සිඟා­ක­න්න­න්ගෙන් තොර සමා­ජ­යක්... | දිනමිණ

සිඟා­ක­න්න­න්ගෙන් තොර සමා­ජ­යක්...

කමල් පෙරේරා

“ග‍ඟෙන් වතුර බී මුහුදට ආවඩන්නෝ“ හිසින් බද්දරමල්ලට මා ලියූ තීරු ලිපියට ප්‍රතිචාර රැසක් ලැබෙමින් තිබෙනවා. ඒ ලිපිය මඟින් මා ප්‍රධාන කාරණා දෙකක් සමාජයේ අවධානයට ලක්කිරීමට උත්සාහ කළා. ඉන් එකක් තමා නම්බුකාර විදිහට පික්පොකැට් ගැසීමේ ක්‍රමය. අනිත් කාරණය ලෙස මා ඉස්මතු කළේ අදටත් සමාජයේ බහුතරයක් තුළ පවතින මිථ්‍යා විශ්වාස.

නම්බුකාර විදිහට පික්පොකැට් ගැසීම සඳහා වාංචනික කණ්ඩායම් විසින් උපයෝගී කර ගනු ලබන ක්‍රම හා විධි රැසක් තිබෙන බව මගේ ලිපිය කියවූ කිහිප දෙනෙක්ම මට පෙන්වා දුන්නා. බාරහාර ඔප්පු කිරීම වැනි අභිචාර විධීන්ට අමතරව මෙවැනි දේ කරන වංචනිකයන් විසින් අනුගමනය කරනු ලබන තවත් උපක්‍රමයක් හැටියට ආගමික ස්ථාන ගොඩනැගීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට අරමුදල් රැස්කිරීම පෙන්වා දෙන්න පුළුවන්.

මා පසුගිය ලිපියේ සඳහන් කළ බාරහාර ඔප්පු කිරීම පිළිබඳ අත්දැකීම් දෙක ලබන්නට සෑහෙන කලකට පෙර පන්සලක් ඉදිකිරීම සඳහා ආධාර ඉල්ලාගෙන පැමිණි වංචනිකයන් කණ්ඩායමක් හෙළිදරව් කරගැනීමට සමත් වූ ආකාරය ඔබේ දැනගැනීම සඳහා මෙහි විස්තර කරන්න කැමතියි. අපූරුම දේ වුණේ මේ කණ්ඩායමත් සමඟ හිමිනමක් සේ වෙස්වළාගත් පුද්ගලයකු ද පැමිණ සිටීමයි.

ඉතාම සිත්ගන්නාසුලු ආකාරයට ධර්ම චක්‍රය ද යෙදූ ලිපි ශීර්ෂයක සකස් කළ ලිපියක් ආධාර පත්‍රයක් ද සමග පයිල් කවරයක දමාගෙනයි ඔවුන් නිවෙස් කරා පැමිණෙන්නේ. මෙසේ පැමිණීමේදී සතියේ වැඩ කරන දවසක් තෝරා ගැනීමටත් ඔවුන් උත්සුක වෙනවා. මොකද මේ දවස්වල වැඩි වශයෙන්ම නිවෙස්වල රැ‍ඳෙනුයේ පිනට දහමට ලැදි ගෘහණියන් බව ඔවුන් අත්දැකීමෙන් දන්න නිසයි.

කුමන හෝ හේතුවක් නිසා සතියේ දවසක මා නිවසේ රැඳී සිටි වෙලාවක තමා යට කී කණ්ඩායම අපේ ප්‍රදේශයේ ආධාර එකතු කිරීමට පැමිණියේ. පයිල් කවරය අතැතිව සිටි තරුණ භික්ෂුවක් ලෙස පෙනී සිටි පුද්ගලයා දිහා බලන විටම මගේ හිතට සැකයක් ඇතුළු වුණා. පයිල් කවරය තුළ වූ ලිපිය කියවා බලද්දී පෙනී ගියේ අම්පාර ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මානයක ඉදිකරන විහාරස්ථානයක් වෙනුවෙන් ඔවුන් මේ ආධාර මුදල එකතු කරන බවයි.

“අම්පාරට කිට්ටු ප්‍රදේශවලින් මෙසේ ආධාර නොඉල්ලා මෙතරම් දුර බැහැර ප්‍රදේශවලට එන එක ඉතා වෙහෙසකාරී මෙන්ම වියදම් ද අධික වැඩක් නේද හාමුදුරුවනේ?“ කියා මා මුලින්ම විමසා සිටියා.

“ඒ පළාත්වල මිනිස්සු හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ මහත්තයා. ඒකයි දුර වුණත් අපි මේ නගරබද පැතිවලට එන්නේ.“ මගේ ප්‍රශ්නයට උත්තර බැන්දේ පිරිසේ සිටි වැඩිහිටියෙක්.

