සමෘද්ධි ව්‍යාපාරය කාගෙද? කාටද? | දිනමිණ

සමෘද්ධි ව්‍යාපාරය කාගෙද? කාටද?

27000කට ආසන්න නිලධාරීහු පිරිසක් මේ වන විට විවිධ තනතුරු දරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ සිටිති. ඒ අනුව ආසන්න වශයෙන් සෑම සමෘද්ධිලාභීන් 51 දෙනකු වෙනුවෙන් එක් සමෘද්ධි නිලධාරියෙක් බැගින් සිටියි. සමස්ත ලංකා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතාට අනුව 2018 වර්ෂයේ දී මේ නිලධාරියෙක් සියලු දීමනා සමඟ රුපියල් 40, 000කට ආසන්න වැටුපකට හිමිකම් කීය.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙමින් සිටින ප්‍රබලතම සමාජ හා ආර්ථික ගැටලුවක් වන්නේ දරිද්‍රතාවයි. නිදහස දිනාගත් 1948 වසරේ සිට මේ දක්වා දිළිඳුකම හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහය යටතේ විවිධ වැඩසටහන් දියත් වුවද ලංකාවේ දරිද්‍රතා දර්ශකය (2012/13) 6.7කි. මෙහි දී ලංකාවේ ජනගණයෙන් වැඩි පිරිසක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතා දර්ශකය 7.6ක් වේ. මේ තත්ත්වය තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කළ විවිධ වැඩසහන්වල අදාළත්වය අදත් ඒ ආකාරයෙන් ම ප්‍රමුඛව පවතී. එහෙත් රජයේ සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විශේෂඥයන්ගේ ප්‍රමුඛ ප්‍රශ්නයක් වී ඇත්තේ දශක ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන විවිධාකාර සමාජ ආරක්ෂණ හා සුබසාධන වැඩසටහන් මඟින් ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට නොහැකි වූයේ කුමන කරුණක් නිසාද? යන්නයි.

ඉහත සඳහන් ප්‍රශ්නය මේ වන විට සමාජය තුළ ප්‍රබලාකාරයෙන් සාකච්ඡා වන්නේ පසුගිය 06 වැනි දා කොළඹ දී පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැළියේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශයක් හේතුවෙනි. අගමැතිවරයා ප්‍රකාශ කළේ ලක්ෂ 14ක් පමණ වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීමට නව ක්‍රමවේදයක් සැකසීමට ආණ්ඩුව සූදානම් වන බවය. එහි දී අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ දශක දෙකකට අධික කාලයක් පුරා සුදුසුකම් හිමිව තිබියදීත් සමෘද්ධි සහනාධාර නොලැබූ පවුල් 380, 000කට පමණ නව ක්‍රමය යටතේ සමෘද්ධි හිමිකම ලැබෙන බවයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය දේශපාලන හා සමාජයීය වශයෙන් සාකච්ඡා වෙමින් තිබිය දී පසුගිය 11 වැනිදා කොළඹ දී පැවැති 2018 වර්ෂයේ මුල් කාර්තුවේ මූල්‍ය තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමෘද්ධි වැඩසටහන සම්බන්ධ ආණ්ඩුවේ නව සැලසුම පිළිබඳ හෙළි කිරීමක් කළේය. සමෘද්ධි බැංකුව රජයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගැනීමක් නොකරන බවත් සමෘද්ධි කළමනාකරණ කමිටුවේ කටයුතු නියාමනය කිරීම සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බවත් එහි දී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහබැංකු මතය

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති මහජන මුදල් ක්‍රමානුකූලව පාලනය කිරීමේ, ආරක්ෂා කිරීමේ හා ප්‍රතිලාභ ලබාදීමේ කටයුතු නිසි පරිදි කළමනාකරණයට, නියාමනයට සමෘද්ධි කළමනාකරණ කමිටුවේ කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමට එම කමිටු නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහයෝගය ලබාදීමට මහ බැංකුව මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සමෘද්ධි අරමුදල නියාමනය කෙරෙහි අවධානය යොමු කිරීම විවිධ අංශවල දැඩි සාකච්ඡාවට ලක්ව තිබේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ පසුගිය 1996 වසරේ සිට දීපව්‍යාප්තව අඛණ්ඩව ක්‍රියාත්මක වන දැවැන්තම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සමෘද්ධි වැඩසටහන වීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අනුව (පසුගිය 08 වැනිදා පැවැති මාධ්‍ය හමුව) 2017 වර්ෂයේ දී සමෘද්ධිලාභීහු 13, 88, 242ක් රට පුරා සිටියහ. උපරිමය (2017දී) රුපියල් 3500ක් ද අවමය රුපියල් 1000ක් ද වන සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීම සඳහා රජය 2017 දී පමණක් අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 40ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.

