ධීවරයා සීරුවෙන්! | දිනමිණ

ධීවරයා සීරුවෙන්!

2012දී රට පුරා ධීවර උද්ඝෝෂණයක් පැවැත්විණි. හේතුව භූමිතෙල් මිල ඉහළ දැමීම ය. එදා භූමිතෙල් ලීටරයක මිල රුපියල් එකසිය හයක් විය. ධීවරයෝ කළු කොඩි ඔසවමින්, පාරවල් අවහිර කරමින් පෙළපාළි ගියහ. පොලිස් හමුදාව යොදවා විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ය. කඳුළුගෑස්, බැටන් ප්‍රහාර හා ජල ප්‍රහාර ධීවරයන් වෙත එල්ල විය. අවසානයේ හලාවත ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවරයා පොලිස් වෙඩි පහරකින් මිය ගියේ ය. ඉනික්බිති විවිධ සාකච්ඡා, පරීක්ෂණ හා තවත් දේවල් සිදුවුව ධීවරයන්ගේ හිතසුව පිණිස ගත් ක්‍රියාමාර්ගයක් නොවී ය. එදා ආණ්ඩුව යටතේ සිදුවූ තවත් විනාශයක් වූයේ යුරෝපීය මත්ස්‍ය අපනයනය ඇනහිටීම ය. මේ අනුව ධීවරයා කබලෙන් ළිපට ඇද වැටී සිටියේ ය.

අද 2018 මැයි දහසයදා ය. දැන් භූමිතෙල් ලීටරයක් රුපියල් එකසිය එකකට අලෙවි වෙයි. එනම්; එදාට වඩා රුපියල් පහක් අඩුවෙන් අද භූමිතෙල් අලෙවි කරනු ලැබේ. එහෙත් ධීවර ප්‍රජාව තවත් උද්ඝෝෂණයකට අර අඳිමින් සිටින බවක් දකින්නට ලැබේ. වයඹ ධීවර ප්‍රජාව මුහුදු යෑම අත්හිටුවා ඇත. මීගමුව, හලාවත ආදී ප්‍රධාන ධීවර වෙළෙඳපොළවල් ඊයේත් පාළුවට ගොස් තිබිණි. ධීවර ගම්මානවල, වෙළෙඳ පොළවල්වල මෙන්ම ධීවර වරායවල්වල ද කළු කොඩි ඔසවා තිබේ. මාළු හිඟයක් නිර්මාණය වෙමින් පවතින අතර මිල සූත්‍රය ද කෙමෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබේ. තත්ත්වය තවදුරටත් මෙලෙස ම පවතින්නේ නම්; බරපතළ ගැටලුවක් නිර්මාණය වීමට හොඳටම ඉඩකඩ තිබේ.

ධීවරයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ භූමිතෙල් සහනාධාරය ලබා දෙනු යන්නය. ධීවර බෝට්ටු හිමි අයට මෙන්ම, විදුලිය නැති සමෘද්ධිලාභීන්ට ද මේ සහනය ලබාදිය යුතු බවට රජය තීන්දු කර තිබේ. එහෙත් මෙවැන්නක් හිටිහැටියේ ක්‍රියාත්මක කිරීම අපහසු ය. සුදුස්සන් තෝරා ගැනීම සඳහා නිවැරැදි තොරතුරු තිබිය යුතුය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ද, ධීවර දෙපාර්තමේන්තුවෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගන්නා බව රජය කියයි. එලෙසම තෙල් මිල ඉහළ ගියදා පටන් ගණනයට ලක්කොට ඉතා ඉක්මණින් සහන මුදල් අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කරන බව ප්‍රකාශ වී ඇත. ඒ අනුව ධීවරයන්ට දින කිහිපයක් බලා සිටින්නට සිදුවේ. ඒ දින කිහිපය බලා නොසිට රටේ කලබල ඇති කරන්නේ නම් එය හොඳ තත්ත්වයක් නොවේ.

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය කරන රටක් නොවේ. එබැවින් තෙල් මිල පාලනය සම්බන්ධයෙන් රජයට කළ හැකි දෙයක් නැති තරම් ය. 2015 දී තෙල් මිල පැවැතියේ බැරලයක් ඩොලර් හතළිස් ගණනට ය. එහෙත් ශීඝ්‍රයෙන් මිල වෙනස්වී අද වන විට තෙල් බැරලය ඩොලර් හැත්තෑ හත දක්වා ඉහළ ගොස් තිබේ. වසර කිහිපයක් තුළ දී තෙල් බැරලය අමෙරිකානු ඩොලර් තිස් ගණනකින් ඉහළ නැග තිබේ. අදටත් තෙල් සංස්ථාව දුවන්නේ පාඩුපිට ය. තෙල් සහනාධාර නිසා එම පාඩුව තවදුරටත් ප්‍රසාරණය වනු ඇත. අපට පෙනෙන හැටියට තෙල් මිල ඉහළ නොදමා ගත හැකි විකල්ප විසැඳුම් යෝජනාවක් නැත. රජය ඉදිරිපත් කර ඇති මිල සූත්‍රය නිසා මිල ඉහළ යන්නටත් පුළුවන. පහළ යන්නටත් පුළුවන.

