12න් පහළ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට බාසිලෝනා පාපන්දු සමාජයේ චාරිකාවක් | දිනමිණ

12න් පහළ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට බාසිලෝනා පාපන්දු සමාජයේ චාරිකාවක්

වර්නන් ගුණසේකර
ෆවුස් මොහොමඩ්

නෙස්ලේ ලංකා ආයතනයෙන් තවත් උදාර මෙහෙවරක්

තෝරාගැනීමේ තරගාවලියට පළාත් 9කින් දරු දැරියෝ 12,600ක්

දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි වයස අවුරුදු 12න් පහල පාසල් පාපන්දු තරගාවලියක් පවත්වා එයින් තෝරා ගැනෙන දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට ලොව සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ පාපන්දු පාසලේ සිවු දින පුහුණු කඳවුරකට සහභාගි වීමට අවස්ථාව සැලසීමේ උදාර මෙහෙවරකට නෙස්ලේ මයිලෝ ඉදිරිපත්ව සිටී.

අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ නෙස්ලේ ලංකා ආයතනයේ ‘මයිලෝ‘ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන සමස්ත ලංකා වයස අවුරුදු 12න් පහල පාපන්දු තරගාවලිය සමගින් මේ Road to Barcelona වැඩසටහන ආරම්භ කෙරේ.

බාලක කණ්ඩායම් 800ක් හා බාලිකා කණ්ඩායම් 250ක් තරග වදින මේ තරගාවලියට සහභාගි වන ළමයින්ගේ සංඛ්‍යාව 12,600කි. වර්ෂ 2007 හා 2008 වර්ෂවල උපන් බාලක බාලිකාවන්ට මේ තරගාවලිය විවෘත වෙයි.

තරගාවලියේ ප්‍රදර්ශනය වන දක්ෂතා හා වටිනාකම් අනුව හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් කඳවුරකට යොමු කෙරෙනු ඇත. ඉන්පසුව ප්‍රවීණ පුහුණුකරුවන් පැනලයක් විසින් BRACA Academy නමැති බාසිලෝනා ක්‍රීඩා සමාජ පාපන්දු පාසල වෙත යන දක්ෂතම ළමයින් හය දෙනා එම කඳවුරෙන් තෝරා ගැනේ. මෙය කෙනෙකුට ජීවිත කාලයේ එක් වරක් පමණක් ලැබෙන වරමකි.

මීට අමතරව, මේ තරගාවලියට සහභාගි නොවන ළමයින්ටද තේරීම් කඳවුරට සහභාගි වීමේ අවස්ථාව හිමි වේ. ඒ, මයිලෝ ග්‍රෑම් 400 පිටි පැකට්ටුවක උඩු පියන්පතේ සඳහන් අසමසම අංකය 6456 ට SMS කිරීමෙනි. මේ පිළිබඳ වැඩි විස්තර Milo Sri Lanka ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි බව අනුග්‍රාහකයෝ දන්වා සිටිති. (www.facebook.com/MiloSriLanka)

බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය තුළ ‘නිහතමානී බව’, ‘උත්සාහවන්ත බව’, ‘අරමුණ’, ‘ගරුත්වය’ හා ‘කණ්ඩායම් හැඟීම’ යන මූලික වටිනාකම් පවතී. මේ අගයන් මත පදනම්ව ළමා පරපුරට ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමේ හා යහපත් ජීවන රටාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන මයිලෝ හා බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය අතර සිවු වසරක ගෝලීය එකඟතාවක් ඇති කරගෙන තිබේ. ඒ අනුව මේ දෙපාර්ශවය එක්වී වැඩි ළමයින් ගණනක් ක්‍රීඩාවල යෙදීමට දිරිමත් කරන ක්‍රීඩා වැඩසටහන් රාශියක් නිර්මාණය කර තිබේ. Road to Barcelona මේ ගෝලීය එකඟතාව අනුව යමින් දියත් කෙරෙන විශේෂ වැඩසටහනකි.

‘අද ලංකාවේ පාපන්දු ක්‍රීඩාව උඩින් ඔපේට තිබුනත් යටින් එය කඩා වැටිලා. මේ ව්‍යායාමය එය යළි නගා සිටුවීමටයි. පොඩි දරුවන්ට පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මේ වැඩසටහන ගෙන ඒම ගැන මම නෙස්ලේ ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මට්ටමට යා හැකි දරුවන් මේ තරගාවලිය තුළින් බිහිවේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා’ යැයි Road to Barcelona හා අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලිය පිළිබඳව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පෙරේදා සවස පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැතිවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පවසා සිටියේය.

පාපන්දු බාලක බාලිකාවන්ගේ දස්කම්ද ප්‍රදර්ශනය වෙමින් පැවැති මේ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුනිල් ජයවීර මහතා මෙසේද කියා සිටියේය.

