වෙදත් ඉවරයි! ගමත් ඉවරයි! | දිනමිණ

වෙදත් ඉවරයි! ගමත් ඉවරයි!

රන්ජන් අමරරත්න

එක්තරා නායකයෙක් තම යටත් වැසියන් ගෙන්වා ප්‍රශ්නයක් විචාළේ ය.ප්‍රශ්නය වූයේ ලෝකය පවතින්නේ කුමක් මතද යන්න ය. යටත් වැසියෝ සියලු දෙනා සාරධර්ම යැයි හඬගා කියූහ. මහ හඬින් සිනාසුණු නායකයා, සාරධර්මවලින් තඹ දොයිතුවක් හම්බ කර ගන්ට බෑ යනුවෙන් යටත්වැසියාට උපදේශනයක් ලබා දුන්නේ ය.

බණ්ඩාර වැවගෙදර මහතාගේ අභිනව ප්‍රබන්ධ කථාව “වෙමිය ජීවක ඉදින් මෙලෙසා” යනුවෙන් නම් කර තිබේ. එය සමාජ සංවාදයකට මුල පිරීමට තරම් වැදගත්කමකින් යුතු නවකතාවක් ලෙස හඳුන්වා දිය හැකි ය. ප්‍රබන්ධයට පාදක වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල අප අත්දකින සමාජ විපරිණාමයයි. න්‍යායික තලයක සිට මේ තත්ත්වය විග්‍රහ කරන්නේ නම්; ලෝක ධනවාදයේ ව්‍යාප්තිය, ගෝලීයකරණයේ බලපෑම, ලිබරල් ආර්ථිකයේ ස්ථාපනය ආදී බරපතළ මාතෘකාද මීට යොදාගත හැකි ය.

ලෝකය පවතින්නේ මූල්‍ය ගනුදෙනු මත යැයි ප්‍රකට අදහසක් පවතී. ලෝක ආර්ථිකය දෙස බලනවිට එහි වැදගත් ම සාධකය ලෙස පෙනී යන්නේ වෙළෙඳාම ය. වෙළෙඳාමට හා ආයෝජනයට ඇති ඉඩ ප්‍රස්ථා මත රටක සංවර්ධනය තීන්දු කරන මිම්මක් ද තිබේ. කෙසේ වුව මේ ක්‍රියාදාමය පසුපස ඇත්තේ මුල්‍ය ගනුදෙනු ය. මුදල, ආදායම, ලාභය, අලෙවි කිරීම යනු හුදු වචන නොව; සංකල්ප බවට පත් ව තිබේ. මේ පසුබිම තුළ මනුෂ්‍යත්වයට සිදුවන්නේ කුමක් ද? අපේ පුරුෂාර්ථවලට සිදුවන්නේ කුමක් ද? කතුවරයා මතුකරන ප්‍රධාන තර්කය එය යි.

ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දී වසර හතළිහකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇත. 1980 ගණන්වලදී විවෘත ආර්ථිකය යක්ෂාවේශයක් ලෙස සමහරු හැඳින්වූහ. සාංස්කෘතික විනාශයක් හා ජාතික විනාශයක් ලෙස ද තව සමහරු එය හැඳින්වූහ. එහෙත් මේ ක්‍රමය නිසා සාධනීය ලක්ෂණ දෙක තුනක් ද මතු විය. එය සමාජයට දැනෙන වෙනසක් ලෙස ද සඳහන් කළ හැකි ය.

(I) දැනුම හා තාක්ෂණය ශීඝ්‍රයෙන්

ව්‍යාප්ත වීම

(II) නව සමාජ කණ්ඩායම් වෙත

මුදල් ගලායෑම

(III) ලෝකය සමඟ පවත්නා

ගනුදෙනු පුළුල්වීම

(IV) නිදහස හා වින්දනය කෙරෙහි

සමාජය ආශක්තවීම

ඉහත සාධක අනුව සමාජය විශාල පරිවර්තනයකට ලක් විය. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි පාරම්පරික සමාජ සහිත රාජ්‍යයන්වලට මෙය සමාජ හා මානව විද්‍යාත්මක ගැටලු මතු කළේ ය. බණ්ඩාර වැවගෙදර මහතාගේ ප්‍රබන්ධය තුළ එකී සමාජ හා මානව විද්‍යාත්මක ගැටලු සාකච්ඡා වෙයි.

