ගිනි­කඳු හා දාගැබ් | දිනමිණ

ගිනි­කඳු හා දාගැබ්

ශාන්ති දිසානායක

ඇළ අද්දර මාරා ගස මලින් බරව ‍පාරේ යන එන උදවියට සෙවණ ද මල් පාවාඩද සදයි. වෙසක් මස ඇරඹුණේ මහවැසි සමඟ වුව ද ඇළ සිඳී වියළී ගොසිනි. කලා වැවේ ජලය පරිස්සම් කර ගත යුතු නිසා විය යුතුය. එහෙත් ගොවීන් හට නිසි කලට ජලය ද පොහොර ද සපයා අස්වනු සාධාරණ මිලකට අලෙවි කර ගන්නටද ඉඩකඩ සලසා දිය හැකි නම් ගොවියා දුකෙන් සහ ණය බරින් ගලවා ගත හැකිය.

එළවළු මිල කොතරම් පහත වැ‍ටුණේද කිවහොත් ඇතැම් වගාවල් වගා බිම තුළම අත හැර දමා තිබේ. ණය වී ගොවිතැන් කළ ගොවියන්ගේ දුකත් බියත් වටහාගෙන නිසි පිළියම් යොදනවා වෙනුවට රටේ දේශපාලනඥයෝ බල අරගලයක නිරතව සිටිති.

“කළු පුතා කැකිරි යායම අතෑරලා ..... මං කඩාගෙන ආවා කෙල්ලන්ටවත් ගිහිං දෙන්ඩ කියලා. දුවටත් කැකිරි ගෙඩි දෙකක් ගෙනාවා. කොස් ඇටත් තියෙන එකේ තලලා දාලා ඇඹුලට දිය තියන්ඩකෝ එක සැරේ කිරි මිරිකලා. ගෑවිච්චි තැන කන්ඩ බැරිද බලන්ඩ කෝ....”

බණ්ඩාර මැණිකා නැන්දා දිගු කළ කැකිරි ගෙඩි දෙක බාර ගත්තද මට දැනුණේ බලවත් ළතැවුලකි. ගොවියන්ට දුක් මහන්සියෙන් වගා කළ බව භෝග වගා භූමිය තුළ අතහැර දමන්නට සිදු වීම කවර නම් ඛේදවාචකයක්ද?

කෘෂිකර්මාන්තය සම්බන්ධ‍යෙන් කටයුතු කරන නිලධාරින් පමණක් නොව කෘෂිකර්මාන්තය භාර සියලු දෙනා මෙන්ම පාලක ප්‍රජාව ද ලැජ්ජාවට පත් විය යුතුය. ආර්ථික මධ්‍යස්ථාන කරා ගෙනයන එළවළුද අලින්ට කන්න ට දමා එන්නට ගොවියන්ට සිදුවන්නේ නම් තරුණ පරපුර කෘෂි කර්මාන්තය කෙරෙහි ආකර්ෂණය වන බව සිතීම පවා හාස්‍යජනකය.

ගැමියා සිරවී තිබෙන ණය උගුල කොතරම් බිහිසුණු දැයි වගකිවයු‍ත්තෝ කල්පනා කර බැලිය යුතුය. මෙපරිද්දෙන් අස්වනු අලෙවි කරගත නොහැකිවීමෙන් සිදුවන්නේ ගොවියා තව තවත් ණය උගුලේ සිරවීම පමණි.

මතුපිටින් දැකිය හැකි තාක්ෂණය හා දිලිසෙන සුළු ඔපයට ඔබ්බෙහි බරපතළ නායයෑමක්, අර්බුදයක් ජන ජීවිතය තුළ තිබෙන බව දේශපාලනඥයන් ඒ නම් කිසිවිටෙකත් වටහා නොගන්නාබව නිසැකය. ආහාර ද්‍රව්‍ය මිල කොතරම් අධිකද යත් වේලක් දෙවේලක් කුස පුරවා ගැන්මද සාමාන්‍ය මිනිසාට ‍සංග්‍රාමයකි.

“අම්මේ අම්මේ..”

නිවුන් පුතුන් දිව එන්නේ අලුත් ආරංචියක් ද රැගෙන බව මම දනිමි.

“මොකද මේ දෙන්නා කඩාගෙන බිඳගෙන...?

මද්දු සිය සොහොයුරන් දෙස සරදම් බැල්මක් හෙළුවේය.

“මොකක් හරි ඕපදූපයක් හොයාගෙන එන්න ඇති. පොඩි පුතාද මුව ඇද කළේය.

