විචාරය මතුවෙන්නේ නිර්මාණයත් එක්ක | දිනමිණ

විචාරය මතුවෙන්නේ නිර්මාණයත් එක්ක

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

සිංහල සාහිත්‍ය, කෙටිකතා විචාර හා පර්යේෂණ ග්‍රන්ථ, ලේඛන රැසක් සම්පාදනය කළ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ, 'කෙටිකතාව ප්‍රත්‍යවලෝකනය, ජපන් ප්‍රාසංගික නාට්‍ය කලාව, සිංහල කෙටි කතාවේ විකාශනය - දස වන කාණ්ඩය' ‍යනාදී කෘති මෑතකදී ප්‍රකාශයට පත් විය.‍ ඔහු 'සිංහල කෙටි කතාවේ විකාශනය - එකොළොස් වැනි කාණ්ඩයත්, විශ්ව කෙටිකතා සාහිත්‍ය ආභාසය හා සිංහල කෙටිකතාව' යන මැයෙන් වූ කෘති දෙකකුත් ප්‍රකාශයට පත් කිරීමට ඔහු සූදානමින් සිටී.

නිර්මාණ සාහිත්‍ය බිඳ වැටෙන කිසිම රටක නව විචාරයක් ගොඩ නැඟෙන්නෙ නෑ. විචාරයක් හා නිර්මාණයක් අතර තියෙන්නෙ තදාන්තර සම්බන්ධයක්. විචාරයේ ආරම්භක ස්ථානය නිර්මාණයයි. නිර්මාණයත් එක්කම විචාරය බද්ධ වෙලා තියෙනවා. නිර්මාණය බංකොලොත් නම්, එයින් අලුතෙන් යමක් අනාවරණය නොවෙයි නම්, එය සාම්ප්‍රදායික චින්තනයේම පිළිබිඹුවක් නම්, විචාරයේ නව නැම්මක් ඇති වෙන්නෙ නෑ.

නවකතාවකින් වෙනස්ව, කෙටිකතා කලාවට ආවේණික සුවිශේෂත්වය කුමක්ද?

කෙටිකතාවට බොහෝ සේ සමීප මාධ්‍ය නවකතාවයි. චිත්‍රපටය, ඒකට සමීප වෙනත් කලා මාධ්‍යයක්. නවකතාව දීර්ඝ කාලයක් පුරා පුළුල් සමාජ පසුබිමක විවරණය වන, පුළුල් සංකීර්ණ අත්දැකීමක් නිරූපණය කරන කලා මාධ්‍යයක්. ඒත්, 'කෙටිකතාව' කියන්නේ මොහොතකට උද්වේගකර අවස්ථාවකට සීමා වන ආකාරයේ ක්ෂුද්‍ර අත්දැකීමක් විවරණය කරන කලා මාධ්‍යයක්. එකම තේමාවක් පාදක කරගෙන රචනා කරන නවකතාවකින් සිදු කරන කාර්යයට වඩා, බුද්ධිමත් පාඨකයන් කම්පනයට පත් කළ හැකි ශක්‍යතාවක් කෙටිතකාවකට තියෙනවා. එයින් මූලික සංසිද්ධියක් විවරණය වෙනවා. කෙටිකතවක, සමාජාවලෝකනයක් නැත්නම් පුද්ගලාවලෝකනයක් කිරීමට දක්ෂ කෙටිකතාතරුවාට අවකාශය තියෙනවා. ඒක නවකතාවකින් කරන බලපෑමට වඩා ප්‍රබලයි. දීර්ඝ කතාවක්, චරිත විශාල ගණනක් එක්ක නවකතාකරුවා කරන දෙය කෙටිකතාකරුවා චරිතයකින්, නැත්නම් චරිතයකින් එක් පැතිකඩක්, එහෙමත් නැත්නම් පැතිකඩකික් අංශු මාත්‍රයක් කෙටිකතාවකින් නිරූපණය කරනවා. එමඟින්, සමස්ත සමාජය පිළිබඳ, පුද්ගල ජීවිතය පිළිබඳ දෘෂ්ටිය යොමු කිරීමට කෙටිකතාකරුවාට අවකාශය තියෙනවා. නවකතාවකදි පුළුල් පසුබිමක කරන කාර්ය, කෙටිතාකරුවා ඉතා සීමිත පරිසරයක , සීමිත පසුබිමක, සීමිත චරිත සංඝටනයෙන් ක්ෂුද්‍ර අත්දැකීමක් විවරණය කරනවා. නවකතාකරුවා පාඨකයාගේ හදවත ට ආමන්ත්‍රණය කරනවා. ඒත්, දක්ෂ කෙටි කතාකරුවා බුද්ධියටයි ආමන්ත්‍රණය කරන්නෙ.

