වැටුණු විරුවනට මල් මිටක් | දිනමිණ

වැටුණු විරුවනට මල් මිටක්

දුමින්ද අලුත්ගෙදර

ලක් දෙරණ ආරක්ෂා කොට ලේ වගුරා මිය ගිය යුද සෙබළුන් සිහි කිරීම, ජාතියක පරම යුතුකමකි. තිස් වසරක යුද්ධයේ දී මියැදුණ උදාරතර රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීම සඳහා මයිලපිටිය ජාතික රණවිරු අනුස්මරණ උද්‍යානය සෑම වසරකම මැයි මස ලහි ලහියේ සූදානම් වෙයි.

එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් ඉදිකෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික රණවිරු අනුස්මරණ උද්‍යානය මහනුවර දිස්ත්‍රික්කයේ පහත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වික්ටෝරියා ජලාශයට මායිම්ව අක්කර 33ක භූමි භාගයක ඉදිකර තිබේ. යුද හමුදාවේ 111 බල මූලස්ථානයෙන් පාලනය වන, මයිලපිටිය රණවිරු උද්‍යානය ජාතියක අභිමානය පෙන්නුම් කරන තවත් එක් උද්‍යානයකි. ක්‍රියාන්විත රාජකාරියේ දී මියැදුණු සියලු රණවිරුවන් හට බුහුමන් පිණිස, මියැදුණ රණවිරුවන්ගේ නම් උද්‍යාන භූමියේ ප්‍රදර්ශනය කොට තිබේ. ත්‍රිවිධ හුදාවේ රෙජිමේන්තු 27ක සහ ශ්‍රී ලංකා පොලිසියේ මියගිය රණවිරුවන්ගේ නම් ඒ අතර වේ. ශ්‍රී ලංකාව තුළ ඇති මිය ගිය රණවිරුවන්ගේ නම් සඳහන් එකම උද්‍යානය ද මෙය වේ.

සෑම වර්ෂයකම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රණවිරු පුෂ්පෝපහාර උළෙල පවත්වනු ලබයි. ජාතිය ආරක්ෂා කළ උතුම් වීරෝදාර රණවිරුවන්ගේ ඥාතින් විශාල පිරිසක් හා පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූන් රැසක් සහභාගී වන රණවිරු අනුස්මරණය, මේ රට රැකදුන් මුරදේවතාවුන් සිහිපත් කරන උතුම් සද්ක්‍රියාවකි. මෙම උද්‍යානය ඕනෑම පුරවැසියකුට නැරඹීමට අවසර ඇතිමුත් ඡායාරූප ගැනීමේ අවස්ථාවක් නොමැත. එතරම් පාරිශුද්ධ නිශ්කලංක භූමියක මියගිය සියලු රණවිරුවන් ගෞරවයට පාත්‍ර කොට ඇත. මහනුවර - හඟුරන්කෙත ප්‍රධාන මාර්ගය උද්‍යානය ඉදිරිපසින් වැටී ඇති අතර නිහඬතාවය ආරක්ෂා කර රිය පැදවීම ද ජාතියේ විරුවන්ට කරන ගරු බුහුමනකි. උද්‍යානය ආරම්භයේ දී රථවාහන වේග සීමා පනවා තිබුණ ද මේ වන විට උද්‍යානය ඉදිරි පසින් අධික වේගයෙන් රථවාහන ධාවනය කිරීම රණවිරුවන් හට බුහුමන් දැක්වීමට බාධාවෙකි.

