ඇත්ත වගේ පෙනෙන බොරුව | දිනමිණ

ඇත්ත වගේ පෙනෙන බොරුව

ජනතාව මුළා කරනු වස් සිතාමතාම ව්‍යාජ තොරතුරු, අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවාලීම මගින් සමාජයට විශාල බලපෑමක් එල්ල කළ හැකිය. මෙහි භයානකකම නම් ජනමාධ්‍ය‍වේදය පැත්තෙන් ගතහොත් ජනමාධ්‍ය‍වේදීන්ට තමන්ගේ වෘත්තීය ගෞරවය අහිමිවීමයි.

කාලයෙන් කාලයට විවිධ මාතෘකා සමාජයට කල එළි බසී. දේශපාලන, සමාජීය, ආර්ථික යන කුමන අංශයකින් හෝ මතුව එවැනි මාතෘකා සමාජයේ පැවැත්මට බලපෑ හැකිය. මේ දිනවල සමාජය තුළ පවතින එවැනි මාතෘකාවක් වෙත කාගේත් අවධානය යොමු වී ඇතිවා මෙන්ම සමාජ කතිකාවතක්ද ගොඩනැගී ඇත. ඒ ‘බොරු ප්‍රවෘත්ති’ නැතිනම් ‘Fake news’ නැමැති වචන දෙක නිසා ය. බොරු ප්‍රවෘත්ති යනු හුදෙක් වචන දෙකක් පමණක් නොවන බවත් එමගින් සමාජයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට හැකි බවත් අප දැනගත යුතුය. මෙය වර්තමානයේ අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් කරන කරුණක් බවට පත්වී ඇත.

බොරු ප්‍රවෘත්ති

බොරු ප්‍රවෘත්ති යන්නෙන් අදහස් වන්නේ සත්‍ය නොවන දෙයක් ප්‍රචාරණය කිරීමයි. මේ වචනය තුළින්ම ඒ බැව් ගම්‍ය වේ. එනම් බොරු යනු අසත්‍ය දෙයකි. ප්‍රවෘත්තිවල ගුණාංග කිහිපයක් තිබේ. එහි පළමු ගුණාංගය නම් සත්‍ය විය යුතුය යන කාරණයයි. ඒවගේම අපක්ෂපාතී විය යුතුය. සමබර විය යුතුය. කරුණු සහිත විය යුතුය සහ නිවැරැදි විය යුතුය යන කාරණා අතිශය වැදගත් වේ. ප්‍රවෘත්තියක ඇතුළත් විය යුතු මූලිකම ගුණාංග මේවා ය. මෙකී ගුණාංග ඇතුළත් නැත්නම්, එතැන ප්‍රවෘත්තියක් බිහි නොවන බව එහි අදහසයි. ඇත්ත ප්‍රවෘත්ති, බොරු ප්‍රවෘත්ති කියා ප්‍රවෘත්ති වර්ග දෙකක් තිබිය නොහැකියි. මේ බොරු ප්‍රවෘත්ති යනුවෙන් වචනයක් නිර්මාණය වීම පවා අනවශ්‍ය දෙයකි. එයට අරුත්දීමට යාම ද අවශ්‍ය නැත.

ප්‍රවෘත්තියක් ඇතැම්විට අපක්ෂපාතී නොවිය හැකිය. සමබර නොවිය හැකිය. නමුත් නිවැරදිවීම හා කරුණු සහිත වීම අත්‍යවශ්‍ය ය. කාට පක්ෂපාතී වුද ප්‍රවෘත්තිය ඇත්තක් විය යුතු ය. මෙම් බොරු ප්‍රවෘත්ති කියන වචනයේම මෙහි කිසිදු ඇත්තක් නොමැති බව ගැබ් වේ. Ethical Jarnalisam Network නමැති ජනමාධ්‍ය සම්බන්ධ සංසදය මේ මාතෘකාව පිළිබඳ අවධානයෙන් පසුවේ. ඔවුන්ට අනුව හිතාමතා අනෙක් අය මුළා කිරීම ලෙස බොරු ප්‍රවෘත්ති හඳුන්වා දේ. යම් කිසි සිදුවීමක් සිදු වී හෝ නොවී ඒ පිළිබඳව බොරු කරුණු ගොතා, හිතාමතාම; අනෙක් අය මුළා කිරීමේ අරමුණෙන් යුතුව පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමක් ලෙස එය තවදුරටත් දැක්විය හැකිය. ‘හිතාමතා නොමග යවනු පිණිස’ යන්න එම සංසදය බොරු ප්‍රවෘත්ති යනුවෙන් අදහස් දැක්වීමේදී ඉස්මතු කර පෙන්වයි.