ඔබ විශ්ව කෙටිකතා සාහිත්‍යයේ ජපන් සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳ යම් උනන්දුවකින් ක්‍රියා කරන බවක් පේනවා. ඒ ඇයි?

මම වැඩියෙන්ම සමීප වෙන්නෙ ජපානයේ ප්‍රකට ලේඛක හරුකි මුරකමිටයි. ඔහු නවකතාකරුවෙක් වගේම දක්ෂ කෙටිකතාකරුවෙක්. ඔහු මේ වෙද්දි වයස අවුරුදු හැට ඉක්මවා ගිය ලේඛකයෙක් වුණත්, අද දවසේ තරුණ විඥානය ඉතා ගැඹුරෙන් ග්‍රහණය කරගත් අයෙක්. බොහෝවිට වර්තමාන තරුණයන් තුළ පවතින චංචල භාවය, ඒකමතිකත්වයක් හෝ සැලසුමක්, පිළිවෙළක් නැති බව. එයින් තරුණයාගේ ජීවිතය බිඳවැටීම වගේ ම, ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය ගැඹුරෙන් නිරූපණය කිරීමට මුරකමි සමත් වුණා. ඔහුගේ කෙටිකතා සාම්ප්‍රදායික කෙටිකතා වුණේ නෑ. කතාව කියවන පාඨකයා මුලාරම්භයේ සිටිම කිසියම් අන්දමන්ද වීමකට මුහුණ දෙනවා. හරියටම අපට ග්‍රහණය කර ගන්න බැරි අත්දැකීමක් තමා පාඨක අවධානයට යොමු කරන්නෙ. තරුණයෙක් මොකක් හරි ප්‍රශ්නයනට මුහුණ දෙනකොට, ඔහු ඒ දිහා බලන්නෙ වට රවුමෙන් ඇවිත්. සෘජුවම ප්‍රශ්නයට නැඹුරු වීමක් ඔහුගේ කෘතිවල නෑ. වට රවුමේ ආවා වුණත්, ඒ සිද්ධිවල අඛණ්තාවක් නෑ. අනුපූරක සිද්ධිකථන වින්‍යාසයක් මොහු ගේ කතාවල නෑ. හේතුඵල සම්බන්ධයක් නිරූපණය වෙන්නෙත් නෑ. ඒ වෙනුවට සිද්ධි කථනයක් කරලා, ඒ නිරූපණය යටපත් කරන්න තව සිද්ධියක් මතු කරනවා. ඒක මැකී යන්නෙ තවත් එක සිද්ධියකින්. සිද්ධි එකිනෙක අපූරුවට පෙළ ගැසී තියෙනව. කතාව ගැන කියවලා, ඒ ගැන සෑහෙන්න හිතන්න ඕනැ. කතාව වෘත්තාන්ත ස්වරූපයෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. කෙටිකතා මාධ්‍ය තුළ කාලයක් ජීවත් නොවුණු රසිකයකුට, මේ නවීන කෙටිකතා තේරුම් ගැනීම තරමක් දුෂ්කර වෙන්න ඉඩ තියෙනවා.

හරුකි මුරකමිගේ නිර්මාණවලට ලෝකයේ වෙනත් රටවල හිමි වන්නේ මොන වගේ ස්ථානයක්ද?