මේ අනුව අපට තවත් සුවිශේෂී තත්ත්වයක් හඳුනාගත හැකිය. එනම් මේ මාසික සමෘද්ධි දීමනාව ශ්‍රී ලංකාවේ අන්ත දරිද්‍රතාවය දර්ශකයේ සටහන් වන (එනම් ශ්‍රී ලංකාවේ පුද්ගලයකු සඳහා දිනකට ඩොලර් 1.90ක්) සියයට 1.9ක පුද්ගල කාණ්ඩය දෛනිකව උපයන මුදලට ද වඩා අඩු අගයක් ගන්නා බවයි. එනම් සමෘද්ධි ප්‍රතිලාභයේ උපරිමය වන රුපියල් 3500 ලබන පුද්ගලයකුට සමෘද්ධි සහනාධාරය මඟින් දෛනිකව හිමිවන්නේ රුපියල් 116ක් පමණ වන අතර අවමය වන රුපියල් 1000ක දීමනාව සඳහා දෛනික අගය වන්නේ රුපියල් 33.33ක් වැනි සොච්චමක් බවයි. ද්‍රරිද්‍රතා දර්ශකය සියයට 6.7ක් (2018 දී මීටත් වඩා අඩු විය හැකියි) වන රටක සමස්ත ගෘහ ඒකක සංඛ්‍යාවෙන් සියයට 23ක් පමණ සමෘද්ධි සහනාධාරයට හිමිකම් කියන්නේ නම් අප හමුවේ හෙළිවන සංඛ්‍යාලේඛනාත්මක කරුණ වන්නේ රජය විසින් පිළිගන්නා නිල දරිද්‍රතා සංඛ්‍යා ඔබ්බට ගිය සියයට 16ක් පමණ ද්‍රරිද්‍රතාවයට පත් නොවී සමාජ ආරක්ෂණ ප්‍රතිලාභවලට හිමිකම් කියන බවයි. මෙහි ඇති වඩාත් භයානක තත්ත්වය වන්නේ, පුරා වසර 23කට අධික කාලයක් අඛණ්ඩව මේ තත්ත්වය පැවතීම හා එය තවත් බොහෝ කාලයක් අඛණ්ඩව සිදුවනු ඇති බවට සහතිකයක් ද තිබීමයි.

නිලධාරි සංඛ්‍යාව

මේ සමඟ තවත් සංකීර්ණ ප්‍රශ්නයක් සමාජය හමුවේ නිරාවරණය වේ. එනම් ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන පිරිසට සාපේක්ෂව ඔවුන් කළමනාකරණය කිරීම වෙනුවෙන් සිටින සමෘද්ධි නිලධාරීන් පිළිබඳය. ඍජුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් සැලකිය හැකි 27000කට ආසන්න නිලධාරීහු පිරිසක් මේ වන විට විවිධ තනතුරු දරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ සිටිති. ඒ අනුව ආසන්න වශයෙන් සෑම සමෘද්ධිලාභීන් 51 දෙනකු වෙනුවෙන් එක් සමෘද්ධි නිලධාරියෙක් බැගින් සිටියි. සමස්ත ලංකා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතාට අනුව 2018 වර්ෂයේ දී මේ නිලධාරියෙක් සියලු දීමනා සමඟ රුපියල් 40, 000කට ආසන්න වැටුපකට හිමිකම් කීය. රුපියල් 1000 - 3500 ත් අතර සමෘද්ධි දීමනාවකට හිමිකම් කියන පුද්ගලයන් 51 දෙනකු වෙනුවෙන් රුපියල් 40, 000ක මාසික වැටුපකට හිමිකම් කියන නිලධාරියෙක් සේවයේ යෙදවීමේ සත්‍ය හේතුව කුමක් විය හැකිද යන්න මේ අනුව අප වටහා ගත යුතුය.

