සිල්වලා පෙරේ­රලා ලංකා­වට ආ හැටි | දිනමිණ

සිල්වලා පෙරේ­රලා ලංකා­වට ආ හැටි

 මහානාම දුනුමාල

“අල්මාරියෙන් ගත් කලිසම ඇඳ ගත් සිල්වා බස්තම සොයන විට, ෆොන්සේකා කමිසයේ බොත්තම් දමමින් සිටියේ ය.”

ඉහතින් සඳහන් වාක්‍ය සිංහලෙන් ලියන ලද වැකියක් වුව ද එහි එන අල්මාරිය, කලිසම, සිල්වා, බස්තම, ෆොන්සේකා, කමිසය, බොත්තම් වැනි නාමපද සිංහලයේ නිපන් නාම පද නො වේ. ඒවා පෘතුගීසි බසින් සිංහලයට එකතු වූ පද වෙයි.

අපේ රටට ආක්‍රමණිකයන් සේ සැපත් වූ පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි යන යුරෝපීය ජාතීහු ආපසු යන විට ඔවුනට අයත් බොහෝ දේ මෙහි ශේෂ කොට ගියහ. ආගම දහම, ඇඳුම් පැලඳුම්, ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, කර්මාන්ත හා ආහාර පාන, වාණිජමය වැවිලි, නීති රීති හා පාලන ක්‍රම, ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම ආදි බොහෝ දේ මෙන් ම ස්ථාන හා පුද්ගල නාම ද ‍එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර වන නොයෙක් ආකාරයේ වචන රැසක් ද අපට ඔවුන්ගෙන් උරුම විය.

ලංකාවට පැමිණි පෘතුගීසීහු එක් අතෙකින් කඩුව රැගෙන එන විට අනෙක් අතින් බයිබලය රැගෙන ආ බව කියැවේ. ඒ අනුව ඔවුන් ලංකාවට ලබා දුන් ප්‍රබලතම දායාදය අදටත් ලංකාවේ සෑහෙන පිරිසක් අදහන ලබ්ධියක් වන ‘රෝමානු කතෝලික’ ආගමයි. (කිතු දහම අදහන්නන් අතුරින් අදටත් ඉතා විශාල පිරිසක් අදහන්නේ රෝමානු කතෝලික දහමයි.)

පාන්, බනිස් වැනි ආහාර හා ඒවා නිපදවන බේකරි කර්මාන්තය ලාංකිකයන්ට ලැබුණේ ද පෘතුගීසීන්ගෙනි. මුලින් ම පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස දුටු අපේ අය ඔවුන් පාන් කමින් මත්පැන් බොනු දැක කුඩුගල් සපා කමින් ලේ බොන බව කියා ඇත. ‘රාජාවලිය’ මේ සිද්ධිය මෙසේ වාර්තා කරයි. “අපගේ කොළොන්තොට ඉතා සුදු පැහැය ඇති ජාතියක් බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලාගෙන, යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරනවාය කියාත්, පාන් මුද්දිරප්පලම් අරක්කු කනු බොනු දැක කුඩුගල් සපා කමින් ලේ බොන්නන්න කියාත්, එක මාළු කූරියාට එක දෙසි ගෙඩියට රිදී රන් දෙක තුන දෙන්නන්න කියාත්, උන්ගේ කාලතුවක්කුව තියන වෙඩිල්ල ශබ්ද යුගාන්ධර පර්වත සෙනහඬටත් වැඩිය කියාත්, කාලතුවක්කු උණ්ඩය ගවුගණන් ගොසින් වන් කල ගල්කෝට්ට යකඩ කෝට්ටවල් පොඩි වෙයි කියාත් පමණක් නැතිව විස්තර කළහ.” (බලන්න, රාජාවලිය 222 පිටුව. සුරවීර සංස්කරණය,1997 මුද්‍රණය) මේ සිද්ධිය ‘අලකේශ්වර යුද්ධය’ ද මේ ආකාරයෙන් ම ඉහත සඳහන් වචන වලින් ම විස්තර කරයි. (බලන්න, අලකේශ්වර යුද්ධය 28 පිට. සුරවීර සංස්කරණය 1965 මුද්‍රණය) පෘතුගීසීන් එනු දුටු අය කුඩුගල් යයි රැවටුණු පාන් ඉතා ඉක්මනින් ම ලාංකිකයන් අතර ජනප්‍රිය වන්නට ඇත. බේකරි කර්මාන්තය ද අපේ අයට හුරුවන්නට ඇත.

පෘතුගීසි නම් බොහෝ ලාංකික සිංහලයන්ගේ නම් බවට ද ඇතැම් නම් සිංහල දෙමළ දෙපිරිස ම භාවිත කරන නම් බවට පත්ව ඇති ආකාරය ද අපූරු ය. ‘සිල්වා’ සහ ‘ද සිල්වා’ යන නම් ලාංකිකයන් බොහෝ දෙනෙක් සිය පෙළපත් හඟවන නම (surname) සේ භාවිත කරති. ඒ ඔවුන් පෘතුගීසි සම්භවයක් ඇත්තවුන් නිසා නො වේ. පෘතුගීසි පාලනයේ ආභාසයෙන් ඔවුන්ගේ මී මුත්තන් මෙම නම යොදාගන්නට ඇත. ලංකාවේ පමණක් නො ව බොහෝ පෘතුගීසි විජිතවල මේ නම බෙහෙවින් භාවිත වෙයි.