මෙහිදී කුමක් හෝ කාරණයක් ඉලක්ක කර ඇති බව පෙනේ. එනම් යම්කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ ස්ථානයක් හෝ සිදුවීමක් විය හැකියි. තවද මෙහිදී විකල්ප ප්‍රවෘත්ති භාවිතයක් පිළිබඳව ද ඇතැම්විට කියැවේ. එනම් මෙලෙස ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන අයම ඊට සමාන්තරව යන ලෙස විකල්ප ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි.

බොරු ප්‍රවෘත්ති බොහෝවිට යම්කිසි පුද්ගලයෙක් හෝ සිදුවීමක් හෝ ඉලක්ක කරගෙන පළ කරනුයේ දේශපාලන පසුබිමක් ද සමඟය. ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් වුවත් මේවා භාවිත කළ හැකියි. මේ මොන අවස්ථාවකදී වුවත් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ හා පැතිරවීමේ මූලික පසුබිම දේශපාලන මුහුණුවරක් ගනී.

කෙසේ නමුත් බොරු ප්‍රවෘත්ති යන මාතෘකාව සමාජයට අලුත් කාරණාවක් නොවේ. ජනමාධ්‍ය කියන දේ ලොව කොතැනක හෝ බිහිවුණා නම් එසේත් නැතිනම් ප්‍රවෘත්ති කියන කරුණ බිහිවුණ දා පටන්ම, බොරු ප්‍රවෘත්ති ද එතැන තිබේ. අතීතයේ පටන්ම සත්‍ය ප්‍රවෘත්ති මෙන්ම බොරු ප්‍රවෘත්තිද පැවැති බව දැනගත යුතුයි.

මාධ්‍ය වගකීම

අතීතයේ මෙලෙස බොරු ප්‍රවෘත්ති තිබුණා වුවද මුද්‍රිත මාධ්‍ය තුළ බොරු ප්‍රවෘත්ති පළ කිරීම ඉතා දුෂ්කරය. රූපවාහිනී, ගුවන්විදුලිය බිහිවීමට පෙර තිබූ පළමු මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය; එනම් පුවත්පත් ය. එහිදී පුවත්පතට වැඩි වගකීමක් පැවරුණි. පුවත්පත මුද්‍රණය කිරීමට වෙනම ආයතනයක් තිබේ. මුද්‍රණය කරන්නට වෙනම අය සිටිති. පුවත්පත් කතුවරු සිටිති. එවිට මේ පුවත්පත කොහි සිට පැමිණියේ ද යන්න පිළිබඳ පාඨකයා දැනුවත් ය. මේ හේතුවෙන් පාඨකයා හා පුවත්පත අතර වගකීම්සහගත බැඳීමක් තිබේ. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන් මුහුණට මුහුණ හමු වූයේ නැතත්, මේ වගකීම පැහැර නොහැරේ.

ප්‍රවෘත්ති වැරදු‍ණ‍හොත්, පුවත්පත කෙරෙහි පාඨකයා තුළ තිබෙන විශ්වාසය ද බිඳ වැටේ. එය මුද්‍රිත මාධ්‍යයේ අලෙවියට මෙන්ම ඉදිරි පැවැත්මටද ඍජුව බලපායි. ආර්ථික වශයෙන් ද හානි දායක වේ. මේ අනුව සාම්ප්‍රදායික මාධ්‍යවල බොරු ප්‍රවෘත්ති පළ කිරීම කළ නොහැකි ය. නැතහොත් සම්ප්‍රදායික මාධ්‍යවලට බොරු ප්‍රවෘත්ති පළ කිරීමට ඇත්තේ සීමිත ඉඩකඩකි.

