බ්‍රිතාන්‍ය තවත් රග්බි ක්‍රීඩකයෙක් අබිරහස් ලෙස මිය යයි | දිනමිණ

බ්‍රිතාන්‍ය තවත් රග්බි ක්‍රීඩකයෙක් අබිරහස් ලෙස මිය යයි

විජයානි එදිරිසිංහ
රක්ෂණ ශ්‍රියන්ත

බ්‍රිතාන්‍යයේ සිට මෙරට පැවැති සුහද රග්බි තරගාවලියකට සහභාගිවීමට පැමිණි එරට ක්‍රීඩකයකු පසුගියදා (13) හදිසියේ රෝගාතුර වී මියගිය අතර ඔහු සමඟ රෝහල් ගතකළ අනෙක් ක්‍රීඩකයා ද ඊයේ (15) දහවල් මියගිය බව පොලිසිය කියයි

කලින් මියගිය 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෲ යන අයගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (15) කොළඹ මහ රෝහලේදී සිදුකෙළේය. එහිදී එම ක්‍රීඩකයා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කැර ඇති බවට කරුණු අනාවරණය වුවත් ඔහුගේ මරණයට හේතුව අනාවරණය නොවූ බැවින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර මරණ පරීක්ෂකවරයා එම මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකැර ඇත.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම 12 දින පැවැති සුහද රගර් තරගාවලියට සහභාගි වී අනතුරුව එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි වී ඇත.

අනතුරුව ඔවුන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙනා සහ කළමනාකරු ද සමඟ කොටුවේ පිහිටි ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් තිබේ. තවද ඔවුන් එදින රාත්‍රියේ යළිත් කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එහිදී විනෝද වී ආපසු ‍කණ්ඩායම් වශයෙන් නවාතැන් ගත් හෝටලය වෙත පැමිණ ඇත. පසුදින (13) පෙරවරුවේ එම ක්‍රීඩකයන් දෙදෙනා හදිසියේ ශ්වසන ආබාධයකින් රෝගාතුර වී ඇති බැවින් හෝටලයේ කළමනාකරු විසින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කැර තිබුණි.

පැය කිහිපයකින් එනම් එදින දහවල් 12.00 ට පමණ ඇන්ඩෲ නැමැති ක්‍රීඩකයා රෝහලේදී මියගිය බව වාර්තා විය.

පසුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවිණි. එම ක්‍රීඩකයාගේ ඥාතීන් පැමිණි පසු ඊයේ (15) මේ ආකාරයෙන් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

ඊයේ (15) මියගිය 26 හැවිරිදි අනෙක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාගේ මෘත ශරීරය ද කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත. එම මරණ පරීක්ෂණය ද අද (16) සිදුකිරීමට නියමිත බව පොලිසිය කියයි.


නව අදහස දක්වන්න

Or log in with...