීම අනුමත කිරීමට බෑ නේද?“

“ඔව් අප්පච්චි ආයෙ ඒකෙ දෙකක් නෑ. අපි ඉතිං එකෙන්ම ඒක පිළිගෙන වැඩකරනවා“ පොඩි එකා කියනවා.

“එතකොට පුතේ ඔය නවකවදය වගේ දේකට ඔයාලා මැදිහත්වෙන එක අපි කොහොමද තේරුම් ගන්නේ? පොඩි එකා සුපුරුදු නිහඬව්‍රතය පුරන්න පටන් ගත්තා. ඊට පස්සේ උත්තරයක් වගේ එකකට කට හෙළෙව්වා.

“නෑ ඉතිං මේක ඒ වගේ දේකට සම්බන්ධ නෑනේ“ එහෙම කියාගෙන පොඩි එකා ලෙස්සලා ගියා. 'නවකවදය විතරක්යැ' අඩුම ගාණේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ගරු කරලා විරුද්ධ මතයක් දරන්න තියෙන අයිතිය නැති කරන එකට' මං වාක්‍ය සම්පූර්ණ කරන්න හැදුවත් ඒක ඇහෙන්නෙ නැති මට්ටමක දුරට පොඩි එකා ගිහින්. ඔන්න ‍ඔහොම තමා ශිෂ්‍ය ව්‍යාපාරයෙයි, පෙරටුගාමී වාමාංශිකයොයි මානවදයාවාදය තෝරන්නෙ.

“ඔබ නවකවදයට හෝ සිසු ගැටුම්වලට විරුද්ධ නම් වාමාංශික අර්ථයකින් විරුද්ධ වන්න. එහෙම නැත්නම් ඔබව නවලිබරල් ජාතිකවාදය විසින් ගිලගනීවි“ එහෙම කතාවකුත්, කවියෙක් වෙච්චි වාමාංශිකයෙක් ෆේස්බුක් එකේ දාලා තිබ්බා. මේ වගේ විහිළු සම්බන්ධයෙන් හිනාවෙනවා ඇරෙන්නට වෙන මොනව කරන්නද? මෙයාලා කියන්නේ සිංහලුන් විසින් ද්‍රවිඩ ජාතීන්, මුස්ලිම් ජාතීන් වගේ සුළුතර ජාතීන්ට එල්ල කරන හිංසාවන් පීඩාවන්ට කොන්දේසි විරහිතව විරුද්ධයි කියලා. ඒත් තමන්ගෙම ජනවර්ගයේ, තමන්ගෙම පන්තියේ වුණත් තමන්ගේ කණ්ඩායමේ නෙවෙයි නම් ඒ අයට පහරදෙන්නට පැකිළෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, ඒකට මාර තියරි ගොන්නකුත් දෙසා බානවා. ඒ වායේ අවසාන පාඩම හැටියට උගන්නන්නෙ 'ඒවා විස‍ඳෙන්නේ ලෝක විප්ලවයට පසුව‘ කියන එකයි. ඉතිං ලෝක විප්ලවය එනකල් අපි දත කට මැදගෙන හිංසාව ඉවසගෙන ඉන්න ඕන. මං වැසිකිළිය පැත්තට යනකොට පොඩි එකා ඒ පැත්තෙ ඉඳන් මේ පැත්තට එනවා.

“අප්පච්චි ටැප් එකේ වතුර එන්නෙ නෑ. අර ටැංකියට වතුර පුරවලා තියෙන්නේ“ පොඩි එකා කීවා.

“අනේ මන්දා. මට ප්‍රශ්නය වතුර නෙවෙයි?“

“එහෙනම්?“

“මට ඔය ශරීර කෘත්‍ය කරන්න පොඩි බයක් දැනෙනවා.“

“ඇයි අප්පච්චි. මොකුත් අසනීප තත්ත්වයක්ද?“ පොඩි එකා බයවෙලා වගේ අහනවා.

“නෑ නෑ. මට හරියටම හිතාගන්න අමාරුයි, මං ශරීර කෘත්‍ය කරන්නේ වාමාංශික අර්ථයෙන්ද, නව ලිබරල් ජාතිකවාදී අර්ථයෙන්ද කියලා? මොකද, ඒකට අනුව තමා මං මේ යු‍ගයේ දේශපාලනය ගැන කොච්චර සවිඥානකද කියලා ඔ‍හෙලගෙ සහෝදරත්වය විසින් තීරණය කරන්නේ?“ මං එහෙම කියාගෙන වැසිකිළියට රිංගුවා. පොඩි එකා “අම්මේ මගෙ ෂර්ට් එක කොහෙදෝ“ කියාගෙන ගෙට රිංගුවා.


නව අදහස දක්වන්න

Or log in with...