භූමිතෙල් මිල මේ තරමින් ඉහළ ගියේ සිදුවූ ජාවාරමකට විසඳුමක් ලබාදීමට පියවර ගත් නිසා යැයි කිව හැකි ය. ඩීසල්වලට භූමිතෙල් කලවම්කොට අලෙවි කිරීමේ බලවත් ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙයි. මේ ජාවාරම අදටත් නතරවී නැත. ඩීසල්වලට පමණක් නොව; පැට්රල්වලට ද සුළු ප්‍රමාණයකින් භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක් ද පවතී. මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇත. භූමිතෙල් මිල ඉහළ දැමූවිට කලවම් කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. මේ අනුව කලවම් කිරීමේ ජාවාරම අඩුවන්නට හෝ නතරවන්නට හෝ පුළුවන. කෙසේවුව මෙබඳු තත්ත්වයකදී ධීවර ප්‍රජාව තරමක් සංසුන්ව සිදුවන්නේ කුමක්දැ’යි බලා සිටිය යුතු ය. ධීවර ප්‍රජාව එසේ කරන බවක් පෙනෙන්නට නැත.

සමස්තයක් ලෙස ගත් කල රටේ ජනතාවට විවිධ ප්‍රශ්න ඇති බව සැබෑවකි. එක් - එක් කාල වකවානුවලදී සමාජ - ආර්ථික හා දේශපාලනික ගැටලු මතුවීම ස්වාභාවයක් යැයි කියන්නට පුළුවන. රජයක් ඇත්තේ ඒවා විසඳමින් ජනතාවට සහන ලබාදීමට ය. එහෙත් සහන ලබාදීම සඳහා මැජික් පෙට්ටි හමුවන්නේ නැත. රජයක් විවිධ කළමනාකරණ උපායමාර්ග භාවිත කරමින් ජනතාවට සහන ලබාදීමට ක්‍රියා කරයි. ඒ සඳහා යම් කාලයක් ද තිබිය යුතුය. ගැටලුවලදී මස් රාත්තලම ඉල්ලා සිටීමේ න්‍යාය ගැළපෙන්නේ නැත. ඒ මගින් සිදුවන්නේ අර්බුදය තවත් දිග්ගැස්සීම පමණි. දියුණුම රටවල් ජනතා සහන කපාහරිනවා මිස ඒවා තවදුරටත් ව්‍යාප්ත කරන්නේ නැත. බොහෝ රටවල නොමිලේ සෞඛ්‍ය සේවා පවා නැත.

ධීවර ජනයාගේ එකම ගැටලුව භූමිතෙල් මිල ඉහළයෑම නොවන්නට පුළුවන. සැලැකිය යුතු කාලයකින් අතීතයට ගියහොත් ධීවර ප්‍රශ්න ගණනාවක් උපුටා ගත හැකි ය. දකුණු ඉන්දීය ධීවර යාත්‍රා අපේ මුහුද ආක්‍රමණය කිරීම එක ගැටලුවකි. යුරෝපීය මත්ස්‍ය අපනයනය අහිමිවීම තව ගැටලුවකි. ධීවර ක්ෂේත්‍රයේ පවත්නා ජාවාරම් හා මුහුදු කෑම තවත් ගැටලු ලෙස පෙන්වා දිය හැකි ය. ආණ්ඩුව මේවාට ප්‍රමාණවත් විසැඳුම් ලබාදී ඇති බව කිව යුතු ය. යු‍රෝපා මත්ස්‍ය තහනම මුළුමනින් ම ඉවත් කරගැනීමට හැකි වී ඇත. ඒ අනුව වසරකට යූරෝ මිලියන ගණනක ආදායමක් අපට ලැබේ. දකුණු ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීම සඳහා පියවර ගෙන තිබේ. ඉන්දීය බෝට්ටු අපේ මුහුද ආක්‍රමණය කිරීම බොහෝසෙයින් අඩුවී ඇත. මේවා ජයග්‍රහණ ලෙස සැලැකිය හැකි ය.

රටේ පැවැත්වෙන විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි හා වැඩ වර්ජන දෙස බලනවිට ආණ්ඩුව ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අයාලේ යන බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් විරෝධතාවල ද, ඇතැම් වැඩවර්ජනවල ද ඇත්තේ පොදු යහපත නොව; තම කණ්ඩායමේ ඉලක්ක ජයගැනීම පමණක් බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව ගනු ලබන හැම තීන්දුවක් ම සාධාරණ යැයි ද, නිවැරැදි යැයි ද අප කියන්නේ නැත. එහෙත් තෙල් ප්‍රශ්නයේ දී මිල නැංවීම හැර වෙනත් විසැඳුමක් නැත. භූමිතෙල් පමණක් හෝ පරණ මිලට අලෙවි කළ හැකිනම් එය වැදගත් ය. එසේ කළ නොහැකි නම් තෝරාගත් ජන කණ්ඩායම්වලට සහන ක්‍රමය වහා ක්‍රියාත්මක කිරීම වැදගත් ය.

නව අදහස දක්වන්න