කතාවේ ප්‍රධාන චරිතය හැටියට තෝරාගෙන ඇත්තේ වෙද මහතෙකි. ඔහු හීං වෙද මහත්තයා හෙවත් එදිරිල්ලේ සරණසූරිය වෛද්‍යාචාර්යතුමා ලෙස හැඳින්වේ. අපේ උරුමය ඔස්සේ වෙදකම සම්බන්ධයෙන් පැවැත එන පුරුෂාර්ථ ඔහු ළඟ තිබේ. හීං වෙද මහත්තයා වෛද්‍ය ශාස්ත්‍රය භාවිත කරන්නේ රෝගීන් සුවපත් කිරීමට මිස එයින් ආදායම් ලැබීමට නොවේ. එහෙත් නූතන සමාජයේ ජීවත්වීම යනු මුල්‍ය ගනුදෙනුවල එකතුවකි. ඒ අනුව වෙද මහත්තයා ද විකිණෙයි.

වෙද මහත්තයාට වෙනස් විය හැකි ද? ඔහු වෙනස් වන්නේ කෙසේ ද? පුද්ගල චරිත තුනක් වෙද මහතාට බලපෑම් කරති. පළමු බලපෑම ඔහුගේ බිරිය වන නන්දිතා වෙතින් එල්ල වෙයි.

“මේ මනුස්සයට නම් පිස්සු;අනිත් අයට වෙදකම් කරන්ඩ කලින් එයාට ම පිස්සු බෙහෙත් බොන්ඩ කියන්ඩ ඕනෑ”

(පිටුව 130)

හීං වෙද මහත්තයාගේ බිරිය නන්දිතා නූතන සමාජ පෙරැළියට අනුගත තැනැත්තියකි. ඇය සතු අනාගත ජීවන අපේක්ෂා සාක්ෂාත් කරගැනීම සඳහා එසේ අනුගතවීමට සිදු වී ඇත. නන්දිතාගේ වෙනස්වීම සිය පවුලේ ආර්ථික දියුණුව සඳහා යැයි කියන්නට පුළුවන.

සරණසූරිය වෙද මහතා මුළුමනින් ම අලෙවි කිරීම සඳහා සැලැසුම ඉදිරිපත් කරන ප්‍රධාන ශිල්පියා වන්නේ ඔහුගේ මස්සිනා ය. ඔහු පණ්ඩුල ය. පණ්ඩුල හැඳින්විය හැක්කේ නූතන සමාජ පරිවර්තනයට හොඳින් ම මුහුණ දෙන හා එයින් ජයග්‍රහණ ලබන ශූර පුද්ගලයකු හැටියට ය. ඔහුට හොඳ - නරක, පව - පින , සමාජ සාධාරණත්වය හා මනුස්සකම් ගැළපෙන්නේ නැත.

“වෙළෙඳ සමාජයකට අවශ්‍ය දෙයක් නෙමෙයි අනුකම්පාව. වාණිජ ව්‍යාපාරයක මූලික අරමුණ ලාභය පමණයි.”

(පිටුව 149)

පණ්ඩුල හීං වෙද මහතාට මෙලෙස දමා ගසන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රධාන උපාය මාර්ගයකින් ය. කතුවරයා ධනේශ්වර ආර්ථිකය හොඳින් නිරීක්ෂණය කර ඇති බවක් පෙනෙයි.

සදීපක්කා හීං වෙද මහතාට බලපෑම් කරන තෙවන සාධකය බවට පත් වී ඇත. ඔව්හු දෙදෙනා එක කුස හොත් සහෝදර - සහෝදරියෝ වෙති. පණ්ඩුලගේ බල අධිකාරියට යටත්; එලෙසම සමාජ පරිවර්තනයට මුළුමනින් ම අනුගත කාන්තාවක ලෙස සදීපා හැඳින්විය හැකි ය.

“ගම්වල ඉන්න එවුන්ට පිනට බෙහෙත් දීලා මිනිස්සු වගේ ඉන්නෙ කොහොම ද? එදිරිල්ලේ වෙද පරපුර කියන්නෙ කාටවත් අතපාපු පරපුරක් නෙමෙයි කියල මල්ලි දන්නැද්ද?”

