ඌව පළාතේ කාර්යක්ෂම ම උප තැපැල් කාර්යාලය පිටමාරුව | දිනමිණ

ඌව පළාතේ කාර්යක්ෂම ම උප තැපැල් කාර්යාලය පිටමාරුව

වසර කිපයක් තිස්සේ පළාත් හා ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ පිටමාරුව උපතැපැල් කාර්යාලය මේ වර්ෂයේදී ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව පවත්වන ලද කාර්යක්ෂම උප තැපැල් කාර්යාලය තේරීමේ තරගයේ ඌව පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා මට්ටමේ දෙවැනි ස්ථානයත් දිනා ගෙන ඇත.

මෙහි උප තැපැල් ස්ථානාධිපතිවරිය ලෙස සේවය කරන නදීෂා රුක්ෂාණී ආරියරත්න මහත්මියද ඇතුළුව කාර්ය මණ්ඩලය දස දෙනෙකි. ඉන් තිදෙනෙකු ආදේශක මට්ටමේ සේවකයන්ය.

වත්මන් ස්ථානාධිපතිවරිය ලෙස සේවය කරන නදීෂා රුක්ෂාණී ආරියරත්න මහත්මියගේ පියා වන ඩී. එම්. ආරියරත්න මහතා ඇයට පෙර මේ තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර ඇති අතර ඔහු විශ්‍රාම යෑමත් සමගම නදීෂා මහත්මියට මේ තනතුර හිමිව ඇත.

වර්ෂ 1993 සිට මේ දක්වාම මේ කාර්යාලය සදහා පළාත් හා ජාතික මට්ටමේ සම්මාන රැසක් හිමිව ඇත.

මේ කාර්යාලයට මුල්ම සම්මානය ලැබි ඇත්තේ 1993 වසරේදී ය. එම වසරේ ඌව පළාතේ කාර්යක්ෂම තැපැල් කාර්යාලය තේරීමේ තරගයේ දෙවැනි ස්ථානය මේ කාර්යාලයට හිමිවූ අතර 2009, 2013, 2014, සහ 2017 වසරවලදී එම තරගයේ ඌව පළාත් ප්‍රථම ස්ථානයත්, 2014 වසරේදී එම තරගයේ සමස්ත ලංකා තෙවන ස්ථානයත් මේ තැපැල් කාර්යාලයට හිමිව තිබේ.

මීට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකු ගණුදෙනු කරන හොදම තැපැල් කාර්යාල අතර තරගාවලියේදී වසර කීපයකදීම පළමු හා දෙවන ස්ථාන මෙම කාර්යාලයට හිමිව ඇත.

අතිශය දුෂ්කර ප්‍රදේශක පිහිටි මෙබදු තැපැල් කාර්යාලයකට මෙවැනි සම්මානයක් හිමිවීම එහි කාර්ය මණ්ඩලයට මෙන්ම ප්‍රදේශයේ ජනතාවටද ඉමහත් ආඩම්බරයට කරුණක් වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල් ස්ථානාධිපති නදීෂා රුක්ෂාණී ආරියරත්න මහත්මිය පැවැසුවාය. මෙහි සේවය කරන සියලු දෙනාගේ ධෛර්ය හා කැපවීම මෙම සම්මානය ලබා ගැනීමට ප්‍රධානතම හේතුවක් වූ බව පැවැසූ නදීෂා මහත්මිය මෙසේද කීවාය.

ඕනෑම සේවාවක් ඉතා ඉක්මනින් කරදීමට අපි මෙහි විශේෂ වැඩපිළිවෙළක් සකස් කර දී තිබෙනවා. පිරිස වැඩිවීම නිසා හෝ නොවැළැක්විය හැකි වෙනත් හේතුවක් නිසා කාට හරි සේවාව ප්‍රමාද වූවොත් ඒ අයට තම කටයුත්ත අවසන් වන තෙක් රැදී සිටීමට අපි නිස්කලංක ස්ථානයක් පිළියෙළ කර දී තිබෙනවා. ඒ වගේම කාර්යාලය ඉදිරිපසත් නිදහසේ ඉන්නට තැන් කීපයක් සකස් කර දී තිබෙනවා. ඒ වගේම මහජන ආධාර ගන්නට එන අසරණ පිරිස වෙනුවෙනුත් අපි මෙහි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

මීගහකිවුල සමූහ
එන්. නවරත්න

නව අදහස දක්වන්න