ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩිකා චාමනී එමිරේට්ස් පිල සමඟ දෙවැනි ඉනිම අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩිකා චාමනී එමිරේට්ස් පිල සමඟ දෙවැනි ඉනිම අරඹයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළින් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වූ චාමනී සෙනෙවිරත්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා පිල නියෝජනය කරමින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වී සිටී. වසර 1997 සිට ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩා කළ චාමනී 2014දී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයට සේන්දුවී ක්‍රීඩාවේ නිරතවූවාය. ඇය මේ වනවිට සෙයිඩ් ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකාරිනියක හා ශාරිරික යෝග්‍යතා පුහුණුකාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 80කටත්, විස්සයි20 තරග 32කටත් ක්‍රීඩා කළ චාමනී සෙනෙවිරත්න පාකිස්තාන පිලට එරෙහිව වසර 1998 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 105ක් රැස් කිරිමට සමත්වූවාය. එය ශ්‍රී ලංකා කාන්තා පිල ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගය ද වෙයි.

අනුරාධපුරයෙන් බිහිවූ මේ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකාව කලක් ජාතික කාන්තා පිලේ නායිකාව ලෙසත් කටයුතු කළ අතර ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙමින් සිටී.

අබුඩාබියේ ක්‍රිකට් ඇකඩමියේ නායිකාව ලෙස කටයුතු කරමින් ඇය පසුගියදා එරට කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූයේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්වෙමිනි. මේ වනවිට 40 හැවිරිදි වියෙහි පසුවන ඇය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක ලෙස කටයුතු කරමින් අවසන් මහා තරගයේදී ඩෙසර්ට් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 56කදී ලකුණු 80ක් රැස් කරමින් ලකුණු 13ක ජයක් සිය කණ්ඩායමට ගෙන දීමට සමත්වූවාය.

ඇගේ මේ දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ලබන ජූලි මස 3 සිට 14 දක්වා නෙදර්ලන්තයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් පිලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත්. කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කිරීමේ අවස්ථාවත් හිමිකරගත්තාය.

ශ්‍රී ලංකාවෙන් සමුගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පැමිණීමෙන් පසුව නැවත කිසිදිනෙක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමට ලැබෙනු ඇතැයි නොසිතූ බවත්, නැවතත් වෙනත් රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමට අවස්ථාවක් ලැබිම සතුටට කරුණක් බවත් ඇය කියන්නීය.

උදේනි කුරුප්පුආරච්චි, ඉෂානී සෙනෙවිරත්න සහ කවීෂා කුමාරි එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් පිලට එක්වී සිටින සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ වෙති.


නව අදහස දක්වන්න

Or log in with...