වර්තමානයේ වැඩි වශයෙන් කතා කළත්, මෙය අලුත් දෙයක්ලෙස ඇතමකු සිතුවත් ඇත්තටම බොරු ප්‍රවෘත්ති යන මාතෘකාව අලුත් දෙයක් නොවේ. මුද්‍රිත මාධ්‍ය පැමිණීමත් සමග බොරු ප්‍රවෘත්ති පැමිණියේ ය. දහනව වැනි සියවසේ මුල් කාලයේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධ සමයේත් පළමු ලෝක යුද්ධ සමයේ වැනි කාලවල අමෙරිකානු පුවත්පත්වලත් මේ තත්ත්වය දක්නට ලැබී ඇත. ඒ අනුව සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති හෝ විකෘති කරන ලද ප්‍රවෘත්ති ‍හෝ පළ කිරීමෙන් අපේක්ෂා කරන්නේ එම පුවත්පතේ හෝ ජනප්‍රියත්වය ඉහළ නංවාගැනීමට යි.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධ සමයේ දී එම යුද්ධය අතිශයෝක්තියෙන් පෙන්වීමට ඔවුන් මේ උපක්‍රමය අනුගමනය කරන ලද බව වාර්තා වේ. ඒ බවට ප්‍රකට උදාහරණයක් තිබේ. එනම්, එකල විසූ විලියම් හර්ට්ස් නමැත්තා ස්පාඤ්ඤයේ සිටි ප්‍රාදේශීය වාර්තාකරුවකුට එක්තරා අවස්ථාවකදී “ඔබ පින්තූර ටික එවන්න. අපි මෙහෙ යුද්දෙ මවන්නම්” යනුවෙන් ප්‍රකාශ කළ බව පැවසේ. එහෙත් එය පුවත්පත් කලාව තුළ අතිශය වැරදි ක්‍රියාවකි. පින්තූරවලින් පමණක් පුවත් විස්තර කළ නොහැකි බැවිනි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධ සමයේ මෙලෙස පළ කළ ව්‍යාජ ප්‍රවෘත්ති නිසා සමකාලීන සමාජය බොහෝ අවුල්, වියවුල් තත්ත්වයකට පත්වුණු බව වාර්තා වේ. විවිධ මතවාදී අර්බුද පවා ඇති කරන්නට ඒවා හේතුවුණු බව දැක්වේ.

පළමුවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ද මේ තත්ත්වය දක්නට ලැබී ඇත. ඒ කෙසේදයත් පළමු ලෝක යුද්ධයෙන් බැට කෑ මිනිසුන් මානසිකව නැගී සිටීමට ඔවුන්ම උත්සාහ කරන විට, එකල සමාජයේ තිබූ ප්‍රධාන මාධ්‍ය වන පුවත්පත් හරහා විවිධ බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කෙරිණ. ඒවා අවමාන, අපහාස කරන ආකාරයේ ප්‍රවෘත්ති ය. ‘මඩ පත්තර කලාව’ නැතහොත් මිනිසුන්ට අවමාන, අපහාස වන අයුරින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම ආරම්භ වන්නේ ද පළමු ලෝක යුද්ධයෙන් පසු අවදියේ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ තත්ත්වය වැඩි වර්ධනය විය. එංගලන්තයේ මේ තත්ත්වය බහුලව දක්නට ලැබුණි. එරට එක් එක් ප්‍රාන්ත, නගර ආදිය ඉලක්ක කරගෙන පුවත්පත් මුද්‍රණය කෙරේ. අගනුවර පුවත්පත් මුද්‍රණය කරන මාධ්‍ය හිමියන් කුඩා කුඩා පුවත්පත් නැතහොත් කුඩා නගර, පළාත් කේන්ද්‍ර කරගෙන මුද්‍රණය කළ පුවත්පත් සියල්ලෙහි අයිතිය මුදලට ගත්හ. ශ්‍රී ලංකාවේ අපට ද මෙවැනි අවස්ථා අසන්නට ලැබේ. එනම් කුමන ක්‍රමයකින් හෝ මුදල් විශාල ප්‍රමාණයක් හම්බකරගෙන මාධ්‍ය ආයතන හෝ මාධ්‍ය ජාලයක් මිලදී ගැනීමයි. මෙලෙස මාධ්‍ය ආයතන සියල්ල එක් අයකු යටතට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් සමාජගත කිරීමට බලයක් හිමිවේ. පුන පුනා මාධ්‍ය කිහිපයකින්ම එකම දෙය පවසන විට මහජනතාව එය අසත්‍ය වුවත්, සත්‍ය ලෙස පිළිගනිති. දේශපාලන වශයෙන් යම්කිසි මතවාදයක් සමාජගත කිරීමට එම උපක්‍රමය ඉතා භයානක මෙවලමකි.