මේ පසුබිම සමඟ තවත් කරුණක් කෙරෙහි ද අප අපගේ අවධානය යොමු කළ යුතුය. ඒ 1996 සිට 2015 දක්වා සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීම, සමෘද්ධි නිලධාරීන් බඳවා ගැනීම, සමෘද්ධි බැංකු හරහා ණය ලබාදීම ඇතුළු කටයුතු කෙසේ සිදු වුණේ ද? යන්නයි.

සමෘද්ධි ව්‍යාපාරයට මතවාදී පදනම ලැබෙන්නේ 1994 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙනි. එහි දී පොදු පෙරමුණ ජනතාවට දුන් පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය 1989 සිට (1989 අංක 4 දරන ජනසවි පනත) විසින් ක්‍රියාත්මක කළ ‘‘ජනසවිය’’ (දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන) වෙනුවට වඩා පුළුල් හා ශක්තිමත් පදනමක් මත ‘‘සමෘද්ධි’’ නමින් වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 1995 දෙසැම්බර් මාසයේ මධ්‍යභාගයේ දී 1995 අංක 30 දරන ‘‘ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරි පනත’’ සම්මත කර ගත්තේය. පනත අනුව අධිකාරියේ කර්තව්‍ය වූයේ ‘‘සමාජයේ තරුණයන්, ස්ත්‍රීන් සහ අවාසිසහගත තත්ත්වයට පත්ව ඇති කණ්ඩායම්වල ආර්ථික සහ සමාජික තත්ත්වය වැඩි දියුණු කිරීමයි. ඒ අනුව පනතේ (4)වන පරිච්ඡේදයේ (අ) සිට (ඊ) දක්වා විවිධ කර්තව්‍ය දක්වා තිබිණි.

පක්ෂපාතීකම

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේදීම එය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට, විශේෂයෙන් ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ට ආකර්ෂණීය විය. ඒ 1977 -1994 එජාපයේ 17 වසරක පාලන සමය තුළ විවිධ සමාජ ආරක්ෂණ (ජනසවිය ඇතුළුව) ප්‍රතිලාභ ලැබීමෙන් දුරස්ථව සිටි ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහසුවෙන් හා වරප්‍රසාදලාභී ලෙස මෙම ප්‍රතිලාභයට හිමිකම් කීමට හැකිවීම හේතුවෙනි. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ දී පවුල් ලක්ෂ 20ක් පමණ එහි ප්‍රතිලාභීහු බවට පත් වූහ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දේශපාලන පක්ෂපාතීත්වය ඍජු කරුණ වූ හෙයින් එජාප පාක්ෂිකයන්ට සුදුසුකම් තිබුණත් ප්‍රතිලාභයට හිමිකම් කීමට අවස්ථාව ඇහිරුණි. එමෙන්ම 17 වසරක් විපක්ෂයේ සිටි ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ට ද සමෘද්ධි ව්‍යාපාරය යනු පහසුවෙන් රජයේ රැකියාවක් ලබාගත හැකි අවස්ථාවක් විය. ඒ අනුව ශ්‍රීලනිපයේ ක්‍රියාකාරීන් ඍජුව සමෘද්ධි නිලධාරීන් ලෙස තෝරා ගැනුණි. මේ වන විට විට ලක්ෂ 14ක් වන සමෘද්ධිලාභීන් සහ 27000ක් පමණ වන සමෘද්ධි නිලධාරීන්ගෙන් අති බහුතර ශ්‍රීලනිප හෝ ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වූවන්ගෙන් සමන්විත වන බවට ඍජු චෝදනාවක් තිබෙන්නේ, සමෘද්ධි නිලධාරීන් හා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ආරම්භයේ සිට අනුගමනය කළ දේශපාලන පක්ෂපාතීත්වය නිසා බව පැහැදිලිය.

ප්‍රතිලාභ සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් ප්‍රතිලාභය නොලැබුණු පවුල් 380, 000කට අලුතින් සමෘද්ධි හිමිකම ලබාදීමට පියවර ගන්නා බව අගමැතිවරයා පසුගිය මැයි රැලිය දා අවධාරණය කළේ 23 වසරක් පුරා සමෘද්ධි ව්‍යාපාරය ආශ්‍රිතව ප්‍රදර්ශනය වූ මේ දේශපාලන පක්ෂපාතීත්වය නිසා බව පැහැදිලිය.