සිල්වා පමණක් නොව ‘පෙරේරා’ ද පෘතුගීසි ආරේ නමකි. සිල්වා කෙනෙක් පෙරේරා කෙනෙක් නැති ‍කුඩා නගරයක් වත් ලංකාවේ නැතැයි යන කියමනක් මා කලකට පෙර අසා ඇත. ඇත්තෙන් ම ඒ නම් එතරම් ම බහුල ය. පෙරේරා සිංහලයට එන්නේ ‘පෙරෙයිරා’ යන නම ඇසුරිනි. ‘නුඤ්ඤා අල්වාරිස් පෙරෙයිරා’ පෘතුගීසි සමයේ ලංකාවේ සිටි එක් පාලකයෙකි.

‘ප්‍රනාන්දු’ ලංකාවේ බහුලව භාවිත වන පෙළපත් නමකි. එය ඉංගිරිසියේ දී ‘Fernando’ වෙයි. මෙය පෙරේරා සහ සිල්වා යන නම් දෙක ළඟට ජනප්‍රිය ම පෘතුගීසි නම සේ හැඳින්වීමේ වරදක් නැත. ‘අල්මේදා’ හා ‘ද අල්මේදා’ නම් යෙදෙන අය ද අපේ රටේ සිටිත්. ‘දොන් ජෝර්ජ් ද අල්මේදා’ ද කලක් ලංකාවේ පෘතුගීසි ප්‍රදේශ භාරව සිටි පෘතුගීසි සෙන්පතියා විය. මුලින් ම ආවේ ‘ලොරෙන්සෝ ද අල්මේදා’ ය.

‘කොරයා’ නම ලංකාවේ බෙහෙවින් බහුල හලාවත ප්‍රදේශයේ ය. පෘතුගීසීන් ලංකාවේ සිටි සමයේ ම ඔවුනට විරුද්ධව සටන් වැදුණේ යයි කියන ‘ඩොමින්ගෝස් කොරයා’ (එදිරිල්ලේ රාල) සහ ඔහුගේ සොහොයුරු දොන් ජුවන් ධර්මපාල රජු වෙනුවෙන් සටන් කළ ‘සිමන් කොරයා’ (සිමන් කුරේ රාල) කොරයාවරු වෙත්. මේ දෙදෙන ජෙරනිමෝ කොරයා නම් සිංහල මුදලිවරයෙකුගේ පුත්තු ය. ‘සොයිසා’ අපේ වහරට එක්වන්නේ පෘතුගීසි ‘සූසා’ ඇසුරෙනි. ‘පේද්‍රැ ලෝපස් ද සූසා’ ලංකාවේ පෘතුගීසි පාලකයා වී සිටියේ ය.

ෆොන්සේකා, කබ්රාල්, කොස්තා, පීරිස්, ගෝමස්, සුවාරිස්, පිගේරා, කල්දේරා, නෝනිස්, වාස්, මෙන්ඩිස්, තිසේරා, පැස්කුවල්, පාරිස්, මෙල් (මැල්) වැනි නම්වල ඇත්තේ පෘතුගීසි ආභාසයයි. පීටර් සිඤ්ඤො, සයිමන් සිඤ්ඤො ආදි වශයෙන් අපේ රටේ බෙහෙවින් යෙදෙන නම්වල යෙදෙන ‘සිඤ්ඤො’ යන්න ද පෘතුගීසි බසින් අප එක් කරගත් වචනයක් වෙයි.

පෘතුගීසි බසින් සිංහලයට එක්වූ නාම පද ප්‍රමාණය ද බොහෝ ය. ඉන් මඳක් හෝ දැක්විය යුතු ය. නැතහොත් අපේ වියමන අසම්පූර්ණ වෙයි. අන්නාසි, අච්චාරු, අල්මාරි, කාමර, කුමේර, පෙදරේරු, රීප්ප, රෙකුලාසි, ඇස්කීසි, කලිසම්, කමිස, රවිකිඤ්ඤ, කපිරිඤ්ඤා, ජනේල, බන්දේසි, බීරලු, බෝංචි, බෝක්කු, සුමාන, වියෝල, ලේන්සු, කබා, ඉස්තාල, ගුදිර, ගාස්තු, විස්කෝතු, රේන්ද, රේගු, විනාකිරි, පෝරක, ලිංගුස්, ලීස්තර, වීදුරු, බෝල, කුස්සි, පෙනේර, ආයා, බුජම්, කසාද, සපත්තු මෙම නාමපද අතරින් කොටසක් පමණි.

පෘතුගීසි යුගය අප සිහිකරන්නේ අපට බොහෝ කරදර හිරහැර හා විනාශයක් ගෙනදුන් විනාශකාරී යුගයක් වශයෙනි. එහෙත් ඒ යුගයේ දී අපේ බසට, සංස්කෘතියට කොතරම් දේ එකතු වූයේ ද?


නව අදහස දක්වන්න

Or log in with...