ප්‍රවෘත්ති ආයතන

පළමුව බිහිවන්නේද විශාල මාධ්‍ය ජාල පාලනය කිරීම සඳහා යි. එනම් ප්‍රවෘත්ති ආයතන තවත් ප්‍රවෘත්ති ආයතන තමන් යටතට ගෙන එකී බලය භාවිත කරමින් විවිධ පුවත්පත් දාම හදාගනිමින් සමාජය පාලනය කිරීමට උත්සාහ ගත් නිසා ය. මෙලෙස තනි පුද්ගලයෙක් අතට විශාල බලයක් පැමිණිවිට නැතිනම්, මෙලෙස මාධ්‍ය දාමයක්ම පුද්ගලයකු සතු වූ විට එකල කවුරු හෝ බොරුවක් කී විට එය මුළු රට පුරාම පැතිර ගියේ ය. වැරදි මතවාද රට පුරාම පැතිරුණි. එමගින් සමාජය මුළා කිරීමට හැකියාව ලැබුණි. පෙර සඳහන් කළ Ethical Journalisam network ආයතනය පැවසුවේ ද මෙයයි. එනම් ජනතාව මුළා කිරීමයි. පුවත්පත් මණ්ඩලයක් බිහිවීම මගින් සිදු වූයේ ඒ තත්ත්වය පාලනය කිරීමයි.

ජනතාව මුළා කරනු වස් සිතාමතාම ව්‍යාජ තොරතුරු, අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවාලීම මගින් සමාජයට විශාල බලපෑමක් එල්ල කළ හැකිය. මෙහි භයානකකම නම් ජනමාධ්‍ය‍වේදය පැත්තෙන් ගතහොත් හොඳ ජනමාධ්‍ය‍වේදීන්ට තමන්ගේ වෘත්තීය ගෞරවය අහිමිවීමයි. අනෙක් පැත්තෙන් ගත්විට මෙලෙස එකිනෙකට පරස්පර ප්‍රවෘත්ති මගින් මහජනතාව අවුල් සහගත භාවයකට පත්වීමයි. මහජනතාව අවුල් සහගත තත්ත්වයට පත්වීම සමාජයේ එදිනෙදා ක්‍රියාකාරිත්වයටද දැඩිව බලපානු ලැබේ. එනම් එමගින් සමාජයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට, අවුල් වියවුල් තත්ත්වයකට පත් කරන්නට හැකියාව ඇති බවයි.

ජනතාවට ‍තොරතුරු දැන ගැනීමට ඇති ප්‍රධානම ආකාරයක් වන්නේ ජන මාධ්‍ය යි. ඒනිසා ජනමාධ්‍ය සතු වගකීම වන්නේ මහජනතාවට සත්‍ය තොරතුරු, අවිශ්වාසයකින්, සැකයකින් ‍තොරව ලබාදීමට නිරන්තර කටයුතු කිරීමයි. එසේම ප්‍රවෘත්ති විනිවිද භාවයකින් යුක්ත විය යුතු මෙන්ම කවර ආකාරයකින් හෝ මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්නේ නම් එයින් මාධ්‍ය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටේ. එකී තත්ත්වය මාධ්‍ය ආයතනයට මෙන්ම මාධ්‍යවේදීන්ගේ පැවැත්මට ද බලපායි. මහජනතාව හා මාධ්‍ය අතර පවතින සම්බන්ධතාවය ඉන් බිඳ වැටේ.