අද වෙද්දී මං දන්නා හැටියට ලෝකෙ ඉන්න, නම්බර් වන් බෙස්ට් සෙලින් රයිටර් තමා මුරකමි. එයා වරකට පොතක පිටපත් දස ලක්ෂ ගාණක් ගහනවා. ඒක මාසයක් ඇතුළත ජපානයේ විකිණෙනවා. ඒ වගේම ජර්මනියෙ, අමෙරිකාවෙ, හවායිවල ඔහුගේ කතා අතිශය ජනප්‍රියයි. තරුණයන් ඔහුගේ කතා කියැවීමට නැඹුරුයි. ඔහු පශ්චාත් නූතනවාදි ලේඛකයෙක් හැටියටයි වැඩි දෙනෙක් හඳුන්වන්නේ. මං 2013 අවුරුද්දේ ජපානයේ හිටියේ. මම අවුරුදු දෙකක් එහේ හිටියා. එහේ පොත් සාප්පු බහුල ප්‍රදේශයට කියන්නෙ 'කන්දා' කියයි. මං 'කන්දා ප්‍රදේශයේ' ඇවිදගෙන යද්දි එක පොත් සාප්පුවක එයාගෙ අලුත් පොතක් පිටවීම නිමිත්තෙක් උත්සවයක් තිබුණා. බොහෝ සෙනඟක් ඒ අවස්ථාවට සහභාගිවෙලා හිටියා. සෙනඟ පිරිලා ඉන්නේ මොකක් නිසාදැයි සොයාබලද්දී තමා දැනගත්තේ, එතැන මුරකමිගේ පොතක් එළිදැක්වූ බව. මං එතැන නැවතිලා ටිකක් විපරම් කරද්දී , මුරකමි එතෙන්ට ආව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. එතැන හිටපු එක් ජනමාධ්‍යවේදියෙක්, ' ඔබ පශ්චාත් නූතන වාදියෙක්ද?' කියලා ඔහුගෙන් ඇහුවා. ඔහු කීවේ 'ඒ ගැන නම් මං හරියටම දන්නේ නෑ' කියලයි. 'හැබැයි මම වර්තමාන විඥානය තමයි නිරූපණය කරන්නෙ' කියලා මුරකමි කීවා. එහෙම කියලා 'වර්තමාන විඥානය නිරූපණය කිරීම ද, පශචාත් නූතනවාදය කියන්නෙ?' කියලා එයාම පෙරළා ප්‍රශ්න කළා. මුරකමි අලුත් න්‍යායන් හදාරා ඒවා පැහැදිලි කරන්න යන්නෙ නෑ. අද දවසේ මේ මොහොතේ මිනිසාගේ විඥානය නිරූපණය කිරීම තුළ අනාගතය වෙත බැල්මක්, දැක්මක් හෙළන්න ඔහු පෙලඹෙනවා. ඔහු ඒ මොහොතෙත් වැඩිය කතා කළේ නෑ. විනාඩි තුන හතරක් වගේ කෙටි කාලයක් තමා කතා කළේ. ඒත්,ඒ පුංචි දේ තුළ පවා මහා දෙයක් හිතන්න පෙලඹවීමක් ඔහු ඇතිකළා.

මෙවන් විශ්ව සාහිත්‍ය ප්‍රවණතා සමඟ ශ්‍රී ලාංකේය අත්දැකීම් සංසන්දය කරද්දී, ශ්‍රී ලාංකේය නිර්මාණ ගැන ඔබට කියන්න පුළුවන් මොනවාද?

බටහිර නිර්මාණවලට අනුරූපීව නිර්මාණ කිරීමට නැඹුරුවීම, අපේ නිර්මාණකරුවන්ගෙ තියෙන ප්‍රධානම ගැටලුවයි. කවි, කෙටිකතා, නවකතා ආදී සෑම සාහිත්‍යාංගයකටම ඒක අදාළයි. සයිමන් නවගත්තේගමගේ 'සාරධාගේ මංගල්‍යය, ප්‍රේත වස්තුව, සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා' වගේ කෙටි කතා ගත්තහම තේරෙන්නෙ, ඒවා බටහිර අධියථාර්ථවාදී රීතියේ ලක්ෂණ අනුගමනය කරමින් සිංහලෙන් රචනා කරපු බවයි. ඒ කතාවල අමුත්තක් තියෙනවා. ෆ්‍රාන්ස් කෆ්කාගෙ කෙටිකතාවක සෙවනැල්ලක් තියෙනවා. කෆ්කා අනුගමනය කරමින් කළ ස්වාධීන නිර්මාණයක් වෙන්න පුළුවන්. අජිත් තිලකසේනත් මේ විදිහට අධියථාර්ථවාදී රීතිය පාව්ච්චි කරනවා. බටහිර න්‍යාය පාවිච්චි කරලා, සිංහල පාඨකයා තෘප්තිමත් කරන්න හදනවා.

විශ්ව සාහිත්‍යයෙන් ආභාසය ලැබීම වරදක්ද?

ඒක වරදක් කියලා කියන්න බෑ. ඒත්, ඊට වඩා ස්වාධීන නිර්මාණකරුවෙක් ලෙස වර්තමාන සමාජය විවරණය කරන්න බැරි ඇයි? අපේ අලුත් තරුණ ලේඛකයන් වන පියල් කාරියවසම්, බර්ට්‍රම් රුද්‍රිගු, අමරකීර්ති වගේ අයත් කරන්නෙ බටහිර දෘෂ්ටිවාද හෝ බටහිර න්‍යාය මෙහේ තහවුරු කරන්න හදන එකයි. ස්වතන්ත්‍ර නිර්මාණ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි ඒවායින් ආකර්ෂණයට පත් වෙන බව ඇත්තක්. අපට ඒක, 'නැවුම්' කියලා දැනෙන්නෙ මෙතෙක් අපි කියවලා තියෙන සාම්ප්‍රදායික කතන්දරවලට වඩා ඒවා වෙනස් නිසා පමණයි.