“නෑ.. නෑ.. අපි දෙන්නා ටී.වී. එකේ ප්‍රවෘත්ති බැලුවා. “

“හරි ෂෝක්නේ..ඔය බඩවැල වගේ ඇදෙන ටෙලි නාට්‍ය බලනවාට වඩා හොඳයි නිව්ස් බලන එක....”යි මම ඔවුන්ට ප්‍රශංසා කළෙමි.

“සමහර චැනල් නම් නිව්සුත් ටෙලි ඩ්‍රාමා කරගෙන අම්මා...”යි පොඩි පුතා චෝදනා කළේය.

“ඒ ගැන අපි පස්සේ කතා කරමු පොඩී. දැන් අහල බලමුකෝ මේ දෙන්නගෙන් නිව්ස් ගැන..”යි මම යෝජනා කළෙමි. එකිනෙකාගේ මුහුණු බැලූ එක්බඳු දෙදරුවන් “අනතුරු හුඟාක් පෙන්නුවා” යි කීවෝය.

“අපේ රටේ තරම් මාර්ග අනතුරු වෙන කොහෙවත් නැතුව ඇති තමා...”යි මම කනස්සල්ලෙන් කීවෙමි.

“එතකොට තව කිව්වා අර අර...”

චූටි පුතා තටමන කල පුංචි පුතා සහාය විය.

“අර ඇමැති කෙනෙක් කිව්වා අම්මා දිස්ත්‍රික්ක විසි පහේ චෛත්‍ය විසිපහක් හදනවා කියලා....”

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිහිපත් කොට රට පුරා චෛත්‍ය තනන බව කී ජනාධිපති පුත්‍රයා අනෙකකු ‍නොව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාය. ඒ ප්‍රවෘත්තිය ගුවන්විදුලියෙන් ඇසූ මා කල්පනා කළේ පියාගේ හා පුතාගේ වෙනස යි.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබූ ඇඟළුම් කම්හල් නිසා වර්තමානයේදී ද යුවතියන් රන් සිහිනය සැබෑ කරගනිමින් මුදල් උපයති. ශ්‍රම බළකාය වනාහී රටක අමිල සම්පතයි. එයින් බහුතරයක් ත්‍රීවිල් රියක නැගී මගියෙකු පැමිණෙනතුරු බලා සිටිනවා විනා නිෂ්පාදනයට දායක නොවෙති. රටකට කෘෂිකර්මාන්තය මෙන්ම යම් නිෂ්පාදනයක් සිදුවන කර්මාන්ත ශාලාද තිබිය යුතුයි. ඒ වෙනුවට අපි සහල් පවා පිටරටින් ආනයනය කරන්නට කැමැත්තෙමු.

රුවන්වැලි සෑය වැනි ලෝ පූජිත චෛත්‍යයක් තිබියදී නිරපරාදේ ධනය වැය කරමින් රට පුරා චෛත්‍ය සෑදීම අරුත්සුන් ක්‍රියාවක් නොවේද? දැවෙන ප්‍රශ්න රාශියක් තිබියදී ආගම දහම වෙත පුරවැසියා තල්ලු කර දමා මෙ‍ලොව නොව පරලොව යහපත සලසා ගන්නට ඉඩකඩ පාදා දීම දේශපාලන උපක්‍රමයක්. නූල් සූත්තරයක් මිස අන් කුමක්ද? මන්දපෝෂණයෙන්, විරැකියාවෙන් සියදිවි නසා ගැනීමෙන් හා අසාර්ථකත්වයෙන් ලොව බොහෝ රටවල් පරදවන ලංකාවේ දිස්ත්‍රික්ක නොව ග්‍රාමසේවක වසමක බැගින් චෛත්‍යයක් ඉදිකළද පලක් නැත්තේය. බුදු හිමියන් දෙසූ ධර්මය අවබෝධ කරගනිමින් ඒ අනුව කටයුතු කරනවා විනා පෙරළි පෙරළි වැඳීමේ අර්ථයක් ඇත්තේම නැත. වැව් පිළිසකර කිරීම වැනි ජන දුක නිවන අර්ථවත් වැඩපිළිවෙළක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අවධානය යොමු වේවායි ඕනෑම සැබෑ පුරවැසියකු ප්‍රාර්ථනා කරනවා නිසැකය. ඒ සමඟම බුදුහිමියන්

“බහුංවේ සරණං යන්ති

පබ්බතානි වනා නීච

ආරාම රුක්ඛ චේතියානී

මනුස්සා භය තජ්ජිතා”

දෙසූ වග සිහිපත් කරනු වටී.

“බියෙන් තැතිගත් ආදි කාලීන මිනිස්සු තම බියෙන් මිදීමට ගල් පර්වත, ගස්, කැලෑ, චෛත්‍ය සරණ යති. එය සැබෑ සරණක් නොවේ.”

බුදු හිමියන්

ධම්මපදය


නව අදහස දක්වන්න

Or log in with...