මාධ්‍ය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම ඍජුවම සමාජ සංස්ථාවේ බිඳවැටීමට බලපායි. සමාජයක මිනිසුන් ජීවත්වන්නේ එක්තරා විශ්වාස පද්ධතියකිනි. මිනිසුන් එකිනෙකා බැඳ තබන්නේද මේ විශ්වාස පද්ධතිය නිසාය. මිනිසුන් මිනිසුන් මෙන්ම මිනිසුන් හා ආයතන අතර ද මෙම බැඳීම ක්‍රියාත්මක ය. එවන් තත්ත්වයක ප්‍රවෘත්ති යනු සමාජ සන්දර්භවලට බලපෑම් කළ හැකි විශාල මෙවලමක් ලෙස හැඳින්වීම වැරදි නැත. ඒ පිළිබඳ විශ්වාසය බිඳවැටී ගියහොත් සමාජ සංස්ථාව කඩා වැටේ.

සමාජය ඒකකයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය හා ඉඩකඩ ඇහිරේ. එය බරපතළ අභියෝගයක් වන්නේ මෙය අවසාන වශයෙන් රටක දේශපාලන හා පරිපාලන ක්‍රියාදාමයන්ට බලපාන බැවිනි.

බොරු ප්‍රවෘත්ති මේ තරම් ප්‍රබල වීමට හේතු දෙකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කළ හැක. පළමුවැන්න අද වනවිට සෑමදෙයක්ම වාණිජකරණය වීමයි. සමාජයේ සෑම දෙයක්ම මුදල් මත තීරණය වේ. ආදරය, කලාව, සංස්කෘතිය, ආහාර ආදී සෑම දෙයක්ම මුදලට යට වී ඇත. එක්කෝ මේක විකුණන්න බලන සමාජයකි. නැත්නම් මිලදී ගන්න බලන සමාජයකි.

ඒ අනුව ප්‍රවෘත්ති කලාවත් අද වෙළෙඳාමක් බවට පත් වී තිබේ. එය ද අද මුදලට විකිණේ. අතීතයේ විනෝදාත්මක ප්‍රවෘත්ති තිබුණේ නැත. අද ඒවා විලාසිතාවක් බවට පත්වී ඇත. වාණිජ අරමුණු කරා ඒවා මෙහෙයවයි.

ඊළඟ කරුණ නම් තාක්ෂණයේ දියුණුවත් සමඟ අද මාධ්‍ය ද තාක්ෂණික දියුණුවක් ලබා තිබීමය. තාක්ෂණය පැමිණීමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රය පුළුල් වී තිබේ. අන්තර්ජාලය පැමිණීමත් සමගම සමාජ මාධ්‍ය ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත විය. සෑම දෙයක්ම තත්ත්පර ගණනකින් online ක්‍රමයට සජීවීව නැරඹිය හැකි තත්ත්වයට පත් වී ඇත. ප්‍රවෘත්ති මාධ්‍ය ක්ෂණික දෙයක් වී ඇත. පුවත්පතක් මුද්‍රණය වී වෙළෙඳපොළට පැමිණීමට යම් කිසි කාලයක් ගතවේ. නමුත් වත්මන් තාක්ෂණික දියුණුවත් සමග තත්ත්පර ගණනකින් ලෝකය වටා ගමන් කළ හැකිය. සාමාන්‍යයෙන් විශාල මාධ්‍ය ජයග්‍රහණයක් ලෙස අප මෙය පිළිගත්තද, රූපවාහිනී, ගුවන්විදුලි හෝ පුවත්පතකට ප්‍රවෘත්ති පළ කරන විට යම් ක්‍රියාදාමයක් පවතී. වගකිව යුතු පුද්ගලයෙක්, ආයතනයක් සිටී. කතුවරු සිටිති. ඒ වෙනුවට මේ ක්ෂණික අන්තර්ජාල පහසුකම් ඔස්සේ බිහි වූ සමාජ මාධ්‍යන්හි ප්‍රවෘත්ති සේවා හේතුවෙන් හැමෝම අංක එක වීමට වෙර දරති. හැමෝම ඉදිරියෙන්ම සිටීමට උත්සාහ කරති.