උද්‍යාන තුළ යුද හමුදා රෙජිමේන්තු වෙනුවෙන් වෙන් වුණ බිම්කඩ රාශියෙකි. එකිනෙකට වෙනස් අලංකාරවත්වයෙන් යුතු, නාම පුවරු සහිත ඒ ඒ රෙජිමේන්තුවලට වෙන් වූ භූමිඑ නඩත්තු කරනුයේ උද්‍යානයට අනුයුක්තව ඒ ඒ රෙජිමේන්තු හමුදා සෙබළුන් ය. උද්‍යානය භාර ප්‍රධාන නිලධාරියා වනුයේ කැප්ටන් ජගත් අමරසූරිය මහතා ය. එතුමා ඇතුළු සෙබළු 36 දෙනෙක් රාජකාරියේ නිරත වී සිටිති. රණවිරු උද්‍යානයේ මෙහෙයවීම හා මහජනතාවගේ සහයෝගය කෙබඳුදැයි ඇසූ පැනයට පිළිතුරු දෙන කැප්ටන් ජගත් අමරසූරිය මහතා ‘‘සෑම අවුරුද්දකම මැයි මාසයේ රණවිරු සැමරුම් උත්සවය පවත්වනවා. ඒ සඳහා මූලිකත්වය ගන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා. අද වෙනකොට මහජනතාවට මේ රටේ දිවිදුන් රණවිරුවන්ගේ නාම ලේඛන සුරක්ෂිතව තියලා තියෙන්නේ මේ උද්‍යානයේ කියන එක අමතක වෙලා. කිසි ගරු සරුවක් නෑ, තොර තෝංචියක් නැති වාහන ශබ්ද. මීට පෙර නම් මාර්ග බාධක යොදලා වාහනවල වේගය අඩු කරලා තිබුණා. අපි රණවිරු පුෂ්පෝපහාර දක්වන්නේ භක්තියෙන්. අපිත් එක්ක එක බත්පත කාපු අයගේ නම් මෙතන තියෙනවා. අපි දිවි හිමියෙන් ඒ ගරුත්වය ආරක්ෂා කරන්න කැප වෙනවා. ඒ වගේම මහජනතාවත් ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි‘‘.

උද්‍යාන භාර ප්‍රධාන නිලධාරියා පවසන ආකාරයට රණවිරු ස්මාරකයට ගරු බුහුමන් දැක්වීම මාර්ගයේ ගමන් ගන්නා විට පවා සිදුවිය යුතුය. ජාතිය වෙනුවෙන් ලේ, ඇට, මස් නහර දන්දුන් රණවිරුවන්ගේ නම් සටහන් කොට පුෂ්පෝපහාර දක්වන ශ්‍රී ලංකාවේ එකම උද්‍යානය ඉදිරිපසින් ගමන් කළ යුත්තේ, සංයමයෙන් ය. නිහඬ බව ආරක්ෂා කරමින් මාර්ගය භාවිතා කර ඔවුනට බුහුමන් පිදිය යුතුය. මරණ බියෙන් තොරව මාර්ගවල ගමන් කළ හැකිව ඇත්තේ ද, එලෙස දිවි පිදූ රණවිරුවන් නිසා බව අප නැවත නැවතත් සිහිපත් කිරීම කාලෝචිත ය.

රණවිරුවන් වෙනුවෙන් වෙන් වූ බිම් කඩෙහි, ඇති තම ඥාති හිතෛෂීන්ගේ නාම ලේඛන දැක බලා ගැනීමට මියගිය රණවිරු ඥාතීහු වසර පුරාම මෙම උද්‍යානයට පැමිණෙති. එනිසා ජාතික සැමරුම් වටිනාකම රැක ගැනීම නූතන පරපුරේ වගකීමකි. එසේම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට, රණවිරු උද්‍යානය පිදිය හැකිය. මෙවැනි උද්‍යානයකට හිමිකම් කියනුයේ මහනුවර මයිලපිටිය ජනතාව සහ උද්‍යාන ඉදිරිපසින් එහා මෙහා යන ජනතාව පමණකි. උද්‍යානය ආරක්ෂා කර ගැනීම හා ඊට අවශ්‍ය ගෞරව දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමකි.

ඡායාරූප - නිරෝෂ් බටේපොළ

නව අදහස දක්වන්න