දේශපාලන පදනම මත සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගත් ආකාරයෙන්ම දේශපාලන පදනම මත පත්වීම් ලද සමෘද්ධි නියාමකවරුන්, කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් ආරම්භයේ සිටම අඛණ්ව ශ්‍රීලනිප දේශපාලන ක්‍රියාකාරීන් ලෙස ඍජුව ක්‍රියාකළ බවත් කිසිවෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකිය. 1995 සිට සමෘද්ධි විෂයභාර ඇමැතිවරයා වූ එස්.බී. දිසානායක මහතා එම යුගයේ දී ‘‘ඡන්ද මැෂිම’’ ලෙස බෞතීස්ම ලබා සිටියේ ද ලක්ෂ 20ක් පමණ වන සමෘද්ධි ප්‍රතිලාභීන් හා දස දහසකට අධික සමෘද්ධි නිලධාරීන් පහසුවෙන් හැසිරවීමට ලද ආනුභාවසම්පන්න හැකියාව නිසාය.

බලපෑම් කිරීම

සමෘද්ධි නිලධාරීන් තමා යටතේ සිටි සමෘද්ධි ප්‍රතිලාභීන් වෙත දේශපාලනිකව කළ බලපෑම් ගැන පසුගිය කාලය පුරාම විපක්ෂය තුළ ප්‍රබල විවේචනයක් පැවතිණි.

සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී මෙන්ම සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් මත පත්වා ගෙන යන ශාඛා 11, 000ක් පමණ වන සහ රුපියල් බිලියන 200ක වත්කම් ඇතැයි කියන සමෘද්ධි බැංකුද දේශපාලනීකරණය වූ පසුබිමක් තුළ කෙසේ නියාමනය වූවාද යන්න ගැන මේ වන විට සමාජය තුළ ප්‍රබල සාකච්ඡාවක් තිබේ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය නියාමනය කිරීම අතිශය වැදගත් අවශ්‍යතාවක් බව මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති. පසුගිය 23 වසර පුරා මෙම බැංකු පද්ධතිය තුළ දැවැන්ත අයථා ක්‍රියා සිදු වූ බවටත් ඒවා ප්‍රශ්න කිරීමට තමන්ට ශක්තියක් නොවූ බවටත් සමෘද්ධි ප්‍රතිලාභීන්ම චෝදනා කරන තත්ත්වයක් මේ වන විට පවතී. ආණ්ඩුව සමෘද්ධි බැංකු නියාමනය සඳහා විධිමත් ප්‍රවේශයක් සැලසුම් කරන්නේ මේ පදනම මතයි.

ආණ්ඩුවේ මේ තීරණය දැඩිව විවේචනය කරමින් කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂය හා සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීහු සූදානමින් සිටිති. එහි ප්‍රමුඛයකු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වහාම ප්‍රකාශ කළේ සමෘද්ධි බැංකු මහ බැංකුවේ පාලනයට යටත් නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. සමෘද්ධි විෂයභාර හිටපු ඇමැති මෙන්ම ආරම්භක ඇමැති සමෘද්ධි ඇමැති එස්.බී. දිසානායක මහතා ද මේ සමඟ ආණ්ඩුවට තර්ජනය කරමින් කියා සිටියේ සමෘද්ධි සංවර්ධන පනත මහ බැංකු අධීක්ෂණයට යටත්ව නොමැති බවත් පනත වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ සඳහා අවශ්‍ය 3/2ක බලය ලබා නොදීමට පියවර ගන්නා බවත්ය. මේ අතර සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ද අගමැතිවරයාට මේ යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා මෙන් දැඩිව තර්ජනය කරමින් සිටියි. ඔවුන් කියන්නේ සමෘද්ධි බැංකුවලට අත තැබීමට ආණ්ඩුවට අවස්ථාව නොදෙන බවයි.

එස්. බී. දිසානායක, බන්දුල ගුණවර්ධන සහ ජගත් කුමාර යන මහත්වරුන් මේ ආකාරයේ ප්‍රකාශ කරද් දී ආණ්ඩුව පාර්ශ්වයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, එස්.බී. දිසානායක මහතා ආරම්භ කළ සමෘද්ධි බැංකුව සක්විති රණසිංහ සහ දඬුවම් මුදලාලි විසින් පවත්වා ගෙන ගිය බැංකු වැනි බවයි. ලෝකයේ ඕනෑම රටක ඕනෑම බැංකුවක් ඒ රටේ මහ බැංකුව යටතට පත්විය යුතු බව පෙන්වා දුන් රාජිත සේනාරත්න ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එසේ තිබියදීත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටත් නැති සුවිශේෂ බැංකුවක් ලෙස පවත්වා ගෙන යාම ගැටලුකාරී වන බවය. ඒ නිසා සමෘද්ධි බැංකු නියාමනය සඳහා ආණ්ඩුව කඩිනම් පියවර ගන්නා බව ඇමැතිවරයා සේම මහ බැංකු අධිපතිවරයා ද කියති.