මේ තරගකාරීත්වය තුළ ප්‍රවෘත්තිය ලබාගත් මූලාශ්‍රය කුමක්ද, එහි සත්‍ය අසත්‍යතාව,නිරවුල් බව ආදිය පිළිබඳ තැකීමක් නැත. මේනිසා ප්‍රවෘත්තියේ හැඩය වෙනස්විය හැකිය. මන්ද, ප්‍රවෘත්තිය තහවුරු කිරීම පිළිබඳ කිසිදු කතාවක් අද දක්නට නොලැබෙන නිසාය. මේ අනුව ව්‍යාජ ප්‍රවෘත්තිවල විශාල ආගමනය සිදුවෙන්නේ පරිගණක තාක්ෂණයේ, අන්තර්ජාල තාක්ෂණයේ අසීමිත දියුණුවත් සමඟය. මිනිසුන්ද මේ ක්ෂණික බවට වේගවත් බවට කැමැත්තක් දක්වති.

මිනිසුන්ද වාණිජකරණය වී ඇති වාතාවරණයක ලෙහෙසියෙන්, පහසුවෙන් ක්ෂණිකව දෙයක් කර ගැනීමට ඔවුන් පෙලඹෙති. මේ අනුව අසත්‍ය තොරතුරු පැතිරයාම වැළැක්විය නොහැකි වී ඇත. මේ තාක්ෂණය නිසා මාධ්‍ය එක් පැත්තකින් ඉදිරි පිම්මක් පැන්නත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල ගුණාත්මක බව, න්‍යායික වැදගත්කම ආදිය ගිලිහී ගොස් තිබීම බොරු ප්‍රවෘත්ති මෙතරම් ප්‍රචලිත වීමට හේතුවයි. සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වුවද වගකිව යුතු පුද්ගලයෙක් නොමැත. සංකල්පීය අවකාශයක් තුළ අකුරු විසුරුවා හැරීමක් මේ තුළ සිදුවේ. මේ අනුව තාක්ෂණික දියුණුවත් බොරු ප්‍රවෘත්ති ප්‍රචලිත වීමට පහසුකමක් සලසා ඇති බව පැහැදිලි ය. මේ නිසා බොරු ප්‍රවෘත්ති හරහා සමාජ රැලි බිහිවීමටද පටන් ගනී.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවා අද වනවිට බොරු ප්‍රවෘත්ති සමග අරගල කරමින් සිටී. මාධ්‍ය විවේචනය කිරීම වැනි නොයෙකුත් සිදුවීම් තවමත් වාර්තා වේ. එම මාධ්‍ය යුද්ධය අපිටත් බලපෑම් කරයි. එහි උණුසුම අපටත්ලැබී ඇත.

මුහුණු පොත

FBI ආයතනය ප්‍රකාශ කරන ආකාරයට මුහුණුපොත (facebook) හරහා රුසියානු හැකර්වරුන් අමෙරිකානු ෆේස්බුක් ජාලවලට ඇතුළත් වී අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ කලකට පෙර ව්‍යාජ ගිණුම් සාදා අමෙරිකානු ජනමතය වෙනස් කිරීමට ව්‍යාජ මතවාදී රැලි නිර්මාණය කර තිබේ. ඒ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමිනි.