වත්මන්හි සාහිත්‍ය කලාව අසුරු කරන පිරිස් ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ කාලයේ නම් උපාධි අපේක්ෂකයන් විශ්වවිද්‍යාලයට ආවහම ඔවුන් දැනුම ගවේෂණය කිරීමට, අවලෝකනය කිරීමට පෙලඹෙනවා. ඒ නිසා, ඔවුන් එකල විශ්වවිද්‍යාලයේ බොහෝ වැඩසටහන්වලට සම්බන්ධයි. කැලණියේ ගත්තහමත් , 'නිර්මාණ සභාව, විචාර සභාව, සිංහල සංගමය වගේ සමිති සමාගම් තිබුණා. ඒ හැම එකක්ම සාහිත්‍ය කලාව පිළිබඳ ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වුණා. රටේ නම ගිය විද්වත් ලේඛකයෙක්, නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, නාට්‍ය කරුවෙක් , සිනමාකරුවෙක් කැඳවා දේශන තිබ්බා. ඒ දේශන ඇසුරෙන් විෂය ක්ෂේත්‍රය ගැන පුළුල් විමැසුමක් කරන්න පෙලඹුණා. අද එහෙම නෑ. ඒ කාලෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය සතියක් තිස්සෙ පැවැත්වූවා. අද එක දවසකට සීමා කරලා තියෙන්නෙ. ඒක තෑගි ප්‍රදානෝත්සවයකට පමණක් සීමා වෙලා. රාජ්‍ය සාහිත්‍ය උපදේශන කමිටුව විසින් මාසයට වරක් සංකථනයක් පැවැත්වූවා. දැන් ඒක පවත්වන්නෙත් මාස දෙකකට සැරයක්. ඒ නිසා එමඟින් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමට අවකාශයක් නෑ. ඒ කාලෙ තිබුණේ විශ්වවිද්‍යාල හතරයි. ඒත්, සෑම විශ්වවිද්‍යාලයකම වගේ බාහිර දේශන තියෙනවා. සංකථනයට ලක් කරනවා. සංවාද මණ්ඩප පවත්වනවා. අද ඒ වගේ නෑ. ඉඳහිට එවැන්නක් සංවිධානය වුණත්, ඒවට සිසුන් එන්නෙත් නෑ.

මෙවන් තත්ත්වයක් නිර්මාණය වීමෙහිලා විචාර කලාවේ පිරිහීමත් එක හේතුවක් කියලා ඇතැමුන් කියනවා. ඔබ ඒ ගැන දරන්නේ මොනවගේ අදහසක්ද?

විචාරය මතුවෙන්නෙ නිර්මාණයත් එක්කමයි. නිර්මාණ සාහිත්‍ය බිඳ වැටෙන කිසිම රටක නව විචාරයක් ගොඩ නැඟෙන්නෙ නෑ. විචාරයක් හා නිර්මාණයක් අතර තියෙන්නෙ තදාන්තර සම්බන්ධයක්. විචාරයේ ආරම්භක ස්ථානය නිර්මාණයයි. නිර්මාණයත් එක්කම විචාරය බද්ධ වෙලා තියෙනවා. නිර්මාණය බංකොලොත් නම්, එයින් අලුතෙන් යමක් අනාවරණය නොවෙයි නම්, එය සාම්ප්‍රදායික චින්තනයේම පිළිබිඹුවක් නම්, විචාරයේ නව නැම්මක් ඇති වෙන්නෙ නෑ. අද දවසේ 'හොඳ විචාර කලාවක්' නෑ කියලා, සාම්ප්‍රදායික කතා ලියන හැම ලේඛකයකුම ආන්දෝලනයක් කරනවා. නවකතාවක් කියලා සාම්ප්‍රදායික කතාවක් ලියලා, එහෙමත් නැත්නම් බටහිර න්‍යායක් ඉස්මතු වෙන විදියට නවකතාවක් ලියලා, 'විචාරයක් වෙන්නෙ නෑ', 'සාකච්ඡා වෙන්නෙ නෑ' කියලා චෝදනා කරනවා. ඒත් නිර්මාණයක් නැත්නම්, ඒකෙ නැවුම් බවක් නැත්නම් විචාරයක් ඉස්මතු වෙන්නෙ නෑ.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...