සොරකම් ඉහළට ගෙනාවේ රාජපක්‍ෂ පාලනයයි | දිනමිණ

සොරකම් ඉහළට ගෙනාවේ රාජපක්‍ෂ පාලනයයි

චමීර ඇල්ලදෙණිය

දුර්වලම පුද්ගලයා ගෝඨාභයයි

ශ්‍රී ලංකාවේ සොරකම් උච්ඡස්ථානයට ගෙනාවේ රාජපක්‍ෂ පාලන කාලේ බවත් ඒ නිසා රාජපක්‍ෂවරුන්ට රට හදන්න පුළුවන් කියා අපේ රටේ ජනතාව විශ්වාස නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

රාජපක්‍ෂ පවුලේ දේශපාලනය අතින් දුර්වලම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවත් ඔහු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අලුත් එකක් නොවන අතර, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාලයේ කතා කළ ආර්ථික ප‍්‍රතිපත්තියම බව හේරත් මහතා කීය.

බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ප්‍රචාරක ලේකම්වරයා තනි පුද්ගලයින් මත දේශපාලනය රදා නොපවතින බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් කතාකළ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

අපි තනි තනි පුද්ගලයින් ගණන් ගන්න දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. අපි එදා අභියෝගයකට මුහුණ දෙන්න මහින්ද රාජපක්‍ෂ ගෙනාවා. ඒ වගේම අපි මහින්ද රාජපක්‍ෂ යවන්නත් කටයුතු කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ආවේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා. ඒත් කරගන්න බැරි වුණා. ඒ නිසා මෙම අර්බුදවලට තනි තනි පුද්ගලයන් විදිහට උත්තර හොයන්න බැහැ. මහින්ද කියන්නේ ගෝඨාභයට වඩා ‘පොරක්’ කියලානේ කියන්නේ. ඒත් මහින්ද රාජපක්‍ෂ ඇවිල්ලා රට විනාශ කරලා ගියා. ලංකාවේ සොරකම් උච්ඡස්ථානයට ගෙනාවේ රාජපක්‍ෂ පාලනය කාලේ. ඒ නිසා රාජපක්‍ෂවරුන්ට රට හදන්න පුළුවන් කියා අපේ රටේ ජනතාව විශ්වාස කරන්නෙත් නැහැ. රාජපක්‍ෂ පවුලේ දේශපාලනය අතින් ගත්තාම දුර්වලම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ. ඔහු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අලුත් එකක් නෙවෙයි. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පහුගිය කාලයේ කතා කරමින් හිටපු ආර්ථික ප‍්‍රතිපත්තියම තමයි ගෝඨාභය රාජපක්‍ෂත් ඉදිරිපත් කෙළේ.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්වන ලාල් කාන්ත, වසන්ත සමරසිංහ මහත්වරුද එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...