එක් එක් රටවලට ද බලපෑම් කිරීමේ හැකියාවක් මේ ව්‍යාජ ප්‍රවෘත්තිවලට ඇති බව මේ අනුව පෙනේ. අමෙරිකාවේ පමණක් නොව පිලිපීනයේ ද මෙවැනි චෝදනාවක් තිබුණි. ඒ 2016 වසරේ පැවැති පිලිපීන ජනාධිපතිවරණයේදී ය. එහිදී ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 26ක් විවෘත කර, ඒ හරහා විවිධ අසත්‍ය තොරතුරු පතුරුවා හැරුණි. මෙහිදී හෙළිවූ බරපතළ කරුණ වූයේ එම ගිණුම් 26 ඔස්සේ මිලියන තුනක් ජනතාවකට බලපෑම් කර තිබීමයි. මේ හරහා රට දේශපාලනඥයන් , ආර්ථිකය ආදී සෑම අංශයක් පිළිබඳවම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර තිබුණි.

ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම සම්පූර්ණයෙන් වැළැක්වීම කළ නොහැකි නමුත් අවම කළ හැකිය. එලෙස බොරු ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීමට ගත් උත්සාහ සඳහා උදාහරණ ද ඇත. එනම් අමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තය තුළ නීතිඥයන් ඇතුළු අධිකරණ පද්ධතියම මැදිහත් වී මේ සම්බන්ධයෙන් අණපනත් ගෙන එනු ලැබීය. පිලිපීනය ද මේ සම්බන්ධයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ඉන්දියාව ද පනතක් සම්මත කරමින් බොරු ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීමට උත්සාහ කළේය. ඉන්දියාවේ කාශ්මීර අර්බුදය උච්ඡවන සෑම අවස්ථාවකදීම බලධාරීහු අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන් අක්‍රීය කරති.

වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමඟ අන්තර්ජාල වැනි බොරු ප්‍රවෘත්ති ප්‍රචාරණ මාධ්‍ය පාලනය කිරීම යනු නිෂ්ඵල එසේම කිසිසේත් සිදු කළ නොහැකි කටයුත්තකි. බිලියන ගණනක් වන අන්තර්ජාලය භාවිත කරන්නන් පාලනය කිරීම දැලක් දමා සුළං නවත්වන්නට තැත්කිරීම වැනි දෙයකි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නීති හා ආචාර ධර්ම පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේනම් තත්ත්වය බොහෝ දුරට අවම කළ හැකිය. 1973 ගෙනෙන ලද පුවත්පත් මණ්ඩල පනත ද මෙරට ක්‍රියාත්මකය. ලෝකය පුරා මෙලෙස නීති හා ආචාර ධර්ම පද්ධති තිබේ. සියලු දෙනා ඒවා රැකිය යුතුය. ආරක්ෂා කළ යුතුය. ලිපියක් ලියා එය පළ කිරීමට පෙර එම ‍තොරතුරු සත්‍ය ඒවාදැයි සෑම ආකාරයකින්ම සොයා බැලිය යුතුය. ඒවා අසත්‍ය යැයි සැක සිතුණහොත් පළ නොකළ යුතුය. ප්‍රවෘත්ති විකෘති නොකර, අදාළ තොරතුරු, අවශ්‍ය තොරතුරු පමණක් පළ කළ යුතුය. යම් ලෙසකින් නොදැනුවත්ව හෝ අසත්‍ය තොරතුරක් පළ වුවහොත්, එය දැනගත් විගසම නිවැරැදි කර නැවත පළ කළ යුතුය. මේ ආදී ලෙස සදාචාරාත්මක අයුරින් කටයුතු කළ යුතුය. තවත් අයෙකුගේ, ආයතනයක හෝ වෙනත් දෙයක චරිතයට හෝ හානි නොවන ලෙස ප්‍රවෘත්තිය පළ කිරීමට වගබලාගත යුතුය.

ජනමාධ්‍යවේදීන් නියාමනයකින් යුතුව කටයුතු කර, ආචාර ධර්ම රකිමින්,මිනිසුන් මිනිසුන් ලෙස තමන්ගේ වගකීම නිසි පරිදි සිදු කරන තුරු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවය ආරක්ෂා වනු ඇත.

සටහන යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

Or log in with...