යුරෝපා මත්ස්‍ය අපනයනයේ 125%ක වර්ධනයක් | දිනමිණ

යුරෝපා මත්ස්‍ය අපනයනයේ 125%ක වර්ධනයක්

 පසුගිය වසරේ දී (2017) යුරෝපා සංගමය වෙත සිදු කළ මත්ස්‍ය අපනයන ප්‍රමාණය සමස්ත අපනයනයෙන් 23.1%ක් වූ අතර එය 2016 වසරට වඩා 125%ක වර්ධනයක් බව මහ බැංකු වාර්තාව හෙළි කරයි.

වසර 2016ට සාපේක්ෂව පසුගිය වසරේ දී (2017) යුරෝපා සංගමය වෙත සිදුකෙරෙන මත්ස්‍ය අපනයන ප්‍රමාණය සියයට 41.8 කින්ද, අපනයන ආදායම සියයට 48.5කින්ද ඉහළ ගොස් ඇති අතර, යුරෝපා සංගමය මගින් මෙරට මත්ස්‍ය අපනයන සඳහා පනවා තිබූ තහනම 2016 වසරේ දී ඉවත් කිරීම මෙයට ඉවහල් වී ඇත.

ඒ අනුව 2016 ජූලි සිට 2018 මාර්තු දක්වා ගත වූ මාස 21 තුළ මෙරටින් මසුන් මෙට්‍රික් ටොන් 58,578.09ක් අපනයන කර තිබේ. ඉන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය රු. මි. 92,117කි.

මත්ස්‍ය අපනයනය තහනමට පෙර 2014 වර්ෂයේ හා තහනම පැවැති අතරතුර කාලය දෙස බලන විට මත්ස්‍ය අපනයනයේ ශීඝ්‍ර පහත වැටීමක් ‍පෙන්නුම් කළේය. 2014 අපනයනය කරන ලද සමස්ත මසුන් ප්‍රමාණය මෙ.ටො. 26,320කි. එය අපනයන තහනම පැවැති කාලයේ මාස 18කට (2015 ජනවාරි සිට 2016 ජුනි) 26, 129ක් වේ. එම කාලය තුළ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය රු. මි. 2103කි.

2018 වසරේ ජනවාරි හා මාර්තු මාස තුනක කාලය තුළ පමණක් මෙ. ටො.7174.8ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රු. මි. 11.804.4කි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන මත්ස්‍ය ආනයන පරිමාව 8.4%කින්ද, ආනයන වියදමේ රුපියලේ වටිනාකම 3.4%කින්ද 2017 වසරේදී අඩුවී ඇතැයි මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

එහෙත්, එම වාර්තා පෙන්වා දෙන්නේ 2016 හා සැසඳීමේ දී 2017 වසරේ මත්ස්‍ය නිෂ්පාදනය බොහෝ දුරට නොවෙනස් ව ඇති බවයි. සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය 0.1%ක සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් 2017 වසරේ දී මෙට්‍රික් ටොන් 5,31, 310ක් ලෙස මත්ස්‍ය නිෂ්පාදනය වාර්තා විය. 2017 වසරේ දී සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් 84.6%කට දායකත්වය සැපයූ මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 449,440ක් දක්වා සියයට 1.7ක අඩුවීමක් පෙන්නුම් කළ ද, මිරිදිය මත්ස්‍ය මෙට්‍රික් ටොන් 81,870 දක්වා 10.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

වෙරළ ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,59,720ක් දක්වා සියයට 5.3කින් පහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය අඩු වූ අතරම මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අංශයේ ඉතිරිය වන ගැඹුරු මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 189,720ක් දක්වා 3.8%කින් වර්ධනය විය.

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ යාමට මිරිදිය ජලාශ ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 68,510ක් දක්වා 17.3%කින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු වුවත් මේ අංශයේ මිරිදිය ජලජීවී වගාව 7.9%කින්, මෙට්‍රික් ටොන් 8,740 දක්වා සහ කූණිස්සන් හා ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,626ක් දක්වා 23.4%කින් අඩුවී ඇතැයි ද මහ බැංකු වාර්තා අවධාරණය කරයි.

බස්නාහිර හා දකුණු මුහුදු බඩ කලාපයන්ට 2017 මැයි නොවැම්බර් මාසවල දී බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය, ගැඹුරු මුහුදු කලාපයේ පැවැති දීර්ඝ වියළි කාලගුණය මෙන්ම විශාල වශයෙන් සිදුවූ පශ්චාත් අස්වනු හානි හේතුවෙන් මුහුදු මත්ස්‍ය කර්මාන්තයට අහිතකර බලපෑමක් ඇති කරන ලදී. නාරා ආයතනයේ ඇස්තමේන්තුවලට අනුව සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් 40% - 60% දක්වා ප්‍රමාණයක් සෘජු පරිභෝජනයට හෝ කරවල නිෂ්පාදනයට නුසුදුසු වන බැවින් විනාශ කරනු ලබයි.

රට අභ්‍යන්තර ජලාශ නියඟය නිසා හිඳීයාම, සුදුපුල්ලි රෝගය හේතුවෙන් ඉස්සන්, කූණිස්සන් නිෂ්පාදනයට සිදුවූ හානිය නිසා 2017 වසරේ දී මත්ස්‍ය නිෂ්පාදනයට බලපෑම් එල්ලවී තිබිණි. 

 

නව අදහස දක්වන්න