(පිටුව 46)

හීං වෙද මහතා තෙල් - බෙහෙත් ව්‍යාපාරයට එකඟවීම සඳහා අක්කා ගේ බලපෑම බෙහෙවින් බලපාන්නට ඇත. එක අතෙකින් එහි සහෝදර ප්‍රේමයක් අන්තර්ගත වෙයි. සදීපා වැඩිහිටියකු ලෙස ද සිය මල්ලීට ආදරයක් හා කරුණාවක් දක්වයි.

හීං වෙද මහතාගේ චරිතය නිරූපණය කර ඇත්තේ ද යුක්තිසහගත විලාසයකට ය. ජාතියක උරුමය හා පුරුෂාර්ථ උත්කර්ෂයට නංවන ඇතැම් ලේඛකයෝ තමන්ගේ චරිත හා සිද්ධිවලට යුක්තිය ඉටු කිරීමට ඉදිරිපත් නො වෙති. මේ නිසා එබඳු නිර්මාණ ඔස්සේ ජීවිතය හා සමාජය හොඳින් වටහාගත නොහැකි ය. භාරතයේ මහා කවියා හා ප්‍රබන්ධ කථාකරුවා වන නොබෙල් ත්‍යාගලාභී රවීන්ද්‍රනාත් තාගෝර් රට හා ජාතික උරුමය පිළිබඳ හැඟීම් උත්කර්ෂයට නංවන්නේ නැත. ඒ වෙනුවට තම සංස්කෘතියේ පවත්නා අඩුලුහුඬුකම් ද තාගෝර් අතින් නිරූපණය කෙරේ. එයින් සිදුවන්නේ උරුමය පිළිබඳ අව්‍යාජ හැඟීමක් ඇතිවීම ය. “ගෝරා” වැනි නවකතාවක් කියවනවිට මේ තත්ත්වය පැහැදිලි වෙයි.

සරණසූරිය යනු අන්ධානුකරණයෙන් ස්වකීය උරුමය උත්කර්ෂයට නංවන්නෙක් නොවේ. ඔහු ආයුර්වේද ශාස්ත්‍රයේ ඇති දුර්වලතා දකී. විශේෂයෙන් බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ තාක්ෂණික දියුණුව ආයුර්වේදයට නැති බව ඔහු පිළිගනී. හීං වෙද මහතා අනාගතය දෙස තාර්කික ඇසකින් බලන තැනැත්තෙකි.

“අභ්‍යන්තර රුධිර වහනය වනවිට නවීන මැෂින් මගින් එම රුධිරය පිටට ඇද රෝගියාගේ ජීවිත අවදානම අවම කරන ක්‍රමයක් බටහිර වෛද්‍ය ක්‍රමයේ තිබුණත් ආයුර්වේදයේ එවැන්නක් තමන්ට ඉගෙනීමට ලැබී නැත.”

(පිටුව 190)

මේ සියලු සාධක කේන්ද්‍රගත වන්නේ සම්පත් අලෙවි කිරීමට ය. අලෙවිකොට ලාභය උපරිම කර ගැනීමට ය. මේ අනුව වෙදකම - හෙදකම යන සියල්ල විකිණෙයි. හඳහන් බැලීම, ශාස්ත්‍රකීම පමණක් නොව හූනියම් කිරීමත් ඒවා කැපීමත් විකිණෙයි. අවසන් විග්‍රහයේ දී ඒවා තරගකාරී තැනකට පිවිසෙයි. මේ තරගයෙන් ජයග්‍රහණය ලබන අය සිටිති. පරාජය ලබන අය ද සිටිති. හීං වෙද මහතා, නන්දිතා, උදේනී, පියනන්ද යන සියල්ලෝම පරාජිතයෝ ය. ජයටැඹ කරා යන තරගකරුවකු ලෙස පෙනී යන්නේ පණ්ඩුල පමණි. ඔහු රාජ්‍ය සේවයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙයි. ඉනික්බිති දේශපාලනයට යොමු වෙයි. දේශපාලනය යනු බලය හා ධනය යන දෙකම ජයගත හැකි ක්ෂේත්‍රයකි.

කතුවරයා කිසිවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ දෙන්නේ නැත. එහෙත් ඔහුගේ නිරූපණ ඔස්සේ වටහාගත හැකි නිත්‍ය - අර්ථ කිහිපයක් තිබේ.