“හොඳයි, මාත් නිතරම අම්පාර පැත්තේ යනවා. මේ ලියුමට අත්සන් කරල තියෙන නායක හාමුදුරුවන්ගෙ ටෙලිෆෝන් නම්බර් එක දෙන්නකො... මං ඒ පළාතේ යන වෙලාවක පන්සලට ගිහිල්ලම ආධාරයක් කරන්නම්“

මම එහෙම කියපුවහම ඔවුන් එකිනෙකාගේ මුහුණු බලන්න පටන් ගත්තා. එවැනි ප්‍රශ්නයක් ඔවුන් බලාපොරොත්තුව නොසිටි බවකුයි මට සැණින් තේරුම් ගියේ. මඳක් නිහඬව සිට භික්ෂුවක ලෙස පෙනී හුන් තරුණයා කීවේ ලොකු හාමුදුරුවන්ට දුරකථන පහසුකම් නැති බවයි. එසේ නම් තරුණ භික්ෂුවගේ භික්ෂු හැඳුනුම්පත ළඟ තිබෙනවාද කියා ම‍ා දෙ‍වැනි පැනය විමසූ විට තරුණයාගේ මුහුණ රතු වුණා.

“මට තමුන්නැහැලව විශ්වාස කරන්න අමාරුයි. අනිත් එක අපි ගමේ පන්සලට ඇති තරම් උදව් කරනවා. ඒකෙන් ලැබෙන පින හොඳටම ඇති.“ මම පයිල් කවරය ආපසු භික්ෂු වෙසින් සිටි තරුණයා අතට දුන්නා. ලස්සනම වැඩේ ඔවුන් කවුරුවත් මාත් එක්ක තර්ක කරන්න ඉදිරිපත් නොවීම... “මහත්තයගෙ කැමැත්තක්“ කියපු පිරිස හීන්සීරුවේ යන්න ගියා.

වැඩිහිටි හා ළමා නිවාස සඳහා ආධාර එකතු කිරීමත් මේ කූට ජාවාරම්කාරයන්ගේ තවත් වංචාකාරී ව්‍යාපාරයක්. සැකයක් ඇති වීම වැළැක්වීම සඳහා ඔවුන් බොහෝ විට කරන්නේ මුදල් වෙනුවට කිරිපිටි පැකට්, සීනි, තේකොළ වැනි ද්‍රව්‍යමය ආධාර ඉල්ලා සිටීම. මනාව සැකසූ ආධාර පත්‍ර ඔවුන් සතුවද තිබෙනවා. එම ආයතනවල නම් ගම් ආදියත් ආධාර පත්‍රවල නිවැරදි ලෙස සටහන් කිරීමට තරම් ඔවුන් සූක්ෂමයි. මොකද එම ආයතනවල භාරකරුවන් හෝ පාලක පාලිකාවන් ලෙස කටයුතු කරන උදවියත් මේ කූට ව්‍යාපාරයේ කොටස්කරුවන් නිසා. ගෙවල් ගානේ ගිහින් එකතු කරගන්නා මේ ද්‍රව්‍යමය ආධාර ඔවුන් සමඟ ගනුදෙනු කරන වෙළෙඳසලකට දී මුදල් කරගැනීම තමා මොවුන් අනුගමනය කරන වැඩපිළිවෙළ.

මම මේ ලිපි මගින් උත්සහ කරන්නේ පින් කැමති ඇත්තන්ට කුසල් රැස්කර ගැනීමට තිබෙන අයිතියට බාධා කරන්න කියා කෙනකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම එවැනි අදහසක් පෙරදැරි කරගෙන නෙමේ ‍මම මේ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගන්නේ. අපි කවුරුත් අනුන්ගෙ දුක් කරදරවලදී සිත් තැවුල් ඇතිකර ගන්නා උදවිය. අප තුළ තිබෙන මේ මානව හිතවාදී ගුණය දඩමීමා කරගෙන කවුරුන් හෝ අයුතු ප්‍රයෝජනයක් ලබනවා නම් ඉන් වැළකී සිටීමේ අයිතියක් අපට තිබෙන බවයි මා පෙන්වා දීමට උත්සාහ කරන්නෙ.

නම්බුකාර පික්පොකට් ගැසීමක් වගේම නම්බුකාර සිඟාකෑමක් හැටියටත් මේ කූට ව්‍යාපාර හඳුන්වන්න පුළුවන්. තමන්ගේ සැබෑ අවශ්‍යතාව සමාජය හමුවේ අවංක ලෙස ඉදිරිපත් කර ගෞරවනීය ලෙස සිඟමන් යදින අයත් සමාජයේ සිටින බව අපි අමතක කරන්න නරකයි. ඒ කොහොම වුණත් මානසික සංවර්ධනයක් සහිත සමාජයක් ගොඩනඟන තුරු මෙවැනි පික්පොකට්කාරයන්ගෙන් හා යාචකයන්ගෙන් නිදහස් වෙන්න අපට ඉඩක් නැහැ. මිනිසා මනසින් දියුණු නොකර තාක්ෂණයෙන් පමණක් සංවර්ධනය වූ කල බොහෝ රටවල් අද අත්විඳිමින් සිටින මානසික විලංගුවල සිර වූ විවිධාකාර යාචකයන් ව්‍යාප්ත වීමේ අර්බුදය දෙසට අපිත් වේගයෙන් ගමන් කරමින් සිටින බවකුයි මේ චිත්‍රය අනුව පෙනී යන්නේ.


නව අදහස දක්වන්න

Or log in with...