‘ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. නමුත් ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. අද හැම තැනකම ළමයින් විකට්ටුවට බෑග් එකක් හරි තියලා ක්‍රිකට් ගහනවා. එදා පාරේ හැම තැනම දකින්නට ලැබුනේ ළමයින් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටින අයුරුයි. ක්‍රිකට්වලට වඩා ෆුට්බෝල් අපේ රටේ ජනප්‍රියව තිබූ කාලයක් ඉස්සර තිබුණා. බදුල්ලේ පාල ලා, පී.ඩී.සිරිසේනලාගේ නම් එදා හරිම ජනප්‍රියයි. අද නමින් කියන්න පුළුවන් පාපන්දු ක්‍රීඩකයන් අපට නැහැ. එවැන්නන් නැවත බිහි කිරීමේ මූලාරම්භයක් ලෙස මේ තරගාවලිය හඳුන්වන්න පුළුවනි. ළමයින් හය දෙනෙකුට ලෝකයේ සුප්‍රසිද්ධ පාපන්දු සමාජයක අත්දැකීම් විඳගන්න අවස්ථාව ලබා දීම ගැන මම නැවත වතාවක් නෙස්ලේ ආයතනයට මගේ විශේෂ ප්‍රණාමය පුද කරන්න කැමතියි.’

‘ක්‍රීඩාව සාර්ථක වෙන්න නම් එය ජනතාව අතරට ගෙනයා යුතුයි. දැන් දැන් පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වී ඇත්තේ රග්බි ක්‍රීඩාවයි. පාසල් රග්බි තරග නැරැඹීමට දසදහසක පමණ ක්‍රීඩාලෝලීන් පිරිසක් එක් වෙනවා. එවැනි ජනප්‍රියත්වයක් පාපන්දු ක්‍රීඩාවටත් එක් කරලීමට මේ වැඩසටහන ඉවහල් වේවි කියා මා බලාපොරොත්තු වෙනවා.’ සුනිල් ජයවීර මහතා සඳහන් කළේය.

‘රෝඩ් ටු බාසිලෝනා’ වැඩසටහන තුළින් මෙරට පාසල් පාපන්දු ක්‍රීඩාවට ලැබෙන දිරිගැන්වීම මත තවත් වසර 5ක් ගතවනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ පුනර්ජීවයක් උදාවනු ඇතැයි මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. මෙරට නගරාශ්‍රිතව පමණක් නොව ග්‍රාමීය මට්ටමෙන් ද දරු දැරියන් මං මාවත්වල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනු සුලබ දසුනක් බවත්, තවත් වසර ගණනාවක් ගතවනවිට දරු දැරියන් මංමාවත්වල පාපන්දු ක්‍රීඩාවේ නිරතවන සංස්කෘතියක් මේ තුළින් බිහිවනු ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා විශ්වාසය පළ කළේය.

‘පාසල් දරු දැරියන් ක්‍රීඩාවට යොමු කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය අභියෝග කිහිපයකට මුහුණ දෙනවා. පාසල් දරුවන් ක්‍රීඩාව සඳහා අවදි කිරීමට අපිට හැකිවුණත් ඔවුන්ගේ මාපියන් මෙන්ම ගුරුවරුන් අතරත් එවැනි උනන්දුවක් ඇති කරලීම අභියෝගයක්. මාපියන්ගේ මනස ක්‍රීඩාව දෙසට හැරවීම අභියෝගයක්. මා හොඳින්ම දන්නවා රොෂාන් මහනාම වැනි හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ පියා හෝ මව නිරන්තරයෙන්ම දරුවන්ගේ ක්‍රීඩා දස්කම් පසුපස සිටියා. ඔවුන් සමග ක්‍රීඩා පිටියට පැමිණෙනවා. අධ්‍යාපනය අමතරව ක්‍රීඩාව සඳහාත් මාපියන් පොළඹවා ගත යුතුයි.’ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේය.

පාසල් සිසුන් සෞඛ්‍යමත් හා ක්‍රියාශීලී ජීවන රටාවක් කරා යොමු කරවීමත්, ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී මාවතට ඔසවා තැබීමටත් නෙස්ලේ ලංකා සමාගම නිරතුරුවම කැපවී සිටින බව මෙහිදී අදහස් පළ කළ එම සමාගමේ උපසභාපතිවරයකු වන නෝමන් කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය.

‘වසර 30ක් පුරා පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දායකත්වයක් ලබාදෙමින් දරු දැරියන්ගේ ක්‍රීඩා දස්කම් වර්ධනය කරගැනීමට අප ආයතනය කටයුතු කරමින් සිටිනවා. මෙරට කුඩා පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමෙන් පුහුණු කඳවුරකට සහභාගි කරවිමට අවස්ථාවක් ලැබිම ගැන සැබැවින්ම ආඩම්බරයට පත්වෙනවා.’ ඔහු කීවේය.

වසර 25ක් පුරා පාසල් වර්ණ ප්‍රදානෝත්සවයට අනුග්‍රාහකත්වය සපයමින් ඔවුන්ගේ දස්කම් ඇගැයිමට ලක් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා උදාර පියවරට අපිත් හවුල්කරුවන් වුණා. එවැනි අවස්ථාවක් අපිට ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට අපගේ නොමඳ ස්තූතියත්, ගෞරවයත් පිරිනමනවා.’ යැයි මාධ්‍ය හමුවට එක්වූ නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපතිවරයකු වන බන්දුල එගොඩගේ මහතා සඳහන් කළේය.

ඡායාරූප - තිලක් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...