පනත

දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක හා ජගත් කුමාර යන ප්‍රබලයන්ගෙන් විමසිය යුතු තවත් ප්‍රශ්නයක් තිබෙන බව සමෘද්ධි බැංකු නියාමන යෝජනාවට සහාය පළ කරන පාර්ශ්ව කියති. ඒ සමෘද්ධි බැංකු පමණක් නොව මුළු සමෘද්ධි ව්‍යාපාරයම තමා යටතට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන විෂයභාර ඇමැතිවරයා විසින් 2013 වසරේ දී ඉදිරිපත් කළ ‘‘2013 අංක 01 දරන දිවි නැගුම පනතට’’ මේ ආකාරයේ විරෝධයක් නොදැක්වූයේ කුමන පදනමකින් ද යන්නයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දිවි නැගුම පනත මගින් ඉතාම පැහැදිලිව 1995 අංක 30 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය (1996), ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය (2005) ඒකාබද්ධ කිරීම මගින් ‘‘දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව’’ යනුවෙන් සඳහන් කරනු ලබන දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා ද ‘‘දිවි නැගුම ප්‍රජා මූල බැංකු’’ සහ ‘‘දිවි නැගුම ප්‍රජා මූල බැංකු සමිති’’පිහිටුවීම සඳහා ද පියවර ගැනිණ. එහෙත් 2013 දී දිවි නැගුම පනත ඉදිරිපත් වන විට ඊට එරෙහිව බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක හෝ ජගත් කුමාර ඇතුළු පිරිස නැඟී සිටිනු දැකිය හැකි වුණේ නැත. ඒ වෙනුවට මේ සියලු දෙනා කළේ දිවි නැගුම පනතට එරෙහිව තීන්දුව දුන් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් පළවා හැරීම සඳහා හැකි සෑම පියවරක් ම ගැනීමය.

එදා බැසිල් රාජපක්ෂ මහතාගේ දිවි නැගුමට සමෘද්ධිය බිලි දුන් කණ්ඩායම අද එහි නියාමනය ගැන ආණ්ඩුව ගන්නා ප්‍රවේශයට දිවි හිමියෙන් එරෙහි වීම හාස්‍යයට කරුණක් වන්නේ එහෙයිනි.

මේ තත්ත්වය තුළ 1995 සිට මේ දක්වා බිලියන ගණන් වැය කරමින් දියත් වූ සමෘද්ධි ව්‍යාපාරය එහි ආරම්භක ආර්ථික හා සමාජයීය අරමුණු කිසිවක් සාධනය කර ගෙන නොමැති වුව ද 1995 සිට මේ දක්වා එහි දේශපාලන අරමුණු නම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාධනය කරගෙන ඇති බව පැහැදිලිය. අදත් 27000කට අධික සමෘද්ධි ව්‍යාපාරය ආශ්‍රිත නිලධාරීන්ගේ සහ ඒ සමෘද්ධි ව්‍යාපාරය ඇසුරෙන් ජාතික දේශපාලනයේ ඉහළට ගිය පිරිස්වල පැහැදිලිව අපේක්ෂාව වන්නේ රටේ දිළිඳුකම පිටුදැකීම නොව මේ පවුල් ලක්ෂ 14 ඇපයට තබා ගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමයි. එහෙත් ඒ වෙනුවෙන් මේ රටේ ලක්ෂ 54ක් වන සමස්ත පවුල්වලටම වන්දි ගෙවීමට සිදුව තිබෙන බව අප වටහා ගත යුතුය. සමෘද්ධි ව්‍යාපාරය හා බැංකු නියාමනය ජාතික අවශ්‍යතාවක් වන්නේ මේ තත්ත්වය තුළය.

තුෂාල් විතානගේ


නව අදහස දක්වන්න

Or log in with...