(I) මේ වෙනස වැළැක්විය

නොහැකි බව

(II) සමාජ පරතරය ශීඝ්‍රයෙන්

ඉහළ යන බව

(III) සමාජය අතිශයින්ම දූෂිත

වෙමින් සිටින බව

(IV) කිසිවකට ස්ථාවර විසැඳුම්

නැති බව

ඇත්ත තත්ත්වය නිරූපණයකොට ජීවිතය හා සමාජය පිළිබඳ පාඨක ප්‍රජාවට දැනුමක් හා වැටහීමක් ලබාදීම නවකතාකරුවාගේ එක් කාර්යයක් ලෙස විචාරක ඔස්ටින් වොරන් සඳහන් කර තිබේ. ඒ අතින් බලනවිට බණ්ඩාර වැවගෙදර මහතා සිය කාර්යය හොඳින් ඉටුකර ඇති බවක් පෙනෙයි. සියල්ලට කලින් නවකතාව රසවත් කතාන්දරයක් ඉදිරිපත් කළ යුතු යැයි තවත් මතයක් පවතී. සාහිත්‍ය විශ්ලේෂිකාවක වන ඩියානීගේ අදහස වන්නේ නවකතාවේ ප්‍රධාන කාර්යය වින්දනය සැපයීම බව ය. මේ නවකතාව තුළ ද රසවත් කතාන්දරයක් තිබේ. පවුල් සංස්ථාවේ ගැටුම්, මිනිස් සමාජයේ සටකපටකම් හා අනුවේදනීය අවස්ථා කතුවරයා විසින් අපූරුවට නිරූපණය කරනු ලැබේ.

කුමන තත්ත්වයන් යටතේ වුව ජීවිතයේ අනිත්‍යතාව හා දුක වටහාගත යුතු සත්‍යයක් බව කතුවරයා පෙන්වා දෙයි. නන්දිතාගේ මරණය හා උදේනිගේ මරණය ද ඊට සාක්ෂි සපය යි. උදේනී මිහිදන්කොට ආපසු හැරෙන හීං වෙද මහතාට හා පියනන්දට ඈතින් ඇසෙන්නේ බලවත් ඝෝෂාවකි. එම ඝෝෂාවට හේතුව පණ්ඩුලගේ ඡන්ද ජයග්‍රහණය යි. ඔහු මහජන නියෝජිතයකු ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වී සිටී. ප්‍රීති - ප්‍ර‍මෝදයට පත් වී සිටි පිරිස අනාගත ඇමැතිතුමාට ජයවේවා යැයි කියති.

බණ්ඩාර වැවගෙදර මහතාගේ භාෂාව බෙහෙවින් සරල ය. වහා වැටහෙන සුලු ය. පුවත්පත් භාෂාවට සමානකම් කිය යි. මේ අතර ඔහු අලුත් යෙදුම් ගණනාවක් නිර්මාණය කරයි.

“අහම්බෙන් ඇසිඩ් පෙවුණා සේ...”

(පිටුව 167)

“ආත්ම ගරුත්වයේ නිමල වතට

අවමානයේ කළු තෙල් පහරක්

වැදුණා සේ...”

(පිටුව 168)

“පිරිමි යනු ලිංගික මළ පෙරේතයෝ ය”

(පිටුව 170)

මිනිස් හැඟීම් තීව්‍ර ලෙස ප්‍රකාශ කිරීම සඳහා පරිසරයේ සංකේත යොදාගැනීම කතුවරයාගේ තවත් විශේෂත්වයකි. එය අගය කළ යුතුය. නොසැලකිල්ල නිසා තැන - තැන වියරණ දොස් දකින්නට ලැබේ. (පිටුව 27, පිටුව 34 නිදසුන් ය) එහෙත් කතාවට බරපතළ හානියක් එයින් සිදු වී නැත. අපට ගැටලුවක් ඇත්තේ කතාවට යොදා ඇති නම සම්බන්ධයෙන් ය. එය ආකර්ෂණයෙන් තොර කෙටි වාක්‍යයකි. එබඳු වාක්‍ය නවකතාවක සිරසට ගැළපෙන්නේ නැත.

හීං වෙද මහතාට සිදුවන්නේ කුමක්දැ’යි දැන ගැනීමට මේ කතාව කියැවිය යුතු ය. එය අර්ථවත් හා හැඟුම්බර අවසානයකි.


නව අදහස දක්